පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා
මානව හිමිකම් සම්බන්ධීකාරක තරංග එල්. පටබැඳි
පැහැරගැනීම ගැන පුළුල් විමර්ශනයක් ඇරැඹුවා – සෙවණගල පොලිසිය
දකුණු පළාත් දූෂණ මර්දන ඒකකයෙන් බව පවසා පොලිස් හැඳුනුම්පතක්ද පෙන්වා සිවිල් ඇඳුමින් පැමිණි තිදෙනකු විසින් සෙවණගල, කිරිවැව, නුගේගල යාය පදිංචි 55 හැවිරිදි දෙදරු පියෙකු පැහැරගෙන පාළු ස්ථානයකට රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ඇඹිලිපිටිය බස් නැවතුමට ගෙනත් දමා ඇත.
පසුව පොලිස් නිල ඇඳුමින් සිටි වෙනත් පොලිස් නිලධාරීන් සිව්දෙනකු විසින් මෙම දෙදරු පියා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට රැගෙන ගොස් පොලිසිය තුළදී සොරකමක් සම්බන්ධ තොරතුරක් අනාවරණය කරගැනීමට යැයි පවසා දෙදරු පියාගේ පුරුෂ ලිංගයේ නයි මිරිස් අඹරා බැඳ ගුද මාර්ගයේ හා මුඛයේ තොල්වල නයි මිරිස් යුෂ ගා දස වධ දී ඇතැයි හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක තරංග එල්. පටබැඳි මහතා ඊයේ (03 දා) පැවසීය.
මෙලෙස දසවධ බන්ධනයට ලක්ව ඇත්තේ කටුවන යාය, අංක 55 දරන ලිපිනයේ පදිංචි 55 වියැති දෙදරු පියෙකු වන සුසිල් විතාරණගේ නමැති අයයි.
මෙම අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති වරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව වෙත පැමිණිළි කිරීමට කටයුතු කරන බවත්, මේ තුළින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් වන බවත් පැවසූ ඒ මහතා මේ සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීති සහාය ලබා ගැනීමට කටයුතු කරන බව හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක තරංග එල්. පටබැඳි මහතා වැඩිදුරටත් පැවසීය.
සිද්ධියට මුහුණ දුන් සුසිල් විතාරණගේ –
“මම පසුගිය 28 දා සවස ගෙවත්තේ වැඩ කරමින් සිටියදී හවස 2.30ට පමණ සුදුපාට මෝටර් රථයකින් පුද්ගලයන් සිව්දෙනෙකු ආවා. ඔවුන් දකුණු පළාත් දූෂණ මර්දන ඒකකයෙන් බව මට කියා හැඳුනුම් පතක්ද පෙන්නුවා. මට විරුද්ධව පෙත්සමත් ඇවිත් තියෙනවා. ඒ සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට අපත් සමග යමු කියලා මාව මෝටර් රථයට නංවාගෙන ගියා. එහෙම ටිකක් දුරක් යනවිට මේ අය ඇඹිළිපිටිය පැත්තට හැරෙව්වේ. මම ඇහුවා කොහෙද මේ යන්නේ කියලා. එතකොටම කාර් එකේ ගිය පුද්ගලයෙක් දඟලන්න එපා කියා ඔළුවට පිස්තෝලයක් තියලා මගේ ෂර්ට් එක ගළවලා ඇස් දෙක බැන්දා. එහෙම බැඳලා යන ගමන් දිගටම මට කුණුහරුපෙන් බැණ බැණ උඹ නිරෝෂන් මහත්තයට විරුද්ධව මානව හිමිකම් ගිහින් කොරාද කිය කියා පයින් පාගමින් මාව ඇඹිලිපිටිය කුඹුගොඩ ආර ප්‍රදේශයේ කුඩා කැලෑබද ස්ථානයක් වෙත රැගෙන ගොස් මගේ ඇස් ලිහුවා.
ඒ වෙලාවෙ මම දැක්කා තවත් සුදු කාර් එකක් එතනට ඇවිත් තියෙනවා. ඒ කාර් එකේ ආපු අය හා මේ අය මාව අරගෙන පාළු ගරාජයක් වගේ තැනකට අරන් ගිහින් මට හොඳටම ගැහුවා. ඊට පස්සෙ මාව යළිත් කාර් එකට නංවාගෙන කුඹුගොඩ ආර පිහිටි වෙළදසැලක් වෙත රැගෙනවිත් පහරදී කොළ දෙකකට මාපට ඇගිළි සළකුණු අත්සන් ලෙස අරන් 28 දිනම සවස 6.45ට විතර යළිත් එම කාර් රථයෙන්ම මාව ඇඹිළිපිටිය බස් නැවතුමේ පිටුපසට රැගෙන ඇවිත් දමා මගේ අතට රුපියල් 600ක් දීලා ගෙදර පලයන් කියලා ඒ අය යන්න ගියා. මම බස් නැවතුම දෙසට එන්න හදනවාත් එක්කම නිල ඇඳුම් ඇඳ ගත්ත තවත් පොලිස් නිලධාරීන් 04 දෙනෙක් ඇවිත් උඹ කොහේ යන්නද කියලා අහලා ආයේ මාව අල්ලගෙන පහර දීලා ජීප් එකක් ගෙන්වාගෙන මාව දමාගෙන ඇඹිළිපිටිය පොලිසියට අරගෙන ගියා. ඒ ගෙනිහින් මාව නිරුවත් කර හොරකම් කරපු බයික් කොහෙද තියෙන්නේ, සල්ලි කොහෙද තියෙන්නේ කියලා අසමින් මට ගැහුවා. පසුව පොලිසියේ කෙනෙක් ඉඳපන් උඹට හොඳ වැඩක් කරන්නම් කියලා නයි මිරිස් අඹරලා ගෙනත් මගේ පුරුෂ ලිංගයට තියලා බැන්දා. ඊට පස්සේ නයි මිරිස් යුෂ අධෝමාර්ගයේ හා කටේ තොල්වල තැවරුවා. පසුව ඒ අය මගේ අත් දෙකත් එකට තියලා බැඳලා ඒ මැදින් යකඩ පොල්ලක් දමා මාව ඔසවා මට බටයකින් හොඳටම කරකවකව පහර දුන්නා. මම වේදනාවෙන් කෑගැහුවා. වැඩක් වුණේ නෑ. පස්සේ එක් නිලධාරියෙක් පෙට්‍රල් දමපු ෂොපින් බෑග් එකක් ගෙනත් මගේ ඔළුවට දැම්මා මුහුණ ආවරණය වන විදියට. මට හුස්ම ගන්න බැරුව මම කෑ ගැහුවා.
පුතා 29 දා මාව හොයාගෙන පොලිසියට ඇවිත් ඇහුවම පොලිසියෙන් කියලා තිබුණා අපි එහෙම කෙනෙක් ගෙනාවේ නෑ කියලා. ගෙදර යන්න ඕනි නම් හොරකම් කළා කියලා පිළිගනින් කියලා පොලිසිය මට බලපෑම් කළා. මම ඒවා පිළිගත්තේ නෑ. දිගින් දිගටම පොලිසිය මට ගැහුවා. පස්සේ මට ගුටි කන්න බැරි නිසා 30 දා අලුයම 2.30ට විතර මම ඇඹිලිපිටිය පොලිසියෙන් පැනලා ආවා. මම පොලිසියෙන් පැනලා ඇවිත් හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට පැමිණියා. එහිදී මාව ඔවුන් විසින් සෙවණගල පොලිසියට කතාකර භාර දුන්නා. එහිදී සෙවණගල පොලිස් ස්ථානාධිපති පො.ප. ලලිත් කුමාර මහතා වහා ක්‍රියාත්මක වී මට සිදු වූ අසාධාරණය ගැන මගෙන් කටඋත්තරයක් ලියාගෙන මාව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට යොමු කළා යැයි ඔහු පැවසීය.
පොලිසියෙන් පහරකෑමට ලක් වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මේ වනවිට හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අප සෙවණගල පොලිසියෙන්ද විමසීමක් කළ අතර ස්ථානාධිපතිවරයා පැවසුවේ පැහැරගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත්, පැහැරගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.
මත්තල – දිලීප් එන්. ජයසේකර