හොඳටම පහරදී හැවැන්පොලදී සිසුවකු මැරූ – සිසුහු 11 දෙනා 29දා තෙක් ගම්පොළ ළමා රැඳවුමට

390

වෙලගෙදර හැවන්පොල අංහන්දිය තැපැල් කාර්යාලය අසලදී 16 හැවිරිදි සිසුවකුට අතින් පයින් හා ආරක්‍ෂක හිස්වැසුමකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 11 දෙනා ඊයේ (23දා) පිලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා තෙක් ගම්පොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට නියෝග කළ බව වෙලගෙදර පොලිසිය පවසයි.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබුණේ වයස අවුරුදු 15, 16, 17 යන වයස්වල පසුවන ඇරෑපොල කන්ද හා අඹකෝට්ටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වෙලගෙදර, හැවන්පොල පදිංචිව සිටි තිළිණ ටිරාජ් නමැති පසුගියදා අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටි සිසුවෙකි.

අප්‍රේල් 16 වැනිදා මියගිය සිසුවා අවුරුදු උත්සවයක් නැරඹීමට යමින් සිටියදී අදාළ සිසුන් පිරිස විසින් මෙම සිසුවාට අමානුෂික ලෙස පහරදී තිබිණි. මෙම පහරකෑම හේතුවෙන් එම සිසුවා 16 වැනිදා සිට කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (22දා) මියගිය බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ සිසුවා හා ඝාතනයට සම්බන්ධ සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් මෙම අපරාධයට හේතුවී ඇතැයි පොලිසිය කියයි. මේ පිළිබඳව කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාගේ අධීක්‍ෂණය යටතේ වෙලගෙදර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිරෝෂන් මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment