හොඳටම කළ දේ…

1229

හතර වටින් ඇසෙන අසතුටුදායක ආරංචි අතර, කලකට පසු සුබදායී ආරංචියක් අසන්නට ලැබේ. ඒ සුබදායී ආරංචිය නම්, මාස 11 කට පසු දෛනික කොරෝනා මරණ ප‍්‍රමාණය එකක් (1) දක්වා අඩුවීමය. මෙම සංඛ්‍යාව වාර්තා වන්නේ මාර්තු 15 වනිදාය. මීට පෙර එක් කොවිඩ් මරණයක් වාර්තාවී ඇත්තේ ඉකුත් 2021 වසරේ අපේ‍්‍රල් මස 18 වැනිදාය. කොවිඩ් වසංගතය මෙරට ව්‍යාප්ත වීමත් සමග වරෙක දරුණු ලෙස වසංගතය පැතිර ගිය අතර එමගින් මේ දක්වා මෙරට මියගොස් ඇති සංඛ්‍යාව 16,000 කට ආසන්නය. ඒ අතර රජය ගෙන ගිය එන්නත්කරණ (ප‍්‍රතිශක්තිකරණ) වැඩසටහන සුවිශාල ප‍්‍රගතියක් අත්කරගන්නා ලද අතර, අද මෙසේ එක කොවිඩ් රෝගී මරණයක් දක්වා මරණ ප‍්‍රමාණය අඩුකරගන්නට ලැබීම එම එන්නත්කරණ වැඩසටහනම මිස අනිකක් නොවන බවට අපගේ විශ්වාසයයි. අද තුන්වන මාත‍්‍රාව ලෙස යුරෝපයේ ‘‘ෆයිසර්” එන්නත ජනතාවට ලබාදෙන්නේ බලේට මෙනි. ඒ තරමටම ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන සාර්ථකව රජය ඉටුකර තිබේ. එහි සම්පූර්ණ ගෞරවය රජයට හිමිවිය යුතුය. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව එය හොඳටම කළේය.

නමුත් හතර වටින් ඇසෙන අසතුටුදායක ආරංචිවල වගකීමද රජය විසින් භාරගත යුතුව ඇත. මන්ද ඒ කටයුත්තත් ආණ්ඩුව හොඳටම කර ඇති නිසාය. එනම්, රට පුරාම මේ වනවිටත් ගෑස් නැත, ඞීසල් – පෙට‍්‍රල් හිඟය ඔඩුදුවා ඇත, බැලූ බැලූ ඉන්ධන හල් අසල දිගු පෝලිම්ය. සිමෙන්ති හිඟය, සහල් – එළවළු – පොල් – පොල්තෙල් යනාදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම ආණ්ඩුවේ දුර්වලතා නිසා සිදුවූවක් බව නොකිවමනාය. මෙහි ඇත්තේ දුර්වල ආර්ථික කළමනාකරණය බව දැන් ජනතාවගෙන් වැඩිදෙනෙක් දන්නා කාරණයකි. මේ කතාකරන දවස, මොහොත වනවිටත් තෙල්, ගෑස් පෝලිම් රටපුරා දක්නට ලැබේ. එනිසා ජනාධිපතිවරයා ජාතිය අමතමින් මේ අර්බුදයට තමන් වගකිව යුතු නැති බව කීවත්, ජනයා බැන අඬගසන්නේ රජයට හා ජනාධිපති ඇතුළු ආණ්ඩුවට බව මතක තබාගත යුතුය.

කොවිඩ් වසංගතය මෙරට ආර්ථිකය කා දැමූ බව සත්‍යයකි. රුසියානු – යුකේ‍්‍රන යුද්ධය මෙරට ආර්ථිකය කාබාසිනියා කර දැමූ බවද (ලෝක බොරතෙල් මිල ඉහළ යෑමෙන්) සත්‍යයකි. එනමුත් මෙරට විදෙස් සංචිත ප‍්‍රමාණය පහළටම කඩාගෙන වැටීමේ වරද මේ එකක්වත් මත පැටවිය නොහැකි බව අපගේ හැඟීමයි. ඊට හේතුවී ඇත්තේ මෙතෙක් මේ රටේ බලයට පත් සියලූම ආණ්ඩු විසින් පවත්වාගෙන ආ දුර්වල ආර්ථික කළමනාකරණයේ ප‍්‍රතිඵල බව රහසක් නොවේ. මෙහි වැඩි වරද 1977 න් පසු බලයට පත් සියලූ ආණ්ඩු විසින් අඩු – වැඩි වශයෙන් දැරිය යුතුය. 77 ජේ. ආර්. ජයවර්ධන පාලනයේදී හඳුන්වාදුන් විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියෙන් පසු මෙරට නිෂ්පාදන ආර්ථිකය බින්දුවටම කඩාවැටීම මේ ඩොලර් සංචිත අර්බුදයට මුල්වූ කාරණයයි. එතැන් පටන් ආරම්භ වන්නේ රටින් ගෙනත් කෑමේ ආර්ථික රටාවකි. රටේ ආර්ථික වෙනසක් බලාපොරොත්තුව බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදී කීවේ විවෘත ආර්ථික යක්ෂයාට තමන් මානුෂික මුහුණුවරක් ලබාදෙන බවය. ලබාදුන් මානුෂික මුහුණුවර අපි හොඳින් දුටුවෙමු. ඉන්පසු බලයට පත් කිසිදු රජයක් දේශීය නිෂ්පාදන ආර්ථිකය දියුණු කර, රටේ සල්ලි පිටරටට ඇදී යන එක වැළැක්වූයේ නැත. අඩුම තරමින් වාමාංශික දර්ශනයකින් බලයට පැමිණ 30 වසරක යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටවත් දේශීය නිෂ්පාදන ආර්ථිකයක් මගින් විදේශ සංචිත ප‍්‍රමාණය ඉහළ නංවන්නට තිබූ අවස්ථාව ඔහු නොසලකා හැරියේය. එමෙන්ම සංවර්ධනයට යැයි කියා වැඩි වැඩියෙන් ණය අරගෙන අත්‍යවශ්‍ය නොවන සංවර්ධන කටයුතුවලට වැඩි අවධානය යොමු කළේය.

එදාවේල ටුවර්ස් ප‍්‍රතිපත්තියේ සිටි සියලූම ආණ්ඩු කළේ කප්පරක් ණය අරගෙන, එයිනුත් කොමිස් කකා රටේ උපදින්නට සිටින එකාත් ඩොලර් ලක්ෂයකට දෙකකට ණයකාරයකු බවට පත්කිරීමය. දැන් ඉතිං හැම පැත්තෙන්ම කඩාවැටුණු රටේ ණයක් නැතිව ඩොලර් සංචිත හොයන්නට වෙන්නේ නිධන් හෑරීමෙන් පමණි. මේ ආර්ථික කඩාවැටීම රටේ පාලකයන්ගේ වරදක් යැයි අපි කියන්නේ එනිසාය. තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල දුක්විඳින, ලයිට් නැතිව දුක්විඳින මිනිසුන් ආණ්ඩුවට, පාලකයන්ට, දේශපාලකයන්ට කියන කුණු කතා ඒනිසා දැන් ඉතිං ඉවසීමෙන් අසා සිටින්නට පාලකයන්ට සිදුවේ.

ජනාධිපතිවරයා කියන පරිදි මේ අර්බුදයට හේතුව එතුමාගේ වරදක් නොවිය හැකිය. නමුත් නාස්තිය, දූෂණය, විෂමාචාරය ඔඩු දුවා ඇති රටක ආර්ථික කඩාවැටීම අරුමයක් නොවේ. වත්මන් ජනාධිපතිවරයාට රට යහමගට ගැනීමේ සියලූ හැකියාවන් බලගන්වන්නට ජනතා වරම ඕනෑවටත් වඩා ලබාදී තිබේ. නමුත් එම වරම නිවැරදිව ප‍්‍රයෝජනයට ගන්නේදැයි දැන් රටට ප‍්‍රශ්නයක්ව තිබෙන්නේ කප්පරක් ජනතා ප‍්‍රශ්න, අර්බුද ගැන විමසීමේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment