හොඳම පැනීම ළිඳට පැනීම

1868

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය වෙමින් පවතී. දැනටමත් සමගි ජනබලවේගයේ දෙදෙනෙක් මේ ආණ්ඩුවේ ඇමැතිකම් ලබා ඇත්තාහ. තම පක්ෂයේ කිසිවකු රනිල්ගේ පැත්තට නොයන බව සමගි ජනබලවේගයේ මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල සහතික කර කියූ අයුරු අපට සිහිවේ. දේශපාලනය යනු මේ ලෝකයේ තිබෙන අන් සියලු දේ හා සමානව වෙනස්වන දෙයකි. සමහරවිට ඔය කියන ලක්‍ෂ්මන් කිරිඇල්ලත් අලුත් ආණ්ඩුවේ ඇමැති තනතුරක් ගෙන සිය දේශපාලන ජීවිතය ඉදිරියට ගෙන යනවා ඇත. ඉතා කෙටි සාකච්ඡාවකින් සහ ක්ෂණික තීරණයකින් පසු රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ සමග ආණ්ඩු කිරීමට ගත් තීරණය ඉතා කලාතුරකින් සැබෑ වන වර්ගයේ සිහිනයක කොටසකි. ඊළඟට ණය බරින් මිරිකුණු නිෂ්පාදන ආර්ථිකයක් නැති ලංකාව වැනි බංකොලොත් රටක අගමැති වීමට රනිල් ගත් තීන්දුව ඉතාම කලාතුරකින් දේශපාලනඥයකු ගන්නා තීන්දුවකි. රනිල් පැන්නේ දේශපාලන ළිඳකටය. ඔහු පනින මොහොතේදී මේ ළිඳේ වතුර තිබුණේ නැත. එබැවින් ඔහු ඇදගෙන වැටුනේ ගල්වලින් සමන්විත ළිං අඩියටය.

මෙවැනි විටක ළිඳට පනින්නාගේ කොන්ද කැඩීම ස්ථිරය. එහෙත් දේශපාලන වාසනාවකට රනිල්ගේ කොන්ද කැඩුණේ නැත. එසේ කොන්ද නොකැඩුනා පමණක් නොව තමා සිටින ළිඳට පැනීම සඳහා ඔහු පොහොට්ටුවේත් සමගි ජනබලවේගයේත් වතු කම්කරු සංගමයේත් මන්ත්‍රීවරුන් පොලඹවා ගෙන ඇත. මේ වන විට පොහොට්ටුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනක් ඇමැතිවරුන් ලෙස දිවුරුම් දී ඇත්තාහ. එයින් ද නොනැවතී. ඔරිජිනල් පොහොට්ටුවේ පිරිසක් ද ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක්ද සමගි ජනබලවේගයේ අයද ආණ්ඩුවට එක්වෙමින් සිටිති. වතු කම්කරු සංගමයේ ජීවන් තොන්ඩමන් ආණ්ඩුවට එකතු වුණොත් ඇමැති තනතුරු නොලැබී ඉතුරු වන්නේ දෙමළ සන්ධානය පමණි. උදය, වාසු සහ විමල්ගේ පක්ෂ 11 සන්ධානයද ඇමැති තනතුරු නොගෙන ආණ්ඩුවට සහාය දීමට තීරණය කර තිබේ. රට අන්තයටම පිරිහී ගියේ කාගේ වරදින්ද යන්න පිළිබඳ වෝහාරික විගණනයක් මේ වෙලාවේ සිදුකිරීමට නොහැකි බව අපි පිළිගනිමු. එහෙත් කිසියම් දවසක මේ රට ගොඩ ආ පසු ඒ විගණනය සිදුකර විත්තිකරුවන් ජාතියට හෙළිදරව් කිරීම ආණ්ඩුවේ යුතුකම බවද පෙන්වා දෙමු.

රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නේ අපේ රටේ තිබෙන බහු පක්ෂ දේශපාලනය නිසාය. පක්ෂ ගණනාවක් සමග එකතු වී හෝ පක්ෂ ගණනාවක් තිබෙන රටක හෝ ආණ්ඩු කිරීම දුෂ්කර කාරණයකි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු මාර වාතයකි. එක පක්ෂයක් පමණක් තිබෙන සහ පාලක පක්ෂයම එම පක්ෂයද වන සමාජවාදී ආණ්ඩු ඇති රටවල පාලනය මීට වඩා පහසුය. සමාජවාදය තුළ නිල වශයෙන්ම භීෂණය මුදාහැරීමට පුළුවන ආණ්ඩුවට හෝ රාජ්‍ය නායකයාට විරුද්ධ වන විකල්ප මතවාදියෙක් වෙද්ද ඔහුගේ කට තුළට පිස්තෝලයක් දමා කොකා ගැස්සීමෙන් වැඩේ ඉවරකර දැමිය හැකිය. පක්ෂ දේශපාලනය මුලින්ම බිහිවන්නේ ක්‍රිස්තු පූර්ව හාරසිය ගණන්වලදී ග්‍රීසියේ බවට විශ්වාසයක් තිබේ. මේ ගැන ප්ලේටෝ සටහන් තබා ඇත. දේශපාලනය නමැති සමුච්චය තුළ තිබෙන විවිධ පාර්ශ්වවලට විවිධාකාර ආණ්ඩු තැනිය හැකි බව ඇරිස්ටෝටල් කියා තිබේ. ක්‍රි. පූ. 27 දී රෝමන් ජනරජය පවතින විට එහි සිටි දේශපාලන පක්ෂ විවිධ මතභේද සම්බන්ධයෙන් ගහ මරා ගත් බවට සාක්ෂි ඇත. බයිසන්ටයින් අධිරාජ්‍යය පැවති යුගයේදී එවකට ලෝකයේ පැවති ජනප්‍රියම ක්‍රීඩාව වූ අශ්ව රථ ධාවන තරගවල ජය සහ පරාජය සම්බන්ධයෙන් ඒ ඒ අශ්ව රථ කරුවන් නියෝජනය කළ දේශපාලන පක්ෂ සාමාජිකයන් ගුටි කෙළගෙන තිබේ. මෙයින් හැඟී යන්නේ පක්ෂ දේශපාලනය තනිකරම ලෙඩක් බවය. මැයි මාසයේ 9 දා ගෝල්ෆේස් පිට්ටනියේ හටගත් ගුටි කෙළ ගැනීමෙන් පසු ගමට ගිය පොහොට්ටුවෝත් ජෙප්පෝත් පෙරෙට්ටෝත් ගුටි කෙළගත් බවට සාක්ෂ්‍ය තිබේ. මේ සියලු ගුටි කෙළි පක්ෂ නායකත්වවල අනුමැතියෙන් තොරව සිදුවූ ගැටුම් බව අපි අවධාරණය කරමු. මේ සියලු කරුණු අනුව පෙනී යන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පාලනය කිරීම සරමක් ඇඳගෙන කඹයක් දිගේ ගමන් කිරීම හා සමාන වන බවය. කඹය කැඩුනොත් මිනිහා බිම වැටී සරම කැඩෙයි. කඹය හෙල්ලුවොත්, ඒත් මිනිහා බිම වැටී සරම කැඩේ. සරම පමණක් නොව කොන්දත් කැඩුනොත් වැඩේ සම්පූර්ණයෙන්ම අල බවට පත්වෙයි.

කෙසේ හෝ වේවා දැනට තිබෙන සර්ව පාක්ෂික ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ සිටින තැන ආරක්ෂාකාරීය. රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩුව පිහිටවන ලද්දේ ඡන්දයකට ගොස් නොවේ. ඒ නිසා ඔහුට කිසිදු ඡන්ද වියදමක් නැත. ඡන්දයක් නැති නිසා ඔහු ඡන්ද පොරොන්දු දුන්නේත් නැත. එබැවින් ඔහුට ඇත්තේ නිදහසේ රට පාලනය කරගෙන යෑමය. ඔහු වගකියන්නේ ජනාධිපතිට නොව මහජනතාවටය. මෙතන ඇති බරපතළම වගකීම එය වේ. ආර්ථිකය සහ ජාත්‍යන්තර සම්බන්ධකම් පිළිබඳව ඉතා හොඳ පළපුරුද්දක් ඇති ඔහු ලෝකයේ රටවල් කිහිපයකින් දැනටමත් ආධාර ලබාගෙන ඇත. මෙය හොඳ ලකුණකි. ඒ අනුව අපට හැඟී යන්නේ රනිල් වික්‍රමසිංහ මේ රට නමැති දේශපාලන ළිඳට පැනීම රටට වාසියක් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment