හෙළ ජන කවි තුළ ගැබ්වී ඇති මනෝවිද්‍යාත්මක වැදගත්කම

624

ජන සංගීතය යනු රස විඳීමේ මාධ්‍යයක් ලෙස අනාදිමත් කලක සිට මිනිසුන් අතර ජනප‍්‍රියව පවතින කලා මාධ්‍යයකි. සිංහල ජන සංගීතයෙහි එන ජන කවි පැරණි සාමාජීය ජන ජීවිතයේ විවිධ අවස්ථා හා බැඳී පවතින අතර රැුකියාව, අධ්‍යාපනය, විවාහය, දරු උපත, මරණය ආදී සියලූ අවස්ථාවන්හි පවතින ඒ ඒ මනෝභාවයන් මැනවින් නිරූපණය කරනු ලබන බව ද හඳුනාගත හැකිය.

උදා: දරු නැළවිලි ගී, විවිධ රැකියා ආශ‍්‍රිත ජන කවි, ජන ක‍්‍රීඩා ආශ‍්‍රිත කවි, සෙත් කවි, වස් කවි, අත් බෙහෙත් වනපොත් කිරීමෙහිලා යොදා ගත් කවිමෙලෙස ජීවිතයේ විවිධ අවස්ථා සහ ඒ ආශ‍්‍රිත මනෝභාවයන් ජන කවි තුළින් නිරූපණය කිරීම සඳහා සිංහල ජන සංගීතයේ රිද්මයන්, නාද රටා සහ භාෂාව මඟින් මහඟු අත්වැලක් ලැබී ඇත. තවද, අතීතයේ පටන්ම මෙම ජන කවි මඟින් පුද්ගලයාගේ විඩාව, පාළුව සහ කාංසාමය චිත්තවේග දුරු කර ගැනීම සඳහා යම් පිටිවහලක් සැලසී ඇති බව ද නොරහසකි.

එලෙස හෙළ ජන කවි තුළින් පුද්ගලයාට මානසික සහනයක් අත්කර ගැනීමේ කාර්යය ඉටු කර දී ඇත්තේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම කුහුල දනවන සුළු කරුණක් බව මේ අනුව ගම්‍යමාන වේ. එබැවින් මෙම ලිපියෙහි අරමුණ වන්නේ හෙළ ජන කවි තුළ ගැබ් වී ඇති මනෝවිද්‍යාත්මක වැදගත්කම පිළිබඳ විමර්ශනය කරමින් පුද්ගලයාට කාංසාමය චිත්තවේගයන්ගෙන් අත්මිදීමට මෙම ජන කවි ඉවහල් වී ඇති අන්දම අනාවරණය කිරීම යි. ඒ සඳහා ප‍්‍රධාන වශයෙන් චිත්තවේග මුදා හැරීමට පහසුකම් සලසන මාධ්‍යයක් ලෙස ක‍්‍රියා කිරීම සහ සුවිශේෂී නාද මාලා සහ රිද්ම රටා තුළින් චිකිත්සාත්මක දායකත්වයක් ලබා දීම යන තේමා ද්විත්වය ඔස්සේ පහත පරිදි කරුණු ගෙනහැර දැක්විය හැකිය.

හෙළ ජන කවි තුළ ගැබ්වී ඇති මනෝවිද්‍යාත්මක වැදගත්කම

සිංහල ජන කවි සහ ඒ ආශ‍්‍රිත ජන සංගීතය පුද්ගලයාගේ චිත්තවේග, ප‍්‍රජානන රටාවන් සහ චර්යාව පදනම් කරගෙන ගොඩ නැඟී ඇති බව ඒවා විමර්ශනය කිරීමේ දී පැහැදිලි වේ. මේ අනුව, දුක, සතුට, කෝපය, බිය, කුතුහලය වැනි මූලික චිත්තවේග උද්දීපනය කිරීම, යටපත් කිරීම හෝ පාලනය කිරීම වැනි විවිධ අරමුණු ඔස්සේ නිර්මාණය වූ සහ භාවිත වූ ජන කවි හඳුනාගත හැකි ය. උදාහරණ වශයෙන් එවැනි ජන කවි කිහිපයක් පහත පරිදි උපුටා දැක්විය හැකි ය.

”අනේ දෙවියනේ මට වුණු වියෝයා

පැළේ පැදුර හොරු අරගෙන ගියෝයා

ගෙදර ගිය කලට අඬදබර බෝයා

පැදුර දුන් කෙනෙක් මගෙ නෑසියෝයා”

”ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට

කන්නේ කරවලයි රට හාලේ බතට

බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට

යන්නේ කවදාද මව්පියො දකින්නට”

”ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ

දුක්දෙන අලි ඇතුන් පන්නා හරින්නේ

රැුක්මෙන දෙවියනේ වෙල බත් බුදින්නේ

දුප්පත් කම නිසයි මා පැල් රකින්නේ”

තව ද, විශේෂයෙන් ම සිග්මන් ෆ්‍රොයිඞ් වැනි මනෝ විද්‍යාඥයන් විසින් පැහැදිලි කළ ‘භාව විරේචනය’ වැනි ක‍්‍රමවේදයන් තුළින් මනසේ පවතින පීඩාකාරී, කංසාජනක අත්දැකීම් බාහිරට ගැනීම හරහා මනස සැහැල්ලූ කිරීමේ චිකිත්සාත්මක ක‍්‍රියාවලීන්ට සමාන ක‍්‍රමවේදයක් හෙළ ජන කවි තුළින් ද ඉටු වී ඇති බව ඒවායේ අන්තර්ගතය පිරික්සීමේ දී ගම්‍ය වේ.

”මා බාලේ ඇති කළ තලගොයි පැටියා

මට තනියට මිදුලේ පෙම් කෙළ සිටියා

උගෙ මරුවා ඇවිදින් ඌ එක්ක ගියා

නිවන් පුරේ පලයන් තලගොයි පැටියා”

”කළුවන් කළු රුවයි මංගෝ දිලිසෙනවා

මිනිරන් තෝරන්න දින ගණනින් යනවා

මිනිරන් තේරුවොත් ලඳෙ නුඹ කළු වෙනවා

ළඟ නම් ගෙදර මුර ඇරුණම මම එනවා”

”තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා

කටු කැලේ ගාලෙ නොලිහා වද දෙනවා

හපුතලේ කන්ද දැකලා බඩ දනවා

පව් කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා”

”වෙල් එළියක ගොන් දෙන්නෙක් කකා වුණී

ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී

වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුණී

දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී”

මීට අමතරව, ජන කවි ගායනය හා සම්බන්ධ ඊට ම අනන්‍ය වූ රිද්ම රටාවන් සහ ඉතා මිහිරි නාද දනවන සුළු, මනස සන්සුන් කරලන අන්දමේ සුවිශේෂී නාද මාලාවන් තුළින් ද ශාරීරික සහ මානසික විඩාව නිවීමේ යම් චිකිත්සාත්මක දායකත්වයක් ලැබී ඇති බව හඳුනා ගත හැකි ය. උදාහරණයක් ලෙස පාරු කවියක් සැලකීමේ දී ”මලේ මලේ……… ඔය නා මල…………. නෙළා වරෙන්” යන්නෙහි නාද මාලාව සැකසී ඇත්තේ හබල දියට ගසා පාරුව පදින්නට වෙර දරන ආකාරයට යි. තව ද බඹර කැපීමේ කවි, නෙලූම් කවි, ගොයම් කැපීමේ කවි, පැල් කවි, ඔංචිලි වාරම් ආදී වශයෙන් එකිනෙකින් අනන්‍ය වන පරිදි පවතින නාද මාලා ඇසුරින් මේ බව වඩාත් සනාථ වේ.

උක්ත කරුණුවලට අනුව, හෙළ ජන කවි යනු හුදෙක් පුද්ගලයා අත්විඳි පාළුව සහ විඩාව දුරු කර ගැනීමෙහිලා බිහි වූ සන්නිවේදන මාධ්‍යයක් පමණක් නොව, මනෝවිද්‍යාත්මක වශයෙන් ප‍්‍රතිලාභ රැුසක් අත්කර දුන් චිකිත්සාත්මක ක‍්‍රමවේදයක් ද වන බව නිගමනය කළ හැකිය. ඒ අනුව, නූතන මනෝවිද්‍යා ක්ෂේත‍්‍රයේ භාවිත වන සංගීත චිකිත්සාත්මක ප‍්‍රතිකාර සහ මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් ගොඩනැගීමේදී සහ වැඩිදියුණු කිරීමේදී හෙළ ජන කවි හා ඒ ආශ‍්‍රිත දැනුම් සම්භාරයෙන් වටිනා දායකත්වයක් ලබා ගත හැකි බව ගම්‍ය වේ. එබැවින්, හෙළ ජන කවි තුළ අන්තර්ගත වී ඇති මනෝවිද්‍යාත්මක වැදගත්කම පිළිබඳ වැඩිදුර අධ්‍යයනයන් සිදු කිරීමේ කාලීන අවශ්‍යතාවක් පවතින බව ද පෙන්වා දිය හැකි ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

දිසානායක, ඩබ්., දිසානායක, ජේ.බී., හේමතිලක, එම්. (1975). සිංහල ජන කවි සංග‍්‍රහය. කොළඹ: අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව.

පෙරේරා, ඥානදාස. (2009). සංගීතය පිළිබඳ මනෝවිද්‍යාව. කොළඹ: සහශ‍්‍ර ප‍්‍රකාශකයෝ.

Charles, J., & Lekamge, S. (2021, May). An Ensemble Learning Approach for Automatic Emotion Classification of Sri Lankan Folk Music. In Proceedings of International Conference on Sustainable Expert Systems: ICSES 2020 (Vol. 176, p. 289). Springer Nature.
Dissanayake, E. (2001). An ethological view of music and its relevance to music therapy. Nordic Journal of Music Therapy, 10(2), 159-175.
Siritunga, S., Wijewardena, K., Ekanayaka, R., & Mudunkotuwa, P. (2013). Effect of music on blood pressure, pulse rate and respiratory rate of asymptomatic individuals: A randomized controlled trial. http://www.scirp.org/journal/PaperInformation.aspx?PaperID=29924

අයි.කේ.ඒ.එන්.කුලතුංග
මනෝවිද්‍යා විශේෂවේදී උපාධි අපේක්ෂක
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment