හේලිගේ මරණයෙන් සත්වෝද්‍යානය කැළඹෙයි

305

ප්‍රතිජීවක ඖෂධ ගත් ජිරාෆ් ආසාත්මිකතාවයකින් මියගියා – වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්

අවදානමට පෙර සූදානමක් පශු වෛද්‍යවරුන් ළඟ තිබිලා නෑ – පරිසරවේදී නයනක රන්වැල්ල

මාධ්‍යයට මුකුත් කියන්න බෑ – පශු වෛද්‍ය චන්දන රාජපක්‍ෂ

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑනු සත්ත්වයන් දෙදෙනාගෙන් වයස අවුරුදු 35ක් වූ ‘හේලි’ නමැති ජිරාෆ් ගැහැනු සත්ත්වයා පෙරේදා (07දා) සවස හදිසියේ ජීවිතක්‍ෂයට පත්වී තිබේ.

පසුගිය දින කීපයේම එක් පාදයක විශාල තුවාලයක් සෑදී ඇවිද ගැනීමට අපහසුතාවයෙන් මෙම සත්ත්වයා වැතිර සිටිනු දැකගත හැකිවූ බවත් ඒ පිළිබඳව පශු වෛද්‍යවරුන් දැනුවත් කළ බවත් එහි සත්වෝද්‍යාන පාලකයෝ ‘දිවයින’ට පැවසූහ.

මෙම සත්ත්වයාගේ පාදයක පැසවා තිබූ තුවාලයකට පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිජීවක එන්නත් ලබාදී නිර්වින්දනය කර ඇති බවත් ප්‍රතිකාර කිරීමෙන් පසු සත්ත්වයා ආසාත්මිකතාවයක් හේතුවෙන් යළි ප්‍රකෘති තත්ත්වයට පත්නොවී මියගොස් ඇති බවත් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා ‘දිවයින’ට පැවැසීය.

කෙසේ වුවත් මෙම සතාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන බවද හෙතෙම කීය. පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් පසු ඉදිරි පියවර ගන්නා බවද හේ කියා සිටියේය. ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් මහතා මෙසේ පැවසීය.

මේ සත්ත්වයා මිය ගියාට පස්සේ පශු වෛද්‍යවරු ඔහේ ගෙදර ගියා. මේ සේවකයෝ ටික හඬා වැළපෙනවා. මේ පශු වෛද්‍යවරුන්ට උණුවෙන හදවතක් නැහැ. සීබ්‍රා සත්තු 4 දෙනෙක් පසුගිය කාලයේ මැරුණා. මේ වන අකටයුතු කම් කරුණාකරලා නවත්වලා දෙන්න.

පරිසරවේදී නයනක රන්වැල්ල මහතා,

මෙවැනි සතෙකුට වේදනා නාශකයක් වේවා ප්‍රතිජීවක ඖෂධයක් වේවා මේ ඕනෑම ඖෂධයක් පළමුව දිය යුත්තේ අඩු මාත්‍රාවක්. ඉන්පසු තත්ත්වය නිරීක්‍ෂණය කරලා තමයි බෙහෙත් කළයුතු වන්නේ. අවදානමට පෙර සූදානමක් තිබිය යුතුයි. හැබැයි එවැනි සූදානමක් සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් තුළ නොතිබූ බවයි නිරීක්‍ෂණය වෙන්නේ. අපි පැහැදිලිව කියනවා මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් සිදුකරන්න කියලා. මෙවැනි සතුන් දුර්ලභයි. මෙවැනි සත්තු අපට නැවත ලබාගැනීමේ හැකියාව නැහැ. ඒ නිසා අපි කියනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයකින් පසුව වගකිව යුත්තන්ට දඬුවම් කළ යුතුයි.

ඒ වගේම මේ පරීක්‍ෂණය යට ගැහුවොත් නීතිමය ක්‍රියාමාර්ගවලට එළැඹෙනවා.

පශු වෛද්‍යවරුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එහි පශු වෛද්‍ය චන්දන රාජපක්‍ෂ මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය.

මේ ගැන මාධ්‍යයට මොකුත් කියන්න බැහැ. අපිට මොකුත් කියන්න එපා කියලා අපි ඉහලින් උපදෙස් ලැබිලයි තියෙන්නේ. අධ්‍යක්‍ෂ ජනරාල්තුමාට කතා කරලා විස්තර ගන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, පින්සිරි ආරියරත්න-රත්මලාන සහ ඥානතිස්ස ජයවර්ධන-බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment