හොඳම විකල්පය බයිසිකලය…!

645

සතියකට කිලෝ මීටර් 50ක් බයිසිකල් පදින පුද්ගලයකුට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන්…

මෙරට ජනගහනයෙන් හතරරෙන් එකක් බෝනොවන රෝගවලින් පීඩා විඳිනවා…

දිනකට කොළඹ නගරයට වාහන ලක්‍ෂ පහක්, මිනිස්සු ලක්‍ෂ අටක් පැමිණෙනවා…

ලෝකයේ වැඩිම පාපැදි පදින රට නෙදර්ලන්තය

හොඳම විකල්පය බයිසිකලය…!

නිවස පිටුපස, ගරාජයේ කොණක නතර කර තිබූ පාපැදියට ජීවය ලැබී ඇත. පාන් රාත්තල රැගෙන එන්නත් මෝටර් රථයෙන් කඩේට ගිය මිනිස්සු දැන් හති හළාගෙන පාපැදි පදින අයුරු මඟතොටේ දී අපි දුටිමු. ඉන්ධන හිඟය වැනි අර්බුදකාරී තත්ත්වයක වුවද එය සුබවාදී ප්‍රවණතාවයක් බව සැබෑය. රටක මිනිස්සු පාපැදි පැදීමට යොමුවීම තුළ ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය මෙන්ම පරිසරයට, සහ එරට ආර්ථිකයට ද බොහෝ වාසි අත්වන බව සැබෑය. ඒ බව හොඳින් අවබෝධ කරගෙන සිටින නෙදර්ලන්තය, චීනය, ජර්මනිය, අයර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ දියුණු රටවල පාපැදි ගමනා ගමනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව ද වාර්තා වේ.

කොවිඩ් වසංගතය පැතිර යෑමත් සමග ෆිල්ඩෙල්ෆියාවේ පාපැදි පැදීම 150% කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම ජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් එරට පරිපාලනය විසින් පාපැදිකරුවන්ට සහ පදිකයන්ට ආරක්‍ෂිතව ගමන් කිරීමට මහ මඟ වැඩි ඉඩක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ. පාපැදි ගමනා ගමනයට ජනතා උනන්දුව වැඩි වනවිට ඒ, ඒ රටවල හදිසි පාපැදි මංතීරු විවෘත කිරීම සහ අත්‍යවශ්‍ය සේවකයන්ට ඔවුන්ගේම පාපැදි සඳහා විශේෂ අනුග්‍රහය ලබාදීමට ද කටයුතු කර තිබේ. මෙක්සිකෝ නගරයේ පොදු ප්‍රවාහන භාවිතයේ දී ඇතිවන අවදානම අවම කිරීම සහ මිලියන විසිඑකකට වැඩි ජනතාවකගේ ගමනාගමන පහසුව සඳහා සැතපුම් 80ක තාවකාලික පාපැදි මංතීරු ඉදිකිරීමට යෝජනා ඉදිරිපත් වී ඇති බව ද වාර්තා වේ. එමෙන්ම බර්ලින් නගරයේ ප්‍රධාන මාර්ගයක් ඔස්සේ සැතපුමක තාවකාලික පාපැදි මංතීරුවක් ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තා වේ. තවත් ලොව බොහෝ රටවල පාපැදි භාවිතය ඉහළ නැංවීමට සහායවීම සඳහා යටිතල පහසුකම් ප්‍රවර්ධනය වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

එමෙන්ම පාපැදි පැදීම මගින් ශාරීරික යෝග්‍යතාවය හා ජීවන තත්ත්වය වැඩි දියුණු කළ හැකි බව ද තහවුරු වී තිබේ. පාපැදිකරුවන්ට පිළිකා වැළඳීමේ අවධානම 40%කින් අවම බවත්, අංශභාග වැළඳීමේ අවදානම 40%කින් ද හෘද රෝග වැළඳීමේ අවදානම 50% කින් අවමය. අඩු වයසින් මියයෑම 40% කින් අඩු බවත් තහවුරු වී තිබේ. එමෙන්ම පාපැදි භාවිතය නිසා සෞඛ්‍යය තත්ත්වය වැඩි දියුණු වේ. ශරීර ශක්තිය වැඩි වේ. බෝ නොවන රෝග වැළඳීම අවම වේ. දැනටමත් එම රෝග වැළඳී තිබේ නම් එය හොඳින් පාලනය වේ. මුදල් ඉතිරි වේ. තමාගේ කාබන් පියසටහන අවම කරගත හැකි වේ. වාහන තදබදයේ හවුල්කරුවෙක් නොවේ. කාලය කන්නෙක් නොවේ. පරිසර දූෂකයෙක් නොවේ.

එමෙන්ම පාපැදි භාවිත කරනු ලබන සෑම කිලෝ මීටරයක්ම කාබන්ඩයොක්සයිඩ් (C02) විමෝචනය ග්‍රෑම් 250 කින් වළක්වන අතර පාපැදි අඩු කාබන් ප්‍රවාහනය සඳහා ප්‍රධාන විකල්පයක් බවට පත් කරයි. කෝපන්හේගන්හි පාපැදිකරුවන් වාර්ෂිකව කාබන් විමෝචනය ටොන් 20,000ක් වළක්වා ගැනීමට දායක වී ඇති අතර එය පුද්ගලික මගී වාහන මගින් ධාවනයවන සැතපුම් මිලියන 50ට සමාන වේ. එමෙන්ම පාපැදි පැදීම තුළින් සමාජ දුරස්ථභාවය ප්‍රවර්ධනයවන අතර බයිසිකල් භාවිතය මගින් මාර්ග සහ වාණිජ ප්‍රදේශවල ආර්ථික ක්‍රියාකාරකම් ද ප්‍රවර්ධනය කළ හැක. පාපැදි බහුල නගරයක් යනු සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් ජීවත්වන, ආරක්‍ෂිත වීදි, පිරිසිදු වාතය සහ වඩා හොඳ සම්බන්ධතාවයක් ඇති නගරයක් වේ. එහෙයින් අපේ රටේ ද පාපැදි පැදීම සඳහා ජනතාව හුරුකරවීවට රාජ්‍ය අනුග්‍රාහය ලබාදීමේ කාලය පැමිණ ඇත. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් එය ආරම්භ කර රටේ අනිකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව සුව දිවියට පාපැදිය සංවිධානයේ සභාපති වෛද්‍ය අසේල අබේදීර මහතා ද අප සමග පැවසීය.

“අපේ රටේ සමහරුන්ට බයිසිකලෙන් ගමන් බිමන් යෑම මදි පුංචිකමක්. ඒ වගේම බයිසිකල් පදිනකොට සමහර අය බලන්නේ වපර ඇසින්. ඒත් ජර්මනිය වගේ රටවල කියන්නේ මධ්‍යම පාන්තිකයෙක් නම් කාර් එකේ යන්න. ඉහළ පන්තියේ නම් බයිසිකලේ යන්න කියලයි. ඔවුන් එහෙම කියන්නේ බයිසිකල් පැදීමේ ඵල ප්‍රයෝජන හොඳින් දන්න නිසයි. ලෝකයේ වැඩිම පාපැදි පදින ජනගහණයක් ජීවත් වෙන්නේ නෙදර්ලන්තයේ. එරට ජනගහනයෙන් 99.1කට පාපැදි තියෙනවා. ඒ වගේම නෙදර්ලන්තයේ ජනගහනය මිලියන 17 යි. බයිසිකල් මිලියන 23 ක් තියෙනවා. පාපැදියට ප්‍රධාන තැනක් ලබාදී තිබෙන නෙදර්ලන්ත ජාතීන් බහුතරය සෞඛ්‍ය සම්පන්නව දීර්ඝායුෂ භුක්ති විඳිනවා. බයිසිකල් පැදීමේ ආදීනව හොඳින් දැන සිටින නිසා පිළියන්දල ඉඳලා කොළඹට මම එන්නේ, යන්නෙත් බයිසිකලෙන්. මෝටර් රථයෙන් එන්නේ කලාතුරකින්. දිනපතා බයිසිකල් පැදීමේ යහපත් ප්‍රතිඵල අද මම භුක්ති විඳිනවා. ඒ වගේම ‘සුව දිවියට පාපැදිය’ නමින් සංවිධානයේ බයිසිකල් පඳින්නන්ගේ එකමුතුවක් අපි හදාගෙන ඉන්නවා. ඒ එකමුතුවේ දියවැඩියාව, කොලොස්ටරෝල්, රුධිරපීඩනය තියෙන අයත් ඉන්නවා. ඒ කිසිම කෙනෙක් බෙහෙත් බොන්නේ නෑ. හොඳට බයිසිකල් පැදලා රෝග පාලනය කරගෙන සතුටින් ජීවත් වෙනවා…”

“මේ වෙනකොට මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් දියවැඩියාව, හෘද රෝග, ආඝාතය, පිළිකා, අධි රුධිරපීනඩය ආදී බෝ නොවන රෝගවලින් පිඩා විඳිනවා. මේ රෝගීන්ට බෙහෙත් ලබාදීමට රජය කොපමණ මුදලක් වියදම් කරනවා ඇත්ද? ඒ වගේම එම රෝගීන් බෙහෙත් බොන්න, බොන්න ආයු කාලය අඩු වෙනවා. බෙහෙත් නොබී, රෝග පාලනය කරගැනීම තුළ ඔවුන් ජීවත්වන දින ගණන වැඩි වෙනවා. මේ රෝග පාලනය කරගැනීමට, එයින් මිදීමට නම් සක්‍රීය ජීවන රටාවකට හුරුවිය යුතුමයි. ඒකට හොඳම විසඳුම එදිනෙදා ගමන් බිමන් හා කෙටි දුර සඳහා ත්‍රිරෝද රථ, යතුරුපැදි, පොදු ප්‍රවාහනය භාවිත කරනවා වෙනුවට පාපැදියෙන් හෝ පයින් ගමන් කිරීම. සතියට කිලෝ මීටර් 50ක් බයිසිකල් පදින පුද්ගලයකුට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම බයිසිකල් පැදීමෙන් විශාල වශයෙන් කාලය ඉතිරි කරගන්න පුළුවන්. පිළියන්දල අපේ ගෙදර ඉඳලා මම රාජකාරි කරන කාර්යාලයට කිලෝ මීටර් පහළොවක් විතර තියෙනවා. වාහන තදබදය තුළ ගෙදර ඉඳලා මෝටර් රථයෙන් කාර්යාලයට එන්න පැය එකහමාරක් විතර යනවා. බයිසිකලෙන් විනාඩි හතළිස් පහහෙන් මම කාර්යාලයට එනවා. බාගෙට බාගයක් කාලය ඉතිරි වෙනවා. පරිසරයට මගෙන් හානියක් වෙන්නෙත් නෑ…”

“ඒ වගේම සාමාන්‍යයෙන් දිනකට කොළඹ නගරයට වාහන ලක්‍ෂ පහක් පැමිණෙනවා. මිනිස්සු ලක්‍ෂ අටක් පැමිණෙනවා. ඒ වාහන ලක්‍ෂ පනහ කොළඹ නගරය තුළ දිනකට කිලෝ මීටර් පනහක් ධාවනය කළොත් හිතාගන්න බැරි තරම් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට එකතු වෙනවා. ඒ හේතුවෙන් මේ දිනවල එයා කොලිටි ඉන්ඩෙක්ස් එක එකසීය පනස් ගාණට ඉහළ ගිහින් තියෙනවා. මනුස්සයකුට ආස්වාස, ප්‍රශ්වාස කරන්න නො සුදුසු තරමට වාතය දූෂණය වෙලා කියලා වාර්තා වෙනවා. මේ තත්ත්වය අවම කිරීමට නම් දිනකට කොළඹ නගරයට පැමිණෙන වාහන බාගෙට භාගයක්වත් අඩු කරගන්න ඕනෑ. වාහන තදබදයට විසඳුමක් විදිහට දිනකට කොළඹට පැමිණෙන වාහන ලක්‍ෂයක්වත් අඩු කරගන්න ඕනෑ. ඒකට විකල්ප වශයෙන් පොදු ප්‍රවාහනය වැඩි දියුණු කරලා පෞද්ගලික වාහන පැමිණීම අඩු කරන්න ඕනෑ. ඒ වගේම පා ගමන් සහ පාපැදි ගමනා ගමනය වැඩි කරන්න ඕනෑ. කිලෝ මීටරයට අඩු ගමන් බිමන් පයින් ගමන් කරන්නත්, කිලෝ මීටර් දහයට අඩු ගමන් බිමන් පාපැදියෙන් ගමන් කරන්නත් ජනතාව හුරු කරන්න ඕනෑ. එහෙම වුණොත් පවතින ගැටලු කිහිපයකට විසඳුම් ලැබෙනවා. විශේෂයෙන්ම ඉන්ධන අර්බුදයට විශාල වාසි අත් වෙනවා. දිනකට රටේ ජනතාව ලක්‍ෂයක් පාපැදිවල ගමන් බිමන් ගියොත් කෝටියකට වඩා මුදලක් රටට ඉතිරි වෙනවා. දෛනිකව කොළඹට ඇතුළු වන මෝටර් රථ 10%ක් වෙනුවට බයිසිකල්කරුවන් 2000ක් දිනපතා කොළඹට ඇතුළු වුණොත් වසරකට මිලියන ගණනක මුදලක් රටේ ආර්ථිකයට ඉතිරි වෙනවා. පොසිල ඉන්ධන දහනය අඩුවීම නිසා කාබන් විමෝචනය අඩුවීමෙන් වායු දූෂණය විශාල වශයෙන් අවම වෙනවා. සැලකිය යුතු මට්ටමකින් රථ වාහන තදබදය අඩුවීම තුළ නාගරික ගමනාගමනයට ගතවන කාලය ඉතිරි වෙනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් නිර්මාණය වෙනවා…”

‘සුව දිවියට පාපැදිය’ සංවිධානය තුළ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, බැංකු කළමනාකරුවෝ, විවිධ තරාතිරම්වල පුද්ගලයෝ ඉන්නවා. ඒ සියලුදෙනා රාජකාරි ස්ථානයට එන්නේ යන්නේ පාපැදිවලින්. මම දන්න මහාචාර්වරයෙක් කළුතර ස්ටේෂන් එකට බයිසිකලෙන් ඇවිත් දුම්රියෙන් කොළඹ ස්ටේෂන් එකට ඇවිත් එතැන පාර්ක් කරලා තියෙන බයිසිකලෙන් විශ්වවිද්‍යාලයට යනවා. තව කෙනෙක් උදේ සවස අවුරුදු තිස්හයක් පොල්ගස්ඕවිට ඉඳලා කොළඹට බයිසිකලෙන් ඇවිත් තිබුණා. දැන් ඒ පුද්ගලයා විශ්‍රාම ගිහින් ඉන්නේ. ඒත් පුරුද්දට තවම කිලෝ මීටර් ගාණක් උදේට බයිසිකල් පදිනවා. ඒ වගේම ඒ පුද්ගලයා අවුරුදු තිස්හයට ප්‍රවාහන වියදම මිලියන හයක් ඉතුරු කරගෙන තියෙනවා. ඒ වගේම අපේ සංවිධානයේ සාමාජිකයන් තමන්ගේ කාර්යාලවල වොෂ්රූම්, ඇඳුම් මාරු කරගන්න පහසුකම් හදාගෙන තියෙනවා. කාර්යාලවල ප්‍රධානීන් පාපැදියෙන් එනකොට සාමාන්‍ය සේවකයෝ නිකංම පාපැදි පැදීමට යොමු වෙනවා. අපේ රටේ ගෙවල්වල බයිසිකල් තියෙනවා. සංගණනයක් කළොත් රට තුළ මිලියන ගාණක් බයිසිකල් තියෙනවා. ගැටලුව තියෙන්නේ බයිසිකලය මුළුගැන්වීමයි. බයිසිකලය දුප්පතාගේ වාහනය බවට පත් කිරීමයි. විශේෂයෙන්ම බයිසිකලයට මාර්ගය තුළ නිසි ගෞරවය නොලැබීමයි…”

‘ලංකාව වගේ රස්නෙ රටක බයිසිකල් පදින්න බෑ…’ කියන පිරිසකුත් ඉන්නවා. ගිනි මද්දාහනේ කිලෝ මීටර් විස්ස තිහ බයිසිකල් පදින්න බැරි බව ඇත්ත. බයිසකල් පදින්න ඕන උදේ හෝ සවස. ඒ වගේම යාපනයේ කොළඹට වඩා රස්නෙයි. ඒත් යාපනයේ ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය පාපැදිය. අතීතයේ ඉඳලා යාපනයේ සහ මාතර මිනිස්සු තමයි පාපැදි පැදීමට වැඩි උනන්දුවක් දැක්වුවේ. මේ වෙනකොට මාතර මිනිස්සු සම්පූර්ණයෙන්ම පාපැදියෙන් ඉවත් වෙලා තියෙනවා. යාපනයේ මිනිස්සුත් පාපැදිය අතහැර යතුරුපැදියට හුරුවීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. වෛද්‍ය අසේල අබේදීර මහතාගේ ද සුව දිවියට පාපැදිය සංවිධානයේ සෙසු සමාජිකයන්ගේ ද වෑයම පාපැදි පැදීමට මෙරට ජනතාව උනන්දු කිරීමය. පාපැදිය යනු සෞඛ්‍ය සම්පන්න දිවිපෙතකට ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් බව රටේ ජනතාවට ඒතුගැන්වීමය.

එහෙත් මෙරට පාපැදි පැදීමට මිනිසුන් ඉදිරිපත් නොවන ප්‍රධාන කාරණය මාර්ගවල සුරක්‍ෂිතභාවයක් නොමැතිකමය. මාර්ගයේ වාහන ධාවනය කරන ඇතැම් පුද්ගලයන් පාපැදිකරුවන්, පදිකයන් ගැන කිසිදු තැකීමක් නො කිරීමය. ඇතැම් මාර්ගවල පාපැදි මංතීරු ඇද තිබුණ ද, වාහන ධාවනය කරන රියැදුරන් එයට කිසිදු ගෞරවයක් නො කරති. එහෙයින් ප්‍රථමයෙන් කොළඹට පැමිණෙන ප්‍රධාන මාර්ග හයට සමගාමීව මීටර් දෙකක පාපැදි මංතීරු ඉඳිකිරීමට රජය කඩිනමින් කටයුතු කළ යුතුය. පාපැදි ගාල් කිරීමේ සහ කුලියට හෝ බද්ධට ලබාදීමේ පහසුකම් සම්පූර්ණ කළ යුතුය. හොඳ තත්ත්වයේ පාපැදි අඩු මිලට ලබාදීම, පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතුය. පාපැදිවලින් පැමිණෙන සේවකයන්ට ඇඳුම් මාරුකර කාර්යාලයට ඇතුළුවීම සඳහා සුදුසු නාන කාමර පහසුකම් ලබාදීමට ආයතන ප්‍රධානීන් දැනුවත් කළ යුතුය. ජනතාවට පහසුවෙන් බයිසිකලයක් මිලදීගැනීමට අවශ්‍ය බැංකු ණය පහසුකම් ලබාදීමට රජය මැදිහත්විය යුතුය.

එමෙන්ම පාපැදිවලින් ගමන් බිමන් යෑමට උනන්දුවක් ඇති බව ජනතාව විසින් රජයට ඒත්ගැන්විය යුතුය. එහෙයින් පාපැදි පැදීමේ ආදීනව තේරුම් ගෙන සිටින මිනිසුන්, අප මේ කියන කතාවේ යථාර්ථය අවබෝධ කරගැනීමට බුද්ධියක් හෝ තිබෙන මිනිසුන් සෞඛ්‍ය සම්පන්නව දීර්ඝායුෂ භූක්ති විඳිමට මෙන්ම පරිසර හිතකාමීයකු ලෙස ජීවත්වීමට පාපැදි පැදීමට, කෙටි දුර පයින් යෑමට හුරු විය යුතුය. එවිට ඔබත්, පරිසරයත් සුරක්‍ෂිතය. කොළඹ නගරය තුළදී නිදහසේ පිරිසිදු වාතය ටිකක් ආශ්වාස කිරීමට අවස්ථාව උදාවනු ඇත. පාපැදියෙන් ගමන් බිමන් යන ඔබ මෙරට ආර්ථිකයේ යහ පැවැත්මට විශාල දායකත්වයක් ලබාදෙන්නේ යැයි සිතා නිරාමිස සතුටක් භුක්තිවිඳ හැකිය. අප්‍රමාදි නොවන්න, පාපැදිය ඔබේ මිතුරෙක් කරගන්න… අපි එසේ කීවේ ඔබේ පැවැත්ම ගැන සිතාය.

තරංග රත්නවීර / සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment