හොංකොංහි සංගීත වේදිකාවක වීඩියෝ තිරය කඩා වැටී දෙදෙනකුට තුවාල

144

හොංකොං රාජ්‍යයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘මිරර්’ සංගීත කණ්ඩායම විසින් පෙරේදා (28දා) රාත්‍රියේ කෝලුන් නගරයේ පිහිටි ප්‍රකට කොලිසියම් ශාලාවේ පවත්වන ලද සංගීත ප්‍රසංගයේදී වේදිකාවේ සවි කර තිබූ දැවැන්ත ලෙඩ් වීඩියෝ තිරය වේදිකාවට කඩා වැටීම හේතුවෙන් සංගීත ප්‍රසංගය සඳහා නර්තනයෙන් දායක වූ ශිල්පීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම සිද්ධිය දැක දැඩි සේ කම්පනයට පත් වූ ප්‍රේක්ෂිකාවන් ගණනාවක් කම්පන තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර ප්‍රසංගය වහාම නවත්වා සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට හොං කොං බලධාරීන් විසින් නියෝග කර තිබේ.

සංගීත ප්‍රසංග වේදිකාවේ සීලිමේ සවි කර තිබූ ලෙඩ් වීඩියෝ තිරය වේදිකාවේ ඉදිරිපත් කරමින් තිබූ ගීතයකට නර්තනයෙන් දායක වූ ශිල්පින් දෙදෙනකුගේ ඇඟ මතට කඩා වැටීම නිසා ඔවුන් දෙදෙනාම වේදිකාව මතට ඇද වැටී ඇති අතර ඔවුන් වහාම රෝහල්ගත කර තිබේ. ඉන් එක් අයෙකුගේ ගෙල ප්‍රදේශයට හානි සිදු වී තිබීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් පසු වන බව වාර්තා වී ඇති අතර අනෙක් ශිල්පියාගේ හිසට තුවාල සිදුව ඇතත් තත්ත්වය යහපත් අතට හැරී ඇති බව බලධාරීහු පවසති. හොංකොං රාජ්‍යයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන පිරිමි ගායකයන් 12 දෙනෙකුගෙන් සමන්විත මිරර් සංගීත කණ්ඩායම කොලිසියම් ශාලාවේ සංගීත ප්‍රසංග 12ක් ලබන මස 05 වැනිදා තෙක් පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර මෙම අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ ඉතිරි සංගීත ප්‍රසංග 08ම පැවැත්වීම අවලංගු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment