හෙළ සිනමාවේ උසම නිළිය විශාඛා සුරදූතියෝ කැන්දන් යති

1629

සිංහල සිනමාවේ උසම නිළිය ලෙස ප‍්‍රකට වෙමින් තම රංගන කුසලතාව හෙළ සිනමාවට දායාද ලත් ප‍්‍රවීණ රංගන ශිල්පිණි විශාකා සිරිවර්ධන මහත්මිය පෙරේදා (23 වැනිද) අභාවප‍්‍රාප්ත වූවාය.

හෙළ සිනමාවේ උසම නිළිය  විශාඛා  සුරදූතියෝ  කැන්දන් යති

පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඇය පෙරේදා මියගිය බව එම රෝහල් ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවැසීය.

විශාකා සිරිවර්ධන මහත්මිය මියයන විට 65 වැනි වියේ පසුවූවාය.

හෙළ සිනමාවේ උසම නිළිය  විශාඛා  සුරදූතියෝ  කැන්දන් යති
රොබින් ප‍්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සුරදූතියෝ චිත‍්‍රපටිය, රෝසි සේනානායක, අකුෂ්ලා සෙල්ලයියා විශාකා සමග

සිනමාව, ටෙලි නාට්‍ය හා වේදිකාවේ රඟපෑ ඈ සිංහල සිනමාවේ උසම නිළිය බවට පත්වූවාය.

කුරුණෑගල ඇතුගල්පුරයේ කටුපොත ගම්මානයෙන් රිදී තිරයට පිවිසි මුත්තාගාර අධිකාරියේ මුදියන්සේ රාලහාමින්ලාගේ විශාකා සිරිවර්ධන මහත්මිය කටුපොත තිස්ස මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය.

පාසල් කාලයේදීම නිළියක් වීමට සිහින මැව් ඇය 1981 දී සිරි කුලරත්නගේ ‘‘අනුරාධා’’ තුළින් එම සිහිනය සැබෑ කරගත්තාය. ඉන් පසු ඈ 1981 දී ගාමිණි හේවාවිතාරණගේ අධ්‍යක්‍ෂණය කළ ‘‘සාරංගා’’, 1982 දී ‘‘සනසන්න මා’’, ‘‘අනුරාධා’’, ‘‘කිරි සුවඳ’’, ‘‘යහළු යෙහෙළි’’, 1984 දී මාලනි ෆොන්සේකාගේ ‘‘සසර චේතනා’’, ‘‘කෝකිලා’’. ‘‘පොඩි රාලහාමි’’, 1985 දී රොබින් ප‍්‍රනාන්දුගේ ‘සුරදූතියෝ’, ‘පුතුනි මට සමාවෙන්න’, 1986 දී ‘අසිපත මමයි’, 1987 දී ‘සත්‍යග‍්‍රහණය’, ‘රන්දම්වැල්’, 1990 දී ‘කි‍්‍රස්තු චරිතය’, 1991 දී ‘චෙරියෝ ඩොක්ටර්’, 1994 දී ‘සඳමඩල’, 1996 දී ‘සිහින විමානේ’, ‘රාජ කුමාරි’, 1997 දී ‘යසෝමා’, ‘නින්ජා ශ‍්‍රී ලංකා, 1999 දී ‘සත්‍යාදේවි, ‘නගරං’, 2001 දී ‘‘කොළඹ කොලොප්පන්’, 2003 දී ‘භීෂණයේ අතුරු කතාවක්’, ‘ඇහැලේපොල කුමාරිහාමි’, ‘සේයා’ ඇතුළු චිත‍්‍රපටි 30 කට අධික ප‍්‍රමාණයකට සිය රංගන දායකත්වය සපයනු ලැබුවාය.

ඇය 1985 වසරේදී නැගී එන නිළිය ලෙස සරසවි සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

එසේම 1986 දී ඇයට හොඳම රඟපෑම වෙනුවෙන් ඕ සී අයි සී සිනමා සම්මානය හිමි කරගත්තාය. ඒ ඇය ‘සුරදූතියෝ’ චිත‍්‍රපටියේ රංගනයෙන් දැක්වූ දක්‍ෂතාවය හේතුවෙනි.

එමෙන්ම, ඇය ‘තුලා දහර’, ‘සරල සමනලී’, ‘කිත්සිරිගේ ඉරණම’, ‘දෙවෙනි වේදිකාව’, ‘සාවිල් පාලික්’, ‘කාහල නාදය’, ‘සිව්දිය දහර’, ‘පොද වැස්ස’ ඇතුළු ටෙලිනාට්‍ය රැුසකටද රංගනයෙන් දායක වී තිබේ.

සිය සැමියා පෙම්වතාව සිටියදී රිය අනතුරක් හේතුවෙන් ඔහුගේ පාදයක් ඉවත් කළද ආදරය හදවතින් ඉවත් නොකළ ඇය, ඔහු සමඟ විවාහ දිවියට පිවිසුණාය. විවාහ දිවියෙන් පසුවද ඇය සිය සැමියාට ආවතේව කරමින් කලා කටයුතුවල නිරත වූවාය. මීට කලකට ඉහතදී සිදුවූ ඔහුගේ වියෝවෙන් කම්පනයට පත්ව සිටි ඇයද පෙරේදා මෙළොවින් සමුගෙන සිය සැමියා වෙත ගියාය.

හිතවත් බව, ආගන්තුක සත්කාරය, සහෝදර ශිල්පීන් නිරතුරුවම ඇගයීම විශාකා සිරිවර්ධන නමැති ප‍්‍රවීණ රංගන වේදිනිය තුළින් කැපී පෙනුණු ගුණාංගයකි.

ඇය මියයන තෙක්ම පදිංචිව සිටියේ කලගෙඩිහේන, සපුගස්තැන්න ප‍්‍රදේශයේය.

ඇගේ දේහය කුරුණෑගල නගර සභා මල්ශාලාවේ අද පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා තැන්පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25 වැනිදා) ඇගේ උපන්ගම වන කුරුණෑගල, කටුපොතදී සිදුකිරීමට නියමිතය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment