හොදි නැතිව පරිප්පු කන පරිප්පු වත්ත…. වැස්සට වාරි ව්‍යාපෘතියක්!  

239

පිටකොටුවේ තොග කඩවල ඉවත දමන පරිප්පු
සෝදලා වේලලා තියෙන්නෙ පරිප්පු වත්තෙ…
මත්ද්‍රව්‍ය, මත්වතුර විකුණන අය නෑ. සූදු ගහන්නේ නෑ.

බීලා මත් වෙලා කෑගහන මිනිස්සු නෑ. පරිප්පු වත්ත පජාත නෑ…
වතුර බහින කාණු හිර වෙලා පොඩි වැස්සටත්

ගොඩ වතුරෙන් මුළු වත්තම යට වෙනවා…
අපිට සින්නක්කර ඔප්පු තිබුණත් අතපය දිගහැරලා ඉන්න

ගෙයක් දෙනවා නම් හෙට වුණත් යන්න සූදානම්…!

අහස උසට ඉදි වූ විසල් ගොඩනැඟිලි, නෙලුම් කුලුනු, නෙලුම් පොකුණු, තරු බැබළෙන සංචාරක හෝටල්, හැන්දෑවට නෙක විසිතුරු විදුලි බුබුළින් ඒකාලෝකවත් වන කොළඹ සුර පුරයකි. එහෙත් කොළඹ මුඩුක්කු, වතු, අඩු ආදායම්ලාභී ජනතාව ජීවත්වන මහල් නිවාසවල ඇතුළාන්තය අපායක් වැනිය. එහෙයින් කොළොම්පුරේ නොපෙනෙන පැත්ත ඔබට හෙළිදරව් කිරීමට ‘නෙලුම් කුලුන යට’ වතුවල අපි සංචාරය කරන්නෙමු. මේ එම ගමනේ තවත් එක් නැවතුමකි…

පරිප්පුවත්ත කොළඹ පිහිටි පරණ වත්තකි. ලිපිනය 276, බේස්ලයින් පාර කොළඹ 09 ය. එම ලිපිනයේ පිහිටි වත්තට ‘පරිප්පුවත්ත’ යන නාමය පටබැඳී ඇත්තේ ඒ වත්තේ මිනිස්සු පිටකොටුවේ තොග ගබඩාවල පරණ වූ පරිප්පු තොග පිටින් රැගෙනවිත් සෝදා වත්තේ දමා වියළා නැවත වෙළෙඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය බැවිනි. ඇතැම් විට වත්තට ආසන්නයේ හල්ගහකුඹුර කුණු ගොඩට බාන පරිප්පු මිටි ද මේ වත්තේ මිනිස්සු රැගෙනවිත් පිරිසිදු කර නැවත වෙළෙඳපොළට නිකුත් කර තිබිණි. කාලෙකට පෙර වත්තේ මිනිසුන් එම ව්‍යාපාරය ජයටම කරගෙන ගොස් ඇති බව සැබෑය. වෙළෙඳපොළේ පරිප්පු නොමැති වුවද වත්තේ නිවාසවල පරිප්පු හිඟ නොවුණු බව අසන්න ලැබෙන කතාවකි. එහෙයින් පරිප්පු මිලට ගැනීමට පැමිණෙන අය මෙන්ම නිතර වියළෙන පරිප්පු පැදුරු දකින මිනිසුන් ඒ වත්ත ‘පරිප්පුවත්ත’ ලෙස හඳුන්වා ඇත.

පරිප්පුවත්ත පිහිටා ඇත්තේ දෙමටගොඩ මානෙල් සිනමාශාලාව පසුපසය. එහෙත් අද මානෙල් සිනමා ශාලාව වැසී ගොස්ය. එම ස්ථානයේ ඇත්තේ වෙනත් ව්‍යාපර ස්ථාන කිහිපයකි. එහෙත් වසර එකසිය පනහකට වඩා පැරැණි ‘පරිප්පුවත්ත’ කොළඹ නගරය මැද සමාජ පරිවර්ථනය සමඟ වෙනස් වෙමින් කෞතුක වස්තුවක් ලෙස තිබේ. පරිප්පු වත්තේදී අප සමඟ කතාබහ කළ බහුතරය ද අවුරුදු පනහට වඩා වයසය. තෙමහල්, දෙමහල්, තනි පළේ නිවාස ද ජරාවාස වී ඇති බව පෙනේ. ඇතැම් නිවාසවල බිත්ති ඉරිතැලී, පුපුරා ගොස්ය. එකට යාව පිහිටි නිවාස බාහිරින් නිරීක්‍ෂණය කරමින් වත්තට පොදු වූ පුංචි මිදුලේ අපි නතර වී සිටින්නේමු.

හොදි නැතිව පරිප්පු කන පරිප්පු වත්ත.... වැස්සට වාරි ව්‍යාපෘතියක්!  

කොන්ක්‍රීට් ගල් ඇල්ලූ මිදුලේ එක කෙළවරක, විශාල සුපිරි වෙළෙඳසල අසළ අතුරු මාවතකට මායිම්ව පොදු ළිඳ පිහිටා තිබේ. තරමක් විශාල ළිඳ තුළ කොළ රොඩු තැම්බෙන වතුර කසාය හැළියක් වැනිය. පොදු ළිඳට ආසන්නයෙන් පොදු වැසිකිළි පේළියක් පිහිටා තිබුණ ද වත්තේ බොහෝ මිනිසුන් තම නිවස තුළ පුංචියට වැසිකිළි සහිත නාන කාරමයක් හදාගෙන තම අවශ්‍යතා පිරිසිදුව ඉටු කරගන්නා බව පරිප්පුවත්තේ වැඩිහිටි කාන්තාවක් අපට කීවාය. ඇය ඩේසි රංජනී වනිගසේකරය.

“මම ඉපදුණෙත් මේ වත්තේ. දැන් මටත් අවුරුදු හැත්තෑහයක් වෙනවා. අපේ සීයා, ආච්චිලාත් ජීවත් වෙලා තියෙන්නෙ මේ වත්තේ. සීයලා, තාත්තලා තමයි පරිප්පු වේලලා තියෙන්නෙ. දැන් නම් වත්තේ මිනිස්සු පරිප්පු කනවා මිසක් වේලන්නෙ නෑ. ඒත් අදටත් කියන්නෙ පරිප්පු වත්ත කියලා. නම පරිප්පු වුණාට මේ වත්ත වෙන වතු වගේ නරක නෑ. මත්ද්‍රව්‍ය, මත්වතුර විකුණන අය නෑ. සූදු ගහන්නෙ නෑ. බීලා මත් වෙලා කෑගහන මිනිස්සු නෑ. හැම කෙනෙක්ම ගෙවල්වලට වෙලා පාඩුවේ ජීවත් වෙනවා. වත්තේ දරුවොත් එහෙමයි. ඉස්කෝලවල ගිහින් ඇවිත් ගෙවල්වලින් එළියට බහින්නෙ නෑ. ඒ වගේම අපේ දරුවො හොඳට ඉගෙන ගන්නවා. මගේ දරුවො තුන්දෙනාගෙන් දුවලා දෙන්නම ගුරුවරියන්. කොළඹ ජනප්‍රිය පාසල්වල උගන්වන්නේ. ඒ වගේ රාජ්‍ය අංශයේ රැකියා කරන කිහිපදෙනෙක්ම මේ වත්තේ ජීවත් වෙනවා. පෞද්ගලික ආයතනවල ඉහළ තනතුරු දරන අය මේ වත්තේ ඉන්නවා. රාජ්‍ය, පෞද්ගලික ආයතනවල පිරිසිදු කරන වෘත්තිකයොත් මේ වත්තේ ජීවත් වෙනවා. ඊටත් පහළ කුලී රස්සා කරන අයත් ඉන්නවා. ව්‍යාපාරිකයො ඉන්නවා. විවිධ වෘත්තිකයන් අපේ වත්තේ ජීවත් වෙනවා. ඒත් දවල් දවසට ඉන්නෙ වයසක අපි කිහිපදෙනා විතරයි…” එසේ කියමින් ඇය කොක් හඬලා සිනාසුනාහ. ප්‍රසන්න පෙනුමැති ඇය පිළිවෙළට ඇද පැළඳගෙන සිටිති. ඇයගේ පුංචි නිවස යකඩ ගේට්ටු සවි කර ආරක්‍ෂිතව, පිළිවෙළට තබාගෙන සිටින බව ද පෙනේ. අතීත විත්ති ගැන තව බොහෝ කරුණු කාරණා ඇය සමඟ කතා කරන්නට තිබේ. එහෙත් පාසල අවසාන වී පැමිණෙන වත්තේ ළමයෙක් අසළ මගේ දෑස් නතර විය. අපි ඔහුව ද කතාවට සම්බන්ධ කරගත්තෙමු. ඔහු ප්‍රනාත්ය. කොළඹ ජනප්‍රිය පාසලක සිසුවෙකි. වයස අවුරුදු පහළොවකි.

හොදි නැතිව පරිප්පු කන පරිප්පු වත්ත.... වැස්සට වාරි ව්‍යාපෘතියක්!  

මේ වත්තේ පාසල් යන ළමයි කීදෙනෙක් විතර ඉන්නවද?

“විස්සක් විතර ඉන්නවා…” පැනය මුවින් ගිලිහෙන සුනංගුවට පිළිතුරු ලැබේ.

පුතාලට සෙල්ලම් කරන්න පිට්ටනියක් තියෙනවද?

“නෑ… අපි සෙල්ලම් කරන්නෙ නෑ. ඉස්කෝලෙ ගිහින් ඇවිත් ෆෝන් එකේ ගේම් එකක් ගහගෙන පාඩුවේ ඉන්නවා. සෙල්ලම් කරන්න ඉඩක් තිබිලා සම වයසෙ ළමයි හිටියා නම් අපිත් සෙල්ලම් කරනවා…” හේ විවෘතය. ඇත්ත ඇති සැටියෙන් කතා කරයි.

පුතලාගේ කැමත්ත මේ වත්තෙම ජීවත් වෙන්නද?

“හිර වෙලා ජීවත් වෙන්න බෑ. අපේ ගෙදර පස්දෙනාට හරියට අතපය දිගහැරලා නිදාගන්නවත් ඉඩ මදි. මම නම් හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා නිදහස් පරිසරයකට යනවා. එහෙම කරන්න බැරි වුණොත් පිටරටකට හරි යනවා. මේ ජීවිතය දැන් අපිට අප්පිරියයි. අපේ පවුලේ මමයි, අක්කයි, මල්ලියි. අක්කා ගුරුවරියක්. අපි තුන්දෙනාම මේ වත්තේ ජීවත් වෙන්නෙ කැමැත්තෙන් නෙමෙයි…” හේ කතාවට දක්‍ෂයෙක් බව හැඟේ. එමෙන්ම පුංචි කාමරයක් තුළ ගත කරන ජීවිතය ගැන ප්‍රනාත් දැඩි කලකිරීමෙන් කතා කරන්නේය. ඔහු පමණක් නොව කොළඹ ජනප්‍රිය බාලිකාවකින් කලා අංශයෙන් උසස් පෙළ සමත් වී පිටරට රැකියාවකට යෑමට සූදානමින් සිටින තරුණියක් ද පුංචි නිවසක සිරවී ගෙවන ජීවිතය ගැන දැඩි කලකිරීමෙන් කතා කළාය.

“යන්න තැනක් නැති නිසයි අපි මේ ගෙදර ජීවත් වෙන්නෙ. නංගිලා, මල්ලිලා ඉස්කෝලෙ යන නිසා තමයි තවම ඉන්නෙ. නැති නම් විකුණලා පිට කොහේට හරි ගිහින්…” ඇය විසිදෙහැවිරිදි තරුණියකි. ඇයට බාල සහෝදර, සහෝදරියන් තිදෙනෙකි. පවුලේ සමාජිකයන් හයදෙනෙකි. සියලු දෙනාට එකට වාඩි වී රූපවාහිනිය නැරඹීමටවත් නොහැකි බව ඇය කීවේ දෙනෙත් කඳුළින් පුරවගෙනය.

කොළඹ බොහෝ වතුවල මෙන්ම පරිප්පුවත්තෙත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් ජීවත් වෙති. නිවාස හතළිස් පහක් තුළ පවුල් පනහක් පමණ ජීවත්වන බවද වාර්තා වේ. කුලියට ජීවත්වන පවුල් කිහිපයක් හැරෙන්න පරිප්පුවත්තේ සියලුම පවුල් මුල් පදිංචිකරුවන්ය. මුල් පදිංචිකරුවන්ගේ දරු, මුණුපුරන්ය. එහෙත් අසල්වැසි කොන්ක්‍රීට්වත්තේ නිවාස මෙන්ම පරිප්පුවත්තේ නිවාස ද පිහිටා ඇත්තේ පර්චස් දෙකකට නොවැඩි කුඩා ඉඩ ප්‍රමාණයකය. සීමිත භූමියේ උපරිම ප්‍රයෝජන ලබාගත් ඇතැම්හු තට්ටු දෙකට නිවාස ඉදිකරගෙන සිටිති. එමෙන්ම සියලුම පදිංචිකරුවන්ට ජීවත්වන භූමියට සින්නක්කර ඔප්පු ද තිබෙන බව වත්තේ පදිංචිකරුවෙක් අප සමඟ පැවසුවේය. හේ රාජරත්නම්ය. දෙදරු පියෙකි. වයස හැත්තෑදෙකක් වන රාජරත්නම්ගේ දියණිය විවාහ වී වෙනම ජීවත්වන බවත් පුතා යකඩ පෑස්සුම් කර්මාන්තයේ නියැළී සිටින බවත් අපට කීවේය.

“මම මේ වත්තේ පදිංචියට ආවේ 1972 අවුරුද්දෙ. මුල්ගම ගම්පොළ. මේ වත්තෙන් තමයි කසාද බැන්දෙ. තරුණ කාලේ ඉඳලා කුලී රස්සා කිහිපයක්ම කළා. දැන් මම කාලයක ඉඳලා දෙමටගොඩ ආයතනයක පිරිසිදු කරන සේවකයෙක් විදිහට වැඩ කරගෙන යනවා. දවසට රුපියල් 900 ක පඩියක් ගෙවනවා. ඉස්සර නම් වේල් තුන පිරිමහ ගන්න ඒ පඩිය ප්‍රමාණවත් වුණා. දැන් නම් එක වේලක්වත් කන්න ලැබෙන පඩිය මදි. ඉස්සර මානෙල් හෝල් එකට එන එක චිත්‍රපටයක්වත් අතහැරියේ නෑ. චිත්‍රපට බලලා, රෑට කොළඹ සවාරි ගිහින් හොඳට කාලා බීලා සතුටින් ජීවත් වුණා. දැන් ඒ සෙල්ලං දාන්න සල්ලි ගෝනියක් තිබුණත් මදි. ඒ වගේම උදේට ටී. වී. එක දාපු වේලාවේ ඉඳලා චිත්‍රපට යනවා. රෑ වෙනකම් වුණත් චිත්‍රපට බලන්න පුළුවන්. නිවාඩු දවස්වලට, ටිකක් රෑ වෙනකම් චිත්‍රපට බැලීම මගේ විනෝදාංශය. ලැබෙන විදිහට සතුටින් ජීවත්වීම තමයි බලාපොරොත්තුව…” රාජරත්නම් සැහැල්ලුවෙන් ජීවත්වන බව කතාවෙන් ද පැහැදිළිය. හේ පුද්ගලික ගැටලුවලට වඩා වත්තේ පොදු ප්‍රශ්න ඉස්මතු කිරීමට වැඩි කැමත්තක් දක්වන බව ද අපට වැටහිණි.

හොදි නැතිව පරිප්පු කන පරිප්පු වත්ත.... වැස්සට වාරි ව්‍යාපෘතියක්!  

“මේ වත්තේ පොදු පහසුකම් නම් අන්තිමයි. පොදු වැසිකිළියට වතුර නෑ. පොදු ළිඳ ජරා වළක් වගෙයි. වතුර බහින කාණු හිර වෙලා පොඩි වැස්සටත් ගොඩ වතුරෙන් මුළු වත්තම යට වෙනවා. සමහර ගෙවල්වල දොරකොඩට කෙටි බිත්ති බැඳලා තමයි ගං වතුරෙන් ආරක්‍ෂා වෙලා ඉන්නෙ. ඒත් ලොකු වැස්සක් වැටුණොත් වත්තම යට වෙනවා. එතකොට නම් ගන්න දෙයක් නෑ. තනිකර නරකාදියක්. ඒ වගේම වැසිකිළි බට ලයින් එක පුපුරලා. සමහර තැන්වලින් ජරාව බහින්නෙත් නෑ. එහෙම වුණාම ටොයිලට් බ්ලොක් වෙනවා. පුංචි කාමරයක වැසිකිළියක් උතුරනකොට වෙන දේ මහත්තයලාට අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ වගේම අපේ වත්තට ප්‍රජා ශාලාවක් නෑ. වත්තේ ගෙදරක මරණයක් වුණාහම පොදු මිදුලේ ටෙන්ට් එකක් ගහලා ඒක තුළ තමයි මිනිය තියන්නෙ. නගර සභාවෙන් ආදායම් බදු එකතු කළාට ඔවුන්ගෙන් අපිට වෙන සේවයක් නෑ…” මෙරට රාජ්‍ය නිලධාරීන් ලබාගන්නා පඩියට සාධාරණ සේවයක් කළා නම් අද මේ රටට මෙවැනි විපත්තියක් සිදු නොවෙන්න ඉඩ තිබිණි. එවැනි කාලකණ්ණි රාජ්‍ය සේවයක් සහිත රටක පරිප්පුවත්තේ පොදු පහසුකම් දුර්වලවීම පුදුමයක් නොවේ. රාජරත්නම් වත්තේ පොදු පහසුකම් ගැන කතා කරනවිට ජෙම්මාලා අපට කීවේ ජීවත්වීමට ක්‍රමයක් නැති බවයි.

ඇයට වයස අවුරුදු අසූපහකි. සත්දරු මවකි. දියණියන්ම සයදෙනෙකි. වියපත් ජෙම්මාලාව හොඳින් රැකබලා ගන්නේ සිව්වන දියණියයි. ඇය සිසිලියාය. ඇයගේ සැමියා කාලයකට පෙර අනතුරකින් මියගොස්ය. දරුවන් නැති ඇය මව සමඟ ජීවත් වන බව අපට කීවාය.

“මටත් දැන් වයස අවුරුදු හැටඑකක් වෙනවා. රස්සාවක් කරන්නෙ නෑ. ජීවත් වෙන්නෙ අම්මට ලැබෙන පිං පඩියෙන්. ඒකත් හරියට වෙලාවට ලැබෙන්නෙ නෑ. ජීවත් වෙන්න හරිම අමාරුයි…” රැකියාවල නිරත අයටත් ජීවත්වීමට අසීරු ආර්ථික ක්‍රමයක් තුළ මාසෙකට ලැබෙන සොච්චම් පිං පඩියකින් දෙදෙනෙක් මාසයක් ජීවත්වීම සිතාගැනීමටත් නොහැකි තරම්ය. සිසිලියාට සමු දුන් අපි මිදුලේ කෙළවරකින් වැටුණු පටු පාර දිගේ වත්ත තුළට ඇවිද ගියෙමු. නිවාස අතරින් වැටුණු පාර අඩි දෙකකට වඩා පළල් නැත. පාරක් නොව නිවාසවල එළිපත්තෙන් වැටුණු අඩි පාරක් කීවොත් අප නිවැරැදිය. රාජරත්නම් කියූ කතාව සැබෑය. ඇස ගැටෙන බොහෝ නිවාසවලට ඇතුළුවන ප්‍රධාන හෝ එකම උළුවස්සට යටින් අඩි එකහමාරක, දෙකක කෙටි බිත්තියක් බැඳ තිබෙන බව පෙනේ. සිමෙන්ති ගඩොලෙන් බැඳ කපරාරු කර නැති හෝ දියසෙවෙල බැඳී ජරාජීර්ණ වූ නිවාස අතර හුණු පිරියම් කර තීන්ත ආලේප කරන ලද නිවාස දෙක, තුනක් ද ඇස ගැටිණි. ඒ කිසිදු නිවසක් තුළින් බල්ලො බිරිලි, කැසට් රේකෝඩර්වල කණ පාරන සංගීත හඬ කිසිවක් නොඇසේ. ගුහාවක ඇවිද යන අයුරින් නිවාස පේළි මැදින් ඉදිරියට ඇවිද යන අපට පුංචි කුස්සියක හොද්දක් හැඳි ගාන කාන්තාවක් ඇස ගැටිණි. අපි ඇයට කතා කළෙමු.

දවාලට උයන්නෙ දැන් ද? මගේ පැනයට පිළිතුරක් දෙනවා වෙනුවට ඇය ඇඹරිණි.

“මාකට් එකට ගිහින් බඩු ගේනකොට ටිකක් පරක්කු වුණා…”

ලිපේ තියෙන්නෙ මොනවද?

‘පාතෝල…’

ඇය ෆාතිමාය. දෙදරු මවකි. වයස අවුරුදු පනස් හතකි. ඇයගේ සැමියා කුලීකරුවෙකි. ඔවුන්ගේ දුප්පත්කම ඇඟලාගෙන සිටින දිග ගවුම, හිස වසාගෙන සිටින රෙදි කඩෙන් මෙන්ම ජරාවාස වූ අන්ධකාර නිවස තුළින් හොඳින් පසක් වේ. මුළුතැන්ගෙය බලන්න බැරි තරමට ජරාවාස වී ඇති බව පෙනේ. එහෙත් අපි පුංචි මුළුතැන්ගෙට ඇතුළු වීමු.

“මේ බලන්න මහත්තයා ගෙයි බිත්ති පුපුරලා තියෙන හැටි. කොයි වේලාවේ කඩා වැටෙයිද දන්නෙ නෑ. අලුත්වැඩියා කරගන්න විදිහක් නෑ. අවුරුදු ගාණක් මම කුවෙට් රටේ වැඩ කරලා තමයි මේ තරමට හරි ගේ කෑල්ල හදා ගත්තෙ. මහත්තයා කුලියක් කරලා ගන්න මුදල කෑමටත් මදි…” දුක්ගැනවිල්ල අතරේ ඇය ඉරි තැලී පුපුරා ගිය බිත්ති අපට පෙන්නුවාය. නැවත පිරියම් කළ නොහැකි තරමට ඒ බිත්ති පුපුරා ගොස්ය. නිවාස ඇතුළේ ඇඳන්, මෙට්ට කිසිවක් නැත.

අසුන්ගැනීමට පුටුවක් හෝ තිබෙන බවක් කළුවර ගුහාව තුළින් ඇස නොගැටිණි. නිවස මැද පුංචි සොල්දර කෑල්ලකි. ඒ මතට නැඟීමට ලෑලිවලින් තෑනු ඉණිමඟකි. ඒ නිවස තුළ තවත් රැඳීමට නොහැකිය. මුව ආවරණ පාසරු කරගෙන කිඳා බසිනා පුළුටු ගඳ මොලේ සියුම් ලේ නාහර දවන්නේය. එහෙයින් අපි එම නිවසෙන් එළියට පැමිණියෙමු.

එම නිවස මායිම් වී ඇත්තේ අහස උසට ඉදි වූ විශාල තාප්පයකටය. ඒ තාප්පය පරිප්පුවත්තේ එක පැත්තක සීමාවය. එමෙන්ම ෆාතිමලාගේ මුළුතැන්ගෙට මුහුණලා තවත් නිවෙසක ඉදිරිපසය. ඒ නිවස ඇතුළු ඊට යාව පිහිටි නිවාස පේළියේ දොරකොඩ වැටී ඇත්තේ විසල් තාප්පය දෙසටය. ඒ නිවාස පේළිය සහ තාප්පය අතර දුර අඩි දෙකකට වැඩි නැත. මහා තාප්පයෙන් ආවරණය වූ එම නිවාස පේළියට හරි හැටි හිරුඑළියක් හෝ නොවැටෙන බව නම් සිකුරුය. පරිප්පුවත්තේ හිරවුණු ජීවිත ගැන විවිධ සිතුවිලි සිතේ ඇඳෙන විට අප අසළට පැමිණි පදිංචිකාරිණියක් අපූරු කතාවක් කීවාය.

“මේ සියලුම ගෙවල් පුපුරලා තියෙන්නෙ. මේ ගෙවල් ගොඩේ පිළියම් කරන්නත් බෑ. ඉඩමට සින්නක්කර ඔප්පු තිබුණට ගෙවල් හදන්න මේ වත්තේ හැමෝටම සල්ලිත් නෑ. ඒ නිසා අතපය දිගහැරලා ඉන්න ගෙයක් දෙනවා නම් හෙට වුණත් අපි යන්න සූදානම්…” ඇය සිංහල කාන්තාවකි. තලස්තෑනි ඇය නම පැවසීමට තරමක් මැලි විය.

කොළඹ නගරය මැද බේස්ලයින් පාරට මීටර් ගාණක් දුරින් පිහිටි ඒ ඉඩම්වල වටිනාකම අධික බව සැබෑය. එහෙත් පුංචි නිවාසවල ජීවත්වීමට සිදුව ඇත්තේ ජෑම් වෙලා නම් ඉඩම්වල වටිනාකමෙන් ඇති ඵලක් නැත.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment