හොඳටම කෙරුවේ අපි තමයි

1587

1911 දී නැගෙනහිර යුරෝපයේ උපන් ඊ්ඊ් ඪ්භඨ් නමැති අන්තර්ජාතික කීර්තියට පත් පේනකාරි 1930  ගණන්වලදී සඳහන් කළ පරිදි ක්‍රිස්තු වර්ෂ 3000 එළැඹෙන විට මනුෂ්‍ය වර්ගයා යළිත් වරක් ශිෂ්ඨාචාරයේ ආරම්භයටත් එහාට ගොස් හෙළුවැල්ලෙන් ඇවිදීමටත් සතුන් මරා පලහාගෙන කෑමටත් නියමිතය. අමු මස් පලහාගෙන කෑමට මනුෂ්‍යයාට පුරුදු කරන ලද්දේ ශිෂ්ඨාචාරය විසිනි. දිගින් දිගටම අමු මස් අනුභව කළහොත් එය දිරවීමේ ශක්තිය නැති නිසා මරණයට පත්වීමේ ප්‍රවණතාවක් එදා සිටම තිබිණි. අද අප මේ තීරුව ආරම්භ කරනු පිණිස බාබා වැන්ගා නමැති පේනකාරිය මෙනෙහි කරන්නේ යුරෝපයේ සිටි ජනප්‍රියතම පේනකාරිය ඇය වූ බැවිනි. මිනිසා වූ කලී ශිෂ්ඨාචාරය දිගේ ඉතා වේගයෙන් දිවගෙන ඉදිරියට ආ ප්‍රාණියෙකි. මනුෂ්‍ය ශිෂ්ඨාචාරය පිළිවෙළකට පටන් ගන්නේ මෙයට අවුරුදු දහදාහකට පමණ පෙර ය. මනුෂ්‍ය ශිෂ්ඨාචාරය මෙයට අවුරුදු දෙසීයකට පෙර ඉතා වේගවත් විය. එය සිදුවන්නේ කාර්මික විප්ලවය සමගය. කාර්මික විප්ලවය පටන් ගන්නේ රෙදි විවීම සඳහා ය. යුරෝපය සංවිධානාත්මක අධ්‍යාපන ක්‍රමය පටන් ගන්නේ ද රෙදි විවීමේ කර්මාන්තයට සමගාමීව ය. මේ අතුරු කතාව ද කෙටියෙන් කියමු. යුරෝපයේ ව්‍යාපාරිකයන් වාෂ්ප බලයෙන් ක්‍රියාකරන රෙදි වියන යන්ත්‍රවල සේවයට යොදවන ලද්දේ කාන්තාවන් ය. මෙයට තිබූ ප්‍රධාන බාධකය වූයේ ඒ කාන්තාවන්ගේ දරුවන් අම්මලා සමඟ සිටීම ය. මේ නිසා අම්මලාගෙන් දරුවන් වෙන්කර අම්මලා කර්මාන්ත ශාලාවලටත්, දරුවන් වෙනත් තැනකටත් යැවීම සඳහා සංවිධානාත්මක පාසල් ක්‍රමය ආරම්භ කරන ලදී. මෙකල යුරෝපයේ පාසල් උදේ සිට රෑ වන තුරුම පැවතිණ. වයස අවුරුදු 2 – 3 සිට අවුරුදු 12 – 13 දක්වා වූ සියලුම දරුවන් එකම පංතියේ ඉගෙනුම ලබනු දක්නා ලදි. මේ දරුවන් විවිධ ශ්‍රේණිවලට වෙන්කොට වයස අනුව සුදුසු අධ්‍යාපනය ලබාදීම සිදුකිරීමට පටන් ගන්නේ ඉන් බොහෝ කලකට පසුවය. කාර්මික විප්ලවය දියුණු වීමත් සමඟම එතෙක් මඟී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදවන ලද අශ්ව කරත්ත අතුරුදන් වී වාෂ්පයෙන් වැඩකරන රථවාහන ආදේශ විය. ඊළඟ අවුරුදු 200 තුළ ලෝකය දියුණු වෙද්දී වාෂ්ප එන්ජිම වෙනුවට ඩීසල් එන්ජිමත්, විදුලි එන්ජිමත් පැමිණියේ ය. එනම් ඩීසල් හා පෙට්‍රල්වලින් වැඩ කරන විවිධ කාර් ද විදුලියෙන් වැඩ කරන දුම්රිය ද නිෂ්පාදනය විය. මෙහිදී ඩීසල් සහ පෙට්‍රල්වලට ප්‍රමුඛ තැනක් හිමි වේ. භූගතව පැවතියදී විශාල මූල ධනයක් වැයකර පොළොවෙන් ඉවතට ගෙන පිරිපහදු කර රථවාහන, ජෙනරේටර්, ගුවන්යානා යනාදිය පණ ගැන්වීම සඳහා යොදවන FOSILIZED FUEL හෙවත් පොසිලගත ඉන්ධන ලෙස හැඳින්වෙන පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් යනාදිය ඉදිරි අවුරුදු සියය තුළදී සම්පූර්ණයෙන්ම අවසන් වන බවට පුරෝකථනය වී තිබේ. ලෝකය ඉදිරියට යන වේගය අනුවත් දෛනිකව නිෂ්පාදනය කරන ඉන්ධන මූලික කරගත් යන්ත්‍ර සහ වාහන දෙස බැලීමේදී ඉතා පැහැදිලිව පෙනී යන කාරණය වන්නේ තව අවුරුදු සියයකින් නොව අවුරුදු පනහකින් ඉන්ධන නමැති භාණ්ඩය සපුරා අවසන් වන බව ය. මේ සඳහා සූර්ය බලය, සුළං බලය සහ මුහුදු රළ බලය යොදාගෙන විවිධ බලශක්ති ප්‍රභවයන් තැනීමට මනුෂ්‍යයා තුළ උනන්දුවක් ඇතත්, ඒවා අදටත් සියයට සියයක විකල්ප ලෙස හඳුනාගෙන නැත. මේ නිසා ඉදිරි අවුරුදු 50 තුළ ලෝක ප්‍රජාවගෙන් විශාල පිරිසකට ආපස්සට යෑමට සිදුවනු ඇත. ඒ ආපසු ගල්අඟුරු යුගයටත් එතැනින් බර කරත්තවලටත් ඊළඟට දෙපයින් යෑමටත් හෙළුවැල්ලෙන් සිටීමටත් යනාදී වශයෙනි. තව අවුරුදු පණහකින් මඟුලකදී දෑවැද්ද වශයෙන් මනාලයාට දීමට සිදුවන්නේ ඊතල මිටියක්, කෙටේරියක්, දඩයම් බල්ලෙක් සහ දුන්නකි.

ඉහත සඳහන් විස්තරයෙන් පසු අපි අපේ මවුරට දෙස බලමු. යුරෝපයේ රටවලට ආපසු ගල්යුගයට යෑමට සිදුවන්නේ අවුරුදු 200 කට පමණ පසු ය. එහෙත් ගල් යුගයට යෑමේ ගමන අපි දැන්මම පටන් ගෙන ඇත්තෙමු. මේ දිනවල මේ රටේ ජනයා ක්‍රමයෙන් කෙටි ගමන් පයින් යෑමට පුරුදුවෙමින් සිටිති. මීට පෙර ඔවුන් තනි බස් හෝල්ට් එකේ ගමන පවා ගියේ මෝටර් රථයෙන්, මෝටර් බයික් එකෙන් හෝ බස් එකෙනි. ඉදිරියේදී කෙටි ගමන් වලින් නො නැවතී දිග ගමන් පවා පයින් යෑමට අපට සිදුවනු ඇත.

වැඩි දෙනා විශ්වාස නොකළ ද ශිෂ්ඨාචාරය ඉදිරියට ගියේ ධනය, බලය සහ දැනුම නිසා ය. එක්තරා කාලයකදී (මෙය අදටත් සාධාරණය) දැනුම කොතරම් තිබුණත් ධනය සහ බලය නොතිබුණේ නම් ඉදිරියට යෑමක් නැති විය. ශ්‍රී ලංකාව මේ නිර්ණායකයෙන් පරිබාහිර රටකි. මේ රට ඉදිරියට ගියේ ධනය, බලය සහ දැනුම නමැති සාධක මත නොව විදේශ ණය නමැති සාධකය මත ය. 1948 න් පසු මේ රට දිගටම පිටරටවල්වලට ණය විය. ශිෂ්ඨාචාරයේ යාන්ත්‍රික මෙවලම් සියල්ල මෙරටට ගෙන්වන ලද්දේ ණයට ය. ඒ ණය ක්‍රමයෙන් ගොඩ විය. වසර 1970 දී ශ්‍රී ලංකාවේ තිබූ විදේශීය ණය බර ඩොලර් බිලියන 02 කි. අද එම ගණන ඩොලර් බිලියන 50 ඉක්මවා තිබේ. විදේශ ණය දීම නැවතුනු තැන දී අපේ දැනුම ධනය මෙන්ම බලය ද ගොඩනැංවීමට අවශ්‍යකරන ආනයනික මෙවලම් සහ වෙනත් ශක්ති ප්‍රභවයන් සියල්ල අතුරුදන් විය. මේ නිසා අපට සිදු වී ඇත්තේ ආපසු හැරෙන්නට ය. මෙසේ හැරෙන මේ ජාතිය විජයාවතරණයත් පසුකර තවත් බොහෝ ඈතට ගමන් ගන්නවා ඇත.

ලෝකයේ ඉන්ධන අර්බුදය මෙතරම් භයානක ලෙස දැනී ඇති එකම රට ශ්‍රී ලංකාව බව පෙනී යයි. මේ කාරණයේදීත් කප් එක අපටය. එනම් ලෝකයේ සෙසු රටවල් තව අවුරුදු 200 කින් ශිෂ්ඨාචාරයේ මුලට යන විට අපි දැන්මම එම ගමන පටන් ගෙන ඇත්තෙමු. මේ අනුව යුරෝපය තවදුරටත් කලිසම් අඳිද්දී අප හෙළුවැල්ලෙන් පොලු කෙටේරි ගෙන සතුන් පසුපස දිව යෑමට ඉඩ තිබේ. ඒ අනුව හොඳටම කර ඇත්තේ අප ය.

advertistmentadvertistment
advertistmentadvertistment