හොඳම නළුවා සම්මානය ලැබෙනකොට මම හිරගෙදර – ලාල් කුලරත්න අතීතාවර්ජනයක

447

අද රංගවේදියෙක්
කතාබහ : ලාල් කුලරත්න


 පාසල් කාලය

මගේ ගම හොරණ. පාසල් ගියේ හොරණ විද්‍යාරතන විද්‍යාලයට. හේමසිරි ලියනගේ

මහත්මයා මගේ ගුරුවරයෙක්. ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායක සහ ඩග්ලස් සිරිවර්ධන මගේ පන්තියේ. අපි හොඳ යාළුවෝ. 1960 දශකය කියන්නෙ පාසල් නාට්‍ය කලාව දියුණුම දශකය කිව්වොත් නිවැරදියි. ජයලත් මනෝරත්න වගේ නාට්‍යකරුවන් බිහි වුණේ ඒ යුගයේ.

නාට්‍ය කලාවට

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලංකාවට ලැබීම පාදක කරගෙන හේමසිරි ලියනගේ මහත්මයා විසින් ‘සුදු ඇතා ආවාට පස්සෙ. නමින් නාට්‍යක් කළා. ඒකට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා. ඉන් පස්සෙ දෙවැනි ලෝක සංග‍්‍රාමය වෙලාවෙ ලෝක බලවතුන් එකතු වෙලා පිහිටුවාගත්ත එක්සත් ජාතීන්ගේ සංවිධානය පාදක කරගෙන

 නිර්මාණය කළ ‘ආඬි ටිකයි අම්බලමයි. නාට්‍යයට මම සම්බන්ධ වුණා. ඒ වෙනකොට මම පාසලේ දහය වැනි ශ්‍රේණියේ ඉගෙන ගත්තෙ. ප‍්‍රදර්ශන කාලය විනාඩි හතළිස් පහක් වුණත් ඒ කාලය ඇතුළත මුළු ලෝකයේම ප‍්‍රශ්න ගැන කතාවෙනව. ඒ වගේම මෙම නාට්‍ය දර්ශන වාර හාරසියයක් පමණ වෙදිකාගත කරන්න අපිට හැකියාව ලැබුණා.

හොඳම නළුවා සම්මානය ලැබෙනකොට මම හිරගෙදර - ලාල් කුලරත්න අතීතාවර්ජනයක

පාසලෙන් ඔබ්බට

ලූෂන් බුලත්සිංහල මහතාගේ පිටපතකට 1974 වසරේදී එස්. ඒ. පේ‍්‍රමරත්න මහතා නිෂ්පාදනය කොට අධ්‍යක්‍ෂණය කළ ‘රතුහැට්ටකාරී. නාට්‍යයේ පත්තර වාර්තාකරුවකුගේ චරිතයක් නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා. මේ මම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලය.

වැඩ ගොඩක්

රතුහැට්ටකාරී නාට්‍යයෙන් පස්සෙ හේමසිරි ලියනගේ මහත්මයාගේ ‘නරියා සහ කේජු. (ප‍්‍රධාන චරිතය*” ජයලත් මනෝරත්න මහත්මයාගේ ‘මහගිරිදඹ.” ‘තල මල පිපිලා.” රෝලන් ප‍්‍රනාන්දු මහත්මයාගේ ‘දිවැස් හෙළනු මැන. වැනි නාට්‍ය විසිපහකට පමණ මගේ දායකත්වය ලබා දුන්නා.

සම්මානයේ කතාව

1988 වසරේදී පැවැත් වුණ රාජ්‍ය නාට්‍ය උළෙලෙදි හොඳම නළුවා සම්මානය මට හිමි වුණා. නමුත් මට ඒක ලැබුණෙ 1991 වසරේදි. ඒ කාලයේ තිබුණ දේශපාලන තත්ත්වයත් එක්ක සම්මානය ලැබෙනකොට මම හිටියෙ බන්ධනාගාරයේ. නමුත් ශ‍්‍රී ලංකා නාට්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් වන ඩග්ලස් සිරිවර්ධන සහ ජනක් පේ‍්‍රමලාල් සම්මානය බන්ධනාගාරයටම ගෙනත් දුන්නා.

පිරිහීම

ඇතැම් සංවිධායකවරුන් ඉස්සර වගේම රොටියක් කාලා ප්ලේන්ටියක් බීලා කබල් බස් එකක ගිහින් නාට්‍ය කරන තත්ත්වය වර්තමානයේදීත් ශිල්පීන්ගෙන් බලාපොරොත්තු වුණා. මේ තමයි වේදිකා නාට්‍ය කලාව පිරිහීමට මුල. ඒ වගේම අතරමැදියන් කිහිප දෙනකුත් මේ අපරාධයට සම්බන්ධයි. එක දවසට දර්ශන වාර තුනක් වේදිකාගත කරන්න කටයුතු කළා. ශිල්පීන්ට මේ තත්ත්වය දරාගන්න බැහැ.

විශේෂයෙන්ම කියන්න ඕනා” ඇතැම් ටෙලි නාට්‍යයත් පේ‍්‍රක්‍ෂකයගේ රසය හීන වන තැනට කටයුතු කළා. අවසානයේ ඔවුන් ප‍්‍රහසනය පමණක් බලාපොරොත්තු වුණා.

පේ‍්‍රක්‍ෂකාගාරයේ පිරිහීමෙන් පසුව නාට්‍ය කලාව ගැන කවර කතාද?.

වර්තමානයේ ඇතැම් නිර්මාණකරුවන් සම්මාන උළෙලට ඉදිරිපත් කිරීමේ අරමුණ පමණක් ඇතිව නාට්‍ය කරන තත්ත්වයක් උදාවෙලා. මේ නිසා ඊට සම්බන්ධ වෙන ශිල්පීන් අමාරුවේ වැටෙනව. මේ වගේ හේතු බොහොමයක් නිසා අද වෙනකොට වේදිකා නාට්‍ය කලාවට නරක දසාවක් උදාවෙලා.

හිතන්නට යමක්

මම ගුරුවරයෙක්. මම උගන්වපු විෂයය වුණේ වාණිජ. මීට කාලෙකට කලින් විදුහල්පතිවරු සහ ඇමැතිවරු පවා හිතුවෙ නාට්‍ය සහ නැටුම් එක විෂයයක් විදිහට. ඒ වගේම වර්තමානයේ ඇතැම් පාසල් වල නාට්‍ය හා රංග කලාව උගන්වන්නෙ නැටුම් ගුරුවරු. ඉස්සර නාට්‍ය හා රංග කලාව වෙනම විෂයයක් විදිහට තිබුණෙ නැහැ. ඒ වෙනුවට සිංහලවල අනු විෂයයක් විදිහට තිබුණෙ. දැන් රංගනය උගන්වනව. නමුත් රසවින්දනය උගන්වන්නෙ නැහැ. අඩුම තරමින් නැරඹීමේ විනයවත් ලංකාවේ ප්‍රේක්‍ෂකාගාරය තුළ නැහැ. දැන් නාට්‍යය බලන්නෙ මියුසිකල් ෂෝ එකක් බලන විදිහට. මේ දේවල් දරුවන්ට උගන්වන්න ඕන. මේක දෘශ්‍ය කාව්‍යක්. නවක ශිල්පීන් අනිවාර්යයෙන්ම ඒ ගැන හිතන්න ඕනා. පේ‍්‍රක්‍ෂකාගාරය හැදිය යුත්තේ පාසලෙන්මයි. නමුත් ඒ දේ අද සිදුවෙන්නෙ නැහැ.

හොඳම නළුවා සම්මානය ලැබෙනකොට මම හිරගෙදර - ලාල් කුලරත්න අතීතාවර්ජනයක



 අඩුපාඩු

 වේදිකාව ගැන උණ තියෙන අය ඕනෑ තරම් ලංකාවේ ඉන්නවා. නමුත් ඔවුන්ට හැකියාවන් පෙන්වන්න සුදුසු වේදිකාවක් ලංකාවේ තියෙනව නම් ඒ ලයනල්වෙන්ට් එක විතරයි. අනෙක් සියල්ලම රැුස්වීම් ශාලා. ඒවායේ නාට්‍ය පෙන්වන්න බැහැ. මොකද අපි ලෝකය දැකල තියෙනව. විදේශීය රටවල රංග ශාලාවල කඩදාසියක් බිම වැටුණත් ඇහෙනව. නමුත් අපේ රටේ එක දර්ශන වාරයකින් ශිල්පීන්ගේ උගුර හිරවෙනව. මොකද ඒ තාක්‍ෂණය අපේ රංග ශාලාවලට භාවිතා කර නැති නිසා. මේකට හේතුව බලධාරීන් රංග ශාලාවෙයි රැුස්වීම් ශාලාවෙයි ඇති වෙනස හඳුනන්නෙ නැති එකයි.

 කලකිරීම

 මේ සිද්ධවෙන දේවල් එක්ක මම ඉන්නෙ කලකිරීමෙන්. දැනට වසර දහයක් පුරාවටම නාට්‍යයකට සහභාගී වුණේ නැහැ. අපි දේශපාලනමය වශයෙනුත් ආවේගශීලියි. ඉතින් අසාධාරණයට විරුද්ධව කෑගහනව. එතකොට අපි වදකාරයෝ වෙනව. ඒ නිසා මේවායින් අයින් වෙලා නිකං හිටියා.

 මමත්වය

 අද සමාජයේ අපි කියන වචනය නැහැ. මම විතරයි. මට හරිගියොත් ඒ ඇති. ඒක අද රටේම ඛේදවාචකයක් වෙලා. සාමූහිකත්වය ඇත්තෙම නැහැ. සරච්චන්ද්‍ර මහත්මයාගේ කාලෙ ඉඳන් විශ්ව විද්‍යාල මට්ටමින් තමයි නාට්‍ය බිහි වුණේ. ඒ කාලෙ කියවීමේ රුචිය තිබුණා. දැනුමක් එක්ක තමයි ක්‍ෂේත‍්‍රයට ආවෙ. නාට්‍ය බස් එකේදි වුණත් කතා කළේ වැදගත් දේවල්. අවාසනාවකට වර්තමානයේ අපිට ඒ දේවල් දකින්න ලැබෙන්නෙ නැහැ.

 තෝරා බේරා ගැනීම

 ඒ කාලේ අපි නාට්‍ය තෝරා ගත්තෙ නැහැ. නාට්‍යකරුවන් තමයි අපිව තෝරා ගත්තෙ. ඒ අතරින් අපේ තෝරා ගැනීම අනුව එකක් දෙකක් ප‍්‍රතික්‍ෂේප කරන්න සිදු වුණ අවස්ථා නැත්තෙමත් නැහැ.

 අනාගතය

 අපේ රටේ නටන්න පුළුවන් කෙනාට ගණිතය උගන්වනව. සංගීතය පුළුවන් කෙනාට විද්‍යාව උගන්වනව. නමුත් ලෝකය ගත්තාම දුවන එකත් අධ්‍යාපනයක්. අපේ රටේ දුවන කෙනාට කියනව ඉගෙන ගනින් කියල. ලංකාවේ හැම රැුකියාවක්ම වෘත්තීය මට්ටමට ගේන්න ඕන. පොල් ගස් නැගීම පවා ඊට අදාළයි. බස්කොන්දොස්තරවරයකුට තමයි වැඩිම මහජන සම්බන්ධතාව තියෙන්නෙ. මොකද බස් එකේ විවිධ තරාතිරම්වල මිනිසුන් ගමන් කරනව. ඒ තනතුරට බේබද්දෙක් ආවොත් හරියයිද?. නාට්‍ය කලාවත් ඒ වගේ තමයි. මහ පුටුවලට සුදුසු අය ආවෙ නැති වුණොත් සමස්ත කලාවේම අනාගතය අඳුරුයි.



 මහේෂ් එදිරිසිංහ


advertistmentadvertistment
advertistmentadvertistment