හොඳම ආණ්ඩුව!

1831

අනුරාධපුරයේ සාලියපුර ගමේ පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 72 වෙනි සැමරුම් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (10දා) උදේ කළ කතාව කෙරෙහි සියලූ දෙනාගේ අවධානය යොමුවිය යුතුය. අපගේ වැටහීමට අනුව ජනාධිපති ගෝඨාභය මේ කතාව මගින් සිය හෘද සාක්ෂියට ආමන්ත‍්‍රණය කළේය. මේ කතාව තුළ වැදගත් කරුණු විස්සක් පමණ තිබේ. එයින් දෙකක් ගැන පමණක් අප සාකච්ඡා කරන්නේ ජනාධිපතිවරයා තමන් මෙතෙක් ආ ගමන පිළිබඳ තමන් තුළ ඇති තක්සේරුවද මේ රට තුළ සිදුවිය යුතු යැයි ඔහු අවංකව සිතන කාරණයක් ද කතාව මගින් හෙළිදරව් කරන නිසාය. එම කරුණු දෙක මෙසේය.

1. බලාපොරොත්තු වූ ආකාරයට වැඩකටයුතු සිදු නොවීම නිසා තමා සහ රජය කෙරෙහි ජනතාව තුළ අප‍්‍රසාදයක් පවතින බව පිළිගන්නා බව පැවසීම.

2.දූෂණය වැළැක්වීම සඳහා සහාය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීම.

ජනාධිපතිතුමා විස්තර කරන පළවෙනි කාරණය හෙවත් රජය සහ එතුමා කෙරෙහි ජනතාව තුළ අප‍්‍රසාදයක් පවතින බව ඇත්තම ඇත්තකි. එසේම මෙය ඉතා සාමාන්‍ය තත්ත්වයක් බවද ජනාධිපතිතුමා වටහාගත යුතුය. 1970 න් පසු පත්වූ කිසිම ආණ්ඩුවක් කෙරෙහි පසුකාලීන ප‍්‍රසාදයක් එම ආණ්ඩුවට ඡුන්දය දුන් ඡන්දදායකයන් තුළ ඇතිවුණේ නැත. අවංක සහ පිරිසිදු නායකයකු වූ ඩඞ්ලි සේනානායකගේ යූ එන් පී ආණ්ඩුව 1970 දී පරාජයට පත්කළ මෙරට ජනතාව ලෝකයේ තිබෙන හොඳම ආණ්ඩුව පත්කිරීම සඳහා 1970 දී බණ්ඩාරනායක මැතිනියට ඡන්දය දුන්හ. ඉතාම කෙටි කලක් තුළ එම ආණ්ඩුව කෙතරම් අප‍්‍රසාදයට පත්වීද යත් ඊළඟ අවුරුද්දේ අපේ‍්‍රල් මාසයේදී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව ආයුධ අතට ගත්හ. 1977 දී බණ්ඩාරනායක මැතිනිය පරාජයට පත්කළ මේ රටේ මිනිස්සු ලෝකයේ හොඳම ආණ්ඩුව පිහිටුවීම සඳහා ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත්කළහ. එහෙත් ඉතා ස්වල්ප කාලයකින් ඒ ආණ්ඩුව සම්පූර්ණ අල ගොඩක් බවට පත්විය. එයට හේතුව තිස් අවුරුදු කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය පස් අවුරුද්දෙන් කළාක් මෙන් කඩිනමින් අන්ත දක්ෂිණාංශික රජයක් රට තුළ තහවුරු කිරීම පිණිස ජේ. ආර්. ජයවර්ධන කටයුතු කිරීමය. ධනවාදී රාජ්‍යයක් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ඒ වනවිට ලංකාවට තිබුණේ නැත. ඒ වනවිටත් ශ‍්‍රී ලංකාව ගැමි රාජ්‍යයකි. ඒ නිසා ධනපති පැලැන්තියක් පිහිටුවීම මිස ධනපති රාජ්‍යයක් පිහිටුවීමට ජේ. ආර්. ට බැරිවිය.

එහෙත් 1983 මහර අතුරු මැතිවරණයේදී විජය කුමාරණතුංගගේ කන ගාවින් යන පරිදි වෙඩිල්ලක් තැබීම, මැතිවරණවලදී ඡුන්ද ගණන් කරන විට ලයිට් යෑමට සැලැස්වීම, මහාචාර්ය සරච්චන්ද්‍ර කාණුවක ඔබා පහරදීම, ජූලි වැඩ වර්ජකයන් මහ පාරට ඇද දැමීම ඇතුළු දේශපාලන ජල්බරි සමූහයක් හරහා ප‍්‍රචණ්ඩත්වය පතුරමින් අවුරුදු දාහතක පමණ කාලයක් යූ. එන්. පී. ආණ්ඩු පවත්වාගෙන යෑමට එතුමා මග විවර කර දුන්නේය. අවසානයේදී තමන් පත්කළ යූ. එන්. පී. ආණ්ඩු ගැන මහත් සේ කලකිරුණු ජනයා ලෝකයේ හොඳම ආණ්ඩුව පිහිටුවීම සඳහා 1994 දී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියට රට භාර කළහ.

චන්ද්‍රිකාගේ පාලන සමයේ පළමු අවුරුදු කිහිපය තුළදී මිනිස්සු ආණ්ඩුව කෙරෙහි මහත් සේ කලකිරී 2001 දී රනිල් වික‍්‍රමසිංහ ගේ ආණ්ඩුව බලයට පත්කළහ. එවරද ඡුන්ද දායකයාගේ අරමුණ වූයේ ලෝකයේ හොඳම ආණ්ඩුව පිහිටුවීමය. ඊට පසු ලෝකයේ හොඳම ආණ්ඩුව පිහිටුවීම සඳහා එන්නේ මහින්ද රාජපක්ෂය. යුද ජයග‍්‍රහණය නිසා මහත් සේ සතුටට පත්වූ මේ රටේ ජනයා මහින්ද රාජපක්ෂ දෙවනි වරටත් ජනාධිපති කොට ලෝකයේ හොඳම ආණ්ඩුව පිළිබඳ බලාපොරොත්තු දල්වා ගත්හ. එහෙත් බලයට පත්වී ඉතා කෙටි කාලයකින් ඒ ආණ්ඩුව දූෂණය විය.

කෝපයට පත්වූ ජනයා මහින්ද රාජපක්ෂට පාඩමක් ඉගැන්වීම පිණිස යහපාලන ආණ්ඩුව බලයට පත්කළහ. ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව අල ගොඩක් නම් යහපාලන ආණ්ඩුව කෙළින්ම අල කන්ටේනරයකි. ඉතාම නරක තත්ත්වය වූයේ මේ අල කුණු වෙමින් පැවතීමය. ලෝකයේ හොඳම ආණ්ඩුව පිහිටුවීමේ අරමුණින් යහපාලනයට ඡන්දය දුන් ජනයා පළමු අවුරුදු දෙක තුළදීම ආණ්ඩුව කෙරෙහි මහත් සේ කලකිරී ලෝකයේ හොඳම ආණ්ඩුව පිහිටුවීම සඳහා ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්හ. ගෝඨාභය ජනාධිපති වී ආණ්ඩුව ද පිහිටුවා ස්වල්ප කලකින් කොවිඞ් 19 පැතිරෙන්නට පටන් ගත් අතර මිනිස්සු නන්නත්තාර වූහ. මෙවැනි තත්ත්වයක් තුළදී කිසියම් ආණ්ඩුවක් 100% පිරිසිදු වුවද, 100% අවංක වුවද නැති බැරි මිනිහාගේ කෝපය ගලා යන්නේ ජනාධිපති සහ ආණ්ඩුව උඩිනි.

මීළඟ සැරේ මේ රටේ ජනයා ගෝඨාභය රාජපක්ෂ පරදවන්නේ නම් එය කරන්නේ ද ලෝකයේ හොඳම ආණ්ඩුව පිහිටුවීම පිණිසය. ගෝඨාභය රාජපක්ෂ දිනවන්නේ නම් එය කරන්නේද ලෝකයේ හොඳම ආණ්ඩුව පිහිටුවීම පිණිසය. එහෙත් ලෝකයේ හොඳම ආණ්ඩුව යනු සංකල්පයක් පමණි. එය කවදාවත් ඉටුවන්නේ නැත. හොඳම ආණ්ඩුව පිහිටුවීම සඳහා ඡුන්දය දෙන මිනිහා හය මාසයකට පසු නොන්ස්ටික් ෆෑන් එකෙන් ගෑස් ළිපට වැටී පස්සා පැත්තෙන් දුම් දමමින් ආණ්ඩුවට හෙන ඉල්ලන්නට පටන් ගනී.

මෙය සාමාන්‍ය තත්ත්වයකි. ලෝකයේ හැම රටකට මේ තත්ත්වය තිබේ. ඇමෙරිකාව අදටත් ලෝකයේ හොඳම ආණ්ඩුව පිහිටුවා නැත. එංගලන්තයේ ජනයා හොඳම ආණ්ඩුව පිහිටුවන්නේ ඊළඟ ඡුන්දයේදීය. ජනාධිපති ගෝඨාභය කෙරේ මහජනතාව තුළ කිසියම් අප‍්‍රසාදයක් ඇතොත් එයට හේතුව හොඳම ආණ්ඩුව පිළිබඳ ඔවුන් තුළ ඇති ‘උටෝපියානු සංකල්පය’ කවදාවත් සඵල නොවීමය. 1516 දී එංගලන්තයේ ශ‍්‍රීමත් තෝමස් මුවර් උටෝපියා යනුවෙන් පොතක් ලියූ අතර එම පොතට අනුව ආර්ථික අමාරුකම් නැති, දූෂණය නොවූ ආණ්ඩුවක් ඇති, ඉතාම යහපත් ගතිගුණ සහිත පුරවැසියන් ඇති උටෝපියාව නමැති සංකල්පිත නගරයක් තිබේ. සාමාන්‍යයෙන් මිනිසුන් ජනාධිපති සමග කෝප වන්නේ ආණ්ඩුව නරක නම්ය. 1970 න් පසු බිහිවූ හැම ආණ්ඩුවකම තිබූ නරක සමූහය මේ ආණ්ඩුව තුළද ඇත. කොවිඞ් වසංගතය නොතිබුණත් මෙය මෙසේමය. කොවිඞ් නිසා තත්ත්වය ඩබල් විය.

දූෂණය වැළැක්වීමට සහාය දෙන ලෙස ඉල්ලමින් පෙරේදා ගජබා රෙජිමේන්තුවේදී ජනාධිපතිතුමා කළ කතාව ඉතා වැදගත්ය. පසුගිය කාලයේ විවිධ දූෂණ සහ වංචා ගැන ඇසූ ජනයා මහත් සේ කෝපයට පත්වූහ. සුදු ලූනු වංචාව ඉතා කැත වැඩකි. ඖෂධ අධිකාරියේ දත්ත මැකීම සහගහන වැඩකි. එහෙත් ලොකුම ප‍්‍රශ්නය වන්නේ දූෂණ වංචා කළ කාටවත් දඬුවම් ලැබෙන බවක් සාමාන්‍ය ජනයාගේ ඇහැට නොපෙනීමය. පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තා සෙවීමට එම ප‍්‍රහාරයෙන් අවුරුදු තුනකට පසුත් ආණ්ඩුවට හැකිව නැත. දැන් ඉතිරි වී ඇත්තේ සහරාන් මළා යැයි සිතමින් හිත හදා ගැනීම පමණි. නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින සහ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය දිගේ මිනිසුන් ගමන් කරන රටක හොරු ඇල්ලීම සහ හොරුන්ට දඬුවම් දීම තනිකරම ඉඩම් නඩුවකි. ඒ සඳහා අඩුම ගානේ අවුරුදු දහයක්වත් වැය වේ.

ශ‍්‍රී ලංකාවේ දැනට සිදුවී තිබෙන වංචා සහ දූෂණ වලට මූලික වූ සොරුන් කිහිපදෙනෙක් අල්ලා ඔවුන්ට දඬුවම් දී පෙන්වීමට ආණ්ඩුවට හැකිනම් ජනාධිපතිතුමාට වාතයක් විය හැකි තරමට දූෂිතයන් අල්ලා දීමට මේ රටේ ජනයා සූදානම් ය. දූෂිතයන් අල්ලන තරමට දූෂණ අඩුවෙයි. රට ශුද්ධ පවිත‍්‍ර වෙයි. හො`ද නමක් ඇති අදූෂිත රණවිරුවකු වන ජනාධිපතිතුමාට අපට කීමට ඇත්තේ මෙපමණයි.

advertistmentadvertistment
advertistmentadvertistment