හේමාස් සමාගම සූර්ය බලශක්ති භාවිතය පුළුල් කර ආදර්ශයක් සපයයි

161

හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී (Hemas Holdings PLC) සිය 2030 පාරිසරික න්‍යාය පත්‍රයේ කොටසක් වශයෙන්, පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩිකිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ.

එහි කොටසක් වශයෙන්, හේමාස් සමූහයේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන ස්ථාන රැසක, වහලය මත සවිකරන සූර්ය බල පද්ධති සවිකිරීමට මේ වනවිට පියවර ගෙන ඇත. Hayleys Solar මගින් මෙසේ සූර්ය බලශක්තිය ස්ථාපිත කිරීම සිදුකරනු ලබයි. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වීමෙන් අනතුරුව සමූහයේ විදුලි පරිභෝජනය 25% කින් අඩු වනු ඇති බවත්, එහි මෙහෙයුම් කටයුතු මගින් පරිසරයට ඇතිවන බලපෑමද තවදුරටත් අවම වනු ඇති බවත් සමාගම පවසයි.

මේ ආකාරයට විකල්ප බලශක්තිය භාවිතයට ගැනීම මගින් සිය කාබන් පිය සටහන අවම කිරීමට සහ ඕසෝන් ක්ෂය වීම අවම කිරීමට දායක වීමට මෙන්ම, අනාගතයේ මතුවිය හැකි පොසිල ඉන්ධන හිඟයට සාර්ථක ලෙස මුහුණ දීමටද හේමාස් සමූහයට හැකියාව ලැබෙනු ඇති බවද සමාගමේ කළමනාකාරිත්වය පවසයි.

මෙම විකල්ප බලශක්ති භාවිතය අනෙකුත් සමාගම් වලටද ආදර්ශයක් වනු ඇතැයි හේමාස් සමූහය විශ්වාසය පළකරයි. එමගින් තිරසාර ව්‍යාපාර ක්‍රමවේදයන් බහුලව භාවිතයට පැමිණ, ශ්‍රී ලංකාවේ පරිසරයට සුවිශාල යහපතක් සිදුවනු ඇති බවද සමාගම කියයි.

සූර්ය බලශක්තිය පුළුල් කිරීමේ අවස්ථාවට එක්වූ හේමාස් කළමනාකාරීත්වයේ හේෂාන් කත්‍රිආරච්චි, ලින්ඩ්සේ මෙල්ඩර්, රොෂේන් පෙරේරා, හසිත් ප්‍රේමතිලක, මුර්තසා යුසුඵලි, සල්මි ෆසීල්, මින්දික තිලකරත්න සහ හේසල් පෙරෙයිරා මහත්වරු ඡායාරූපයකට පෙනී සිටි අයුරු.


advertistmentadvertistment