හොරකම් ගැන කතා කරනවා විතරයි විසඳුම් නැහැ

72

සොරකම්වලට සම්බන්ධ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට දේශපාලන රැකවරණ ලැබෙනවා
ඇමැති විජයදාස රාජපක්ෂ

විකිණිල්ල ප්‍රතිපත්තිය කරගෙන වරායේ ඉඩම් පවරන්න දාලා – විජිත හේරත් (ජාජබ)

නඩු පවරන නීතිපතිම නඩු ඉවත් කර ගැනීම මහා නින්දාවක් – ඉමිතියාස් බාකීර් මාකර් (සජබ)

පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටි මහ මොළකරු සොයා වහා හෙළි කරන්න – මුජිබර් රහුමාන් (සජබ)

සොරකම්වලට සම්බන්ධ මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් සියලු‍දෙනාට කිසියම් දේශපාලඥයකුගේ රැකවරණය හිමිව ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

මහා පරිමාණයේ අපනයනකරුවන් මෙරටට ලබාදිය යුතු ඩොලර් මිලියන 53 ක මුදලක් පසුගිය වසර 12 තුළදී ලබාදී නොමැති බවත් මේ මුදල තිබුණේ නම් ඩොලර් බිලියන 52.6 ක ණය මුදල පියවා ගත හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ විය.

වරාය, නාවුක හා ගුවන් සේවා අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සහ ඊට අදාළ දෙපාර්තමේන්තුහි වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය ආරම්භ කරමින්, ඇමැති විජයදාස රාජපක්ෂ මහතා

මෙවර අයවැයෙන් පුනරාවර්තන වශයෙන් රුපියල් බිලියන 27.5 කුත් මූලධන වශයෙන් බිලියන 5.7 කුත් එකතුව බිලියන 33.2 ක් අමාත්‍යාංශයට වෙන් කර තිබෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාවට මිලියන 102 කුත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මිලියන 781කුත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මිලියන 282 කුත් වෙන් කර තිබෙනවා. අමාත්‍යාංශය යටතේ තිබෙන විෂයන්ට අදාළව ගත් විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය, යුක්තිය ඉටු කිරීම, නොමඟ ගිය පුද්ගලයන් රැක බලා ගැනීම යනාදි කරුණු ගණනාවක් ඇතුළත් වෙනවා. මීට මාස හයකට පමණ පෙර මේ අමාත්‍යාංශය මම බාර ගත්තා. නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව යනාදි සියලු‍ ආයතන සාමූහිකව කටයුතු කරමින් පනත් 27 ක් සම්මත කර ගත්තා. ඉන් 17 ක්ම අමාත්‍යාංශයට අදාළ ඒවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති සම්පාදනය එහිදී විශේෂයි. මත්ද්‍රව්‍ය උවදුර නිසා ලොකු හානියක් රටට සිදු වෙනවා. ලක්ෂ 5 ක සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටිනවා. අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය දිය හැකි විදියට නීති සම්පාදනය කර තිබෙනවා. ඉඩම්, දේපළ, අන්තිම කැමති පත්‍ර සම්බන්ධයෙන් කූට ලේඛන සකස් කරලා තිබෙනවා. අවුරුදු 150 කට වඩා වැඩි යල්පැන ගිය නීති සංශෝධනය නොකිරීම නිසා නඩු ප්‍රමාදයක් පවතිනවා. අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ කටයුතු ඉතා‌ කාර්යක්ෂම ලෙස කරගෙන යාමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳ අවසන් කළ ලිපි ගොනු 1653 ක් අපට ලැබී තිබෙනවා. හානි පූර්ණය සම්බන්ධයෙන් ගත් විට වන්දි ගෙවීම් සම්බන්ධ සලකා බැලූ ඒවා 1753 කට වන්ද ගෙවා තිබෙනවා. වන්දි ගෙවීම සඳහා සූදානම් කළ ලිපි ගොනු 3520 ක් සකස් කර තිබෙනවා. 5246 ක් ලිපිගොනු ඉතිරිව තිබෙනවා. යුද්ධය කාලයේ ඉන්දියාවට ගොස් නැවත මෙරටට පැමිණි 11780 කට වැඩි සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන් මුහුණ දී සිටින ගැටලු‍ විසඳීමට පියවර ගන්නවා. මත්ද්‍රව්‍ය උවදුර දුරු කිරිමට විශේෂ කාර්ය සාධක බලකායක් පසුගිය සතියේ ස්ථාපිත කළා. දිස්ත්‍රික්කවලට අදාළව ඒකක ස්ථාපිත කරනවා. ව්‍යාපෘති 29 ක් යටිතල පහසුකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ගාල්ල අධිකරණ සංකීර්ණයට මිලියන 1100 ක්, වලපනේ අධිකරණයට මිලියන 400 ක්, පූගොඩ මිලියන 400, කන්තලේ මිලියන 30ක් යනාදි ලෙස අධිකරණ සංවර්ධනයට වෙන් කර තිබෙනවා. 26000 කට වැඩි සංඛ්‍යාවක්

බන්ධනාගාරගතව සිටිනවා. ඔවුන්ට ඉඩකඩ මදි. නඩුවලට වරදකාරයන් වූ පිරිස 6000 ක් පමණයි සිටින්නේ. සැකකරුවන්, චූදිතයන් විදියට විශාල සංඛ්‍යාවක් සිටිනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කරනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අදාළව නව රසායනාගාරද ස්ථාපිත කර තිබෙනවා. යුක්තිය පසිඳලීමේ කර්තව්‍යයේ අධිකරණය නියැලී සිටිනවා. 79000 ක් පැමිණිල සමථ මණ්ඩලය වෙත ලබාදී තිබෙනවා. ඉන් 30000 ක් නිරවුල් කර තිබෙනවා. යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණයක් මේ වන විට සිදු කරමින් පවතිනවා. ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා අපට උදව් කරනවා. අවසන් වාර්තාවට තව මාස දෙකක් යාවි. දිස්ත්‍රික් උසාවියක ආරම්භ කරන නඩුවක් අභියාචනය කර අවසන් කිරීමට වසර

20 ක් පමණ ගත වෙනවා. අධිකරණවල නඩු දසලක්ෂ අනූහතරදහස් නවසිය දොළහක් ගොඩගැසී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5236 ක්, අභියාචනාධිකරණයේ 3506 ක්, සිවිල් අභියාචනාධිකරණයේ නඩු 7030 ක්, වාණිජ මහාධිකරණයේ 8018 ක්, මහාධිකරණවල 30000 ක්, දිසාධිකරණවල 269,378 ක්, මහේස්ත්‍රාත් අධිකරණවල 764,536 ක්, ළමා අධිකරණවල 1632 ක්, කම්කරු අධිකරණවල 5543 ක් ගොඩගැසී තිබෙනවා. දූෂණ විරෝධී පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් නීති හදමින් තිබෙනවා. දේශපාලඥයන්ගේ හා නිලධාරීන්ගේ වත්කම් බැරකම් පිළිබඳ විශාල චෝදනා සමාජය තුළ තිබෙනවා. වත්කම් බැරකම් පනත යල්පැන ගිය දෙයක්. එයද සංශෝධනය කිරීමට අපේක්ෂිතයි. නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රාදේශීය සභාවක සිට ජනාධිපති කාර්යාලය දක්වා පාර්ලිමේන්තුව දක්වා නීතියේ ආධිපත්‍ය තුළ ක්‍රියාත්මක කළ යුතුයි. ආර්ථිකයේ ස්ථාවරත්වය කඩා වැටුණු රටක නීතියේ ආධිපත්‍ය රැක ගැනීමට නොහැකියි. ඩොලර් බිලියන 53 ක්. මේ රටේ ජනතාවට අයිති මුදල් ඒවා. මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් කොටසක් පසුගිය වසර 12 ක් තුළ පිටරටවලින් ලංකාවට ලැබිය යුතු ඩොලර් බිලියන 53 ක මුදලක් සඟවාගෙන සිටිනවා. එය ගැටලු‍වක්. ඒ මුදල්වලින් ඔවුන් වෙනත් ව්‍යාපාර කරනවා. මෙය ආර්ථික අපරාධයක්. මේවා ගැන අපි අවධානය යොමු කළ යුතුයි. මේවාට මහ බැංකුව වගකිව යුතුයි. ප්‍රධාන අපනයනකරුවන් 100 කගෙන් වාර්තා මහ බැංකුව මේ වන විට කැඳවා තිබෙනවා. 57 දෙනෙක් විතරයි වාර්තා ලබාදී තිබෙන්නේ. ඔවුන්ගේ වාර්තා සම්පූර්ණත් නැහැ. සද්භාවයෙන් වැඩ නොකරන බව මෙමඟින් පැහැදිලි වෙනවා. ආයෝජන මණ්ඩලය ඇති කර ගත් ගිවිසුමක් නිසා රුපියල් බිලියන 100 ක බද්දක් රටට අහිමි වුණා. හොරණ රිජිට් ටයර් කම්පැනිය නිසා එසේ සිදු වුණා. ඩොලර් මිලියන 15 ක් වියදම් කරන සමාගමට ඩොලර් මිලියන 100 ක් වියදම් කරන බවට සඳහන් කර බදු සහන ලබාදුන්නා. මේ ගැන පාර්ලිමේන්තුව කරුණු සොයා බැලිය යුතුයි. ස්ටීල් කෝපරේට් එකට රිජිට් එක අයිතියි. ස්ටීල් කෝපරේට් එක ඩුබායි මැරියට් එකට අයිතියි. හම්බන්තොට සිමෙන්ති කම්හල අයිති වන්නේ ස්ටීල් කෝපරේට් එකට. මේ සියලු‍ බදු සහන නතර වන්නේ ඩුබායිවල. හොරකම් කරන කිසියම් ව්‍යාපාරිකයකු සිටින්නේ නම් ඒ හැම පුද්ගලයකුට දේශපාලඥයකුගේ රැකවරණය යටතේ සිටින අයෙක්. මූල්‍ය පාලනය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. හැමදාම පාර්ලිමේන්තුවේ හොරකම් ගැන කතා කරනවා. නමුත් ඒවාට විසඳුම් නැහැ.

පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා (ස.ජ.බ)

වරාය හා නාවුක අමාත්‍යංශය කියන්නේ ඉතාම වැදගත් අංශයක්. අද මුහුදු ආර්ථිකයක් ගැන මුළු ලෝකෙම කතා කරනවා. අපි දූපතක ඉන්නේ. ඒ වගේම අපට ඒ නීල ආර්ථිකය වෙනුවෙන් අපේ වරාය ඉතා වැදගත්. ඒත් ඒ වෙනුවෙන් අපි අරගෙන තිබෙන පියවර සාධනීයද කියලා සොයා බැලීම වැදගත්. අපි සිටින මේ සාගර කලාපය තුළ ඉන්දියාව සහ චීනය යෝධයන් සේ නැගීසිටින අවස්ථාවක ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් ගනු ලබන පියවර ඉතා වැදගත්. ඒ සඳහා ජාතික වැඩ පිළිවෙළක් ඇති කිරීම ඉතා වැදගත් වෙනවා. අපේ වරාය ලෝකයේ හොඳම වරායන් අතර 25 වැනි ස්ථානයට ගෙන ගියා. එහි ගෞරවය අත්වන්නේ ලලිත් ඇතුලත්මුදලි මහතාටයි. නමුත් අද අපේ තත්ත්වය කුමන්ද කියලා බැලුවොත් අපි සිටින තැන පිළිබඳව සතුටු වෙන්න පුළුවන්ද? දැන් බලන්න සිංගප්පූරුව අබුඩාබිය වගේ රටවල් ඒ අයගේ කන්ටේනර් ප්‍රවාහන කටයුතු වැඩි දියුණු කරලා. නමුත් අපේ තත්ත්වය කණගාටුයි. අපේ පිහිටීම එක්ක මීට වඩා ලොකු තැනකට අපේ මේ වරාය දියුණු කරන්න පුළුවන්. අපේ තිබෙන තත්ත්තවය ලබා ගන්න ඉන්දියාව උත්සාහ කරනවා. අපි මීට වඩා වේගයෙන් අපේ වරාය දියුණු කළ යුතුයි කියා මා හිතනවා. අපි මීට වඩා ආර්ථික වශයෙන් දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් අපි මීට වඩා වරාය දියුණු කළ යුතුයි. ඒ සඳහා අපි නිවැරදි තීරණ රැසක් ගන්න ඕනා. ඒ වගේම අපේ කැපී පෙනෙන දුර්වලතා රැසක් තිබෙනවා. අපි තාක්ෂණය සහ ඩිජිටල්කරණය මීට වඩා ඉක්මනින් යොදා ගත යුතුයි. ඒ වගේම ලෝකයට වසරකට අලුත් නැව් 250ක් වත් එකතු වෙනවා. ඒවායේ තාක්ෂණයට අවශ්‍ය විදිහට අපේ වරාය දියුණු කළ යුතු වෙනවා.

රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර

ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න යන විට විපක්ෂය විවිධ බාධා පමුණුවනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කන්කසන්තුරේ වරාය දියුණුව ඉතාම අවශ්‍යයි.

ඔලුවිල් වරාය ඩෙන්මාර්ක් රජයේ ප්‍රතිපාදන යටතේ හැදුවා. දැනට වැලි පිරීම නිසා ප්‍රයෝජනයට ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. නිසි ප්‍රමිතියට හදලා නෑ. ධීවර කටයුතු සඳහා එක කොටසක් ලබාදී තියෙනවා. ආයෝජකයන් හරහා වරාය දියුණු කරන්න බලාපොරොත්තු වනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී තලතා අතුකෝරාල (සජබ)

සමහර නඩුවලට විශාල කාලයක් ගත වෙනවා. ඒ නිසා කාලය කළමනාකරණය කරවීම අවශ්‍යයි. ඒ සඳහා වියදමක් නැතිව පුහුණු කටයුතු කරන්න පුළුවන්.

වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වටිනා අධිකාරියක්. ඊට අවශ්‍ය ස්ථානය තවම ලැබිලා නෑ. මේ ගැන වින්දිතයන්ට නිසි දැනුමක් තවම නෑ.

මෙහි ආරක්ෂක අරමුදල රුපියල් කෝටි ගාණක් තියනවා. මෙයින් වින්දිතයන් දැනුවත් කිරීම හා පහසුකම් ඇති කරන්න. මෙහි ප්‍රධාන විධායක තනතුරට වෘත්තීය පළපුරුද්ද අවශ්‍යයි. ඒ සුදුසු අයෙක් පත්විය යුතුයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකුට පහසුකමක් නෑ. මානසික නිදහසක් නෑ. වටරැක එළිමහන් සිරකඳවුරු වැනි තැනක් හොඳයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා(සජබ)

විපක්ෂයේ අපි ආර්ථිකයේ පරිහානිය කලින්ම දැකලා රටට කිව්වා. ප්‍රශ්නය කලින් දැක්කා. ඕන තරම් අපි කරුණු කියපුවා තියෙනවා.

වරායේ ගාස්තු අයකිරීම ඇමැතිවරයා හරහා සිදුවිය යුතු නෑ. අපනයනයේදී විවිධ ගාස්තු 43 ක් අතීතයේ තිබුණා. එය 2013 දී වෙනස් කර එක ගාස්තුවකට යටත් කළා. ආනයනයටත් එහෙමයි. දැන් හදිසියේම ඇමැතිවරයා ගැසට් එකක් ගහලා තියනවා තිබෙන ගාස්තුවට අමතරව තවත් ගාස්තුවක් පනවලා. මේ නිසා වෙළෙඳපොළට තරගකාරීත්වය නැති වෙනවා.

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

මෙම ගාස්තුව පැනවූයේ ක්‍ෂේත්‍රයේ ඉල්ලීම මතයි. ඉදිරියේදී සාකච්ඡා කර එය ඉවත් කිරීමට කටයුතු කරනවා. එය මගේ තනි තීන්දුවක් නොවෙයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා

අපනයනකරුවන්ට හා ආනයනකරුවන්ට තරගකාරීව ක්‍රියා කරන්න ඉඩ දෙන්න.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන (ශ්‍රීලපොපෙ)

අද දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති නතරවෙලා. මගේ කාලයේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමග එක්ව හවුල් ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය වෙනවා. නැගෙනහිර පර්යන්තය 2024 දී අංගසම්පූර්ණව වැඩ අවසන් වෙලා මෙහෙයුම් අරඹනවා. 2025 දී බටහිරත් වැඩ ඉවර වෙනවා. 2025 වනවිට මිලියන 14 ක බහාලුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. දැනට බහාලුම් 7000 ක් පමණයි ක්‍රියාත්මක වන්නේ.

හොඳම වරායන් අතරට මේ නිසා අපේ වරාය පත් වෙනවා. ආර්ථික යුද්ධය ජය ගන්න එය විශාල ශක්තියක්.

පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් (සජබ)

අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන පරීක්ෂණ කරන බව පාලකයන් පවසා තියෙනවා. මානව හිමිකම් කොමිසම් රැස්වීම් පැවැත්වෙන කාලයට පමණක් ඒ ගැන කතා කරනවා. පසුව ඒ ගැන කතා නෑ. අධිකරණ අමාත්‍යාංශය ඒ ගැන පසු විපරම් කළ යුතුයි.

කොවිඩ් වසංගත කාලයේදී හිංසාවට පීඩාවට පත් වූ අයට සාධාරණයක් දැන්වත් ඉටුවිය යුතුයි. පාස්කු ප්‍රහාරයෙන් අසාධාරණයට ලක්වූ අයට වහාම සාධාරණය අවශ්‍යයි. වැරදි සිදු වී ඇති තැන් පිළිගෙන ඒවා නිවැරදි කිරීමට සද්භාවයෙන් ක්‍රියා කළ යුතුයි.

පසුගිය වසර ගණනාව පුරාට රාජ්‍ය සේවයේ ව්‍යවස්ථාදායකයේ, විධායකයේ හැසිරීම ගැන ජනතාව කලකිරිලා. ඒ ගැන පාරට බැහැලා ජනතාව විරෝධය පළ කළා. වත්මන් පාලනය ජනතාවගේ හැඟීම් අවබෝධ කරගෙන නැහැ. විධායකය ඒ ගැන කිසිම අවබෝධයක් ලබාගෙන නැති බව කරන වැඩවලින් පේනවා. දේශපාලන පැවැත්ම තහවුරු කරගන්න ක්‍රියා කිරීම නිසා ජනතාවගේ විරෝධය අප්‍රසාදය අද එල්ල වෙලා.

ශ්‍රී ලංකාව විනිසුරුවන්ගේ මට්ටම ඉහළ මට්ටමක පවතිනවා. නඩුවක් පවරනකොට නඩු පවරන්නේ නීතිපති. ඉවත් කරගන්නෙත් නීතිපති එය මහා නින්දාවක්.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර (ශ්‍රීලපොපෙ)

තණමල්විලට මහෙස්ත්‍රාත් උසාවියක අවශ්‍යතාවක් පවතිනවා. මා ඒ සඳහා ඉඩමක් ද සොයා දුන්නා. පොඩි නඩුවකටත් ජනතාවට කිලෝමීටර් 77 ක දුරක් යන්න සිදු වෙලා තිබෙනවා.

බහා තබා තියෙන නඩු වසර 5 ඉක්මවනවා නම් ඉක්මනින් නඩු අහලා ඉවර කරන්න.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

මාතර නව නගරය ගොඩනැඟීමට උත්සාහ කරද්දී අපි කොටවිල සංවර්ධනය කරන්න හැදුවා. කොටවිල අධිකරණයක් විවෘත කළා. මහා කුණු කන්දක් අසල පවතිනවා. දැඩි දුර්ගන්ධයක් හමනවා.

බන්ධනාගාරයේ දරාගත නොහැකි ප්‍රමාණයක් රඳවා තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීම් පනත යටතේ රඳවා ගත් අය වසර දහය පහළොව ඉන්නවා. තවම නඩු යනවා. මේ අය ගැන කඩිනමින් බලන්න විපක්ෂයේ අපි මේ සඳහා සහාය දෙන්නම්. අවිහිංසාවාදීව බැලිය යුතු කරුණු තියෙනවා.

අපි එකතු වී රටේ අනාගතයට ගැළපෙන සියලු ජාතීන්ට ගැළපෙන පරිදි රාජ්‍යයේ ආකෘතිය නිර්මාණය කර ගනිමු. අරගලය අවසන් වී නෑ. රට පුරා මතවාදය පැතිරිලා ඉවරයි. රට පීඩාවට ලක්වන විදියේ ක්‍රියාමාර්ගවලට නොයමු. රටට අවශ්‍ය නීති රාමුවක් හදා ගනිමු.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ)

අලුතෙන් ගුවන් යානා මිලදී ගැනීම හොඳයි මිලදී ගැනීම්වදී පරණ ලීසිං ක්‍රමයට ද යන්නේ.

ඇමැති නිමල් සිරිපාල

කල් බදු ක්‍රමය යටතේයි මිලදී ගන්නේ.

විජිත හේරත්

කල් බදු ක්‍රමයට කලින් ගත්තෙ වැඩි මිලකට. පරණ ගිවිසුම් හරහා ද කියා දැනගත යුතුයි.

ශ්‍රී ලංකන් ලාභ ලැබිය හැකි ආයතනයක්. ඉංජිනේරු නඩත්තු අංශය විශාල ලෙස ලාභ ලබනවා. රටේ ගුවන් හමුදාවේ ඉංජිනේරුවෝ රැසක් ඉන්නවා කලින් විශ්‍රාම යන තරුණ අය උපයෝගි කරගන්න පුළුවන්. පාඩුයි කියා විකුණා දාන්න එපා. අලුත් පාරවල් හොයාගෙන ලාභ උපයන්න ක්‍රියා කරන්න. දැනටමත් ගුවන් යානා අලුත්වැඩියාවට ඇණවුම් ඇවිත් තියෙනවා.

වරායේ ඉඩම් අක්කර 13 අවුරුදු 35 කට දෙන්න ගියා ඊට ටෙන්ඩර් දැම්මේ නෑ. කැබිනට් අනුමැතියෙන් දෙන්න ගියා. සේවක විරෝධය මැද තක්සේරුවට දැම්මා. එදා දැම්ම තක්සේරුවට වඩා වැඩි මුදලක් තක්සේරු වෙලා. එදා තක්සේරුව වූ මිලියන 150 ට වඩා ඩොලර් මිලියන 1800 කට තක්සේරු වෙලා. මූලික කොන්ත්‍රාත්තුවක් නැතුවයි දෙන්න ගියේ. තවම මේ පැවරීම නතර වී නෑ. මෙය ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක්. දැනට විකිණිල්ල ප්‍රතිපත්තිය කරගෙන වරායේ ඉඩම් පවරන්න දාලා.

නීති විද්‍යාලයේ මෙවර විභාගය පැවැත්වීම අසාධාරණ ලෙස පැවැත්වී තිබෙනවා. විභාග ශාලාවේදී දරුවන්ට ඇඩ්මිෂන් පත්‍ර ලබාදී තිබෙන්නේ. දැඩි පීඩාකාරී තත්ත්වයක විභාගය පවත්වලා තියෙන්නේ. මේ වැරැද්ද නිවැරදි කරන්න.

පත් කළ මන්ත්‍රී ජයන්ත වීරසිංහ (ශ්‍රීලපොපෙ)

ඉංග්‍රීසි භාෂාව අනුව නීති විද්‍යාලයේ කටයුතු කරන්න ඉඩ දෙන්න. ඉංග්‍රීසි භාෂාව හදාගන්න අවශ්‍ය පහසුකම් ශිෂ්‍යයන්ට ලබා දෙන්න. විදේශ නඩු තීන්දු ඉදිරිපත් කරමින් නඩු සඳහා කරුණු දක්වන්න සිදුවන්නේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් (සජබ)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ලිපියක් නිකුත් කරනවා 2021.12.15 දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් බි්‍රතාන්‍ය පුරවැසිභාවය සහිතව බි්‍රතාන්‍ය පාස්පෝට් එකක් භාවිතා කරනවා. ඇය තම තොරතුරු හෙළි නොකර ශ්‍රී ලංකා ගුවන් බලපත්‍රයක් ලබාගෙන තියෙනවා. එහිදී පුරවැසිභාවය ඉවත් කර ගත් බවට ලියැවිලි ඉදිරිපත් කර නැහැ යැයි පවසනවා.

21 සංශෝධනයෙන් එක් ශ්‍රී ලාංකිකයෙක් නොවන අයෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ ලිපිය ආගමන විගමන පාලක පාර්ලිමේන්තු මහලේකම්ට ඒවා තියෙනවා නම් එය හෙළි කරන්න. සම්මත කරපු නීතියට පිටින් කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.

අලුත් පාලකවරයෙක් දාලා මන්ත්‍රීනිය රාජ්‍ය ඇමැතිවරයෙක් වූවාට පසුව අලුත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් දීලා.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ වැඩිම සාක්ෂි සොයාගත් ශානි අබේසේකරව සාක්ෂිකාරයෙක් කළේ නෑ. දැන් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව පරීක්ෂණ වෙන පැත්තකට ගෙන යන්න නිලන්ත ජයවර්ධන, රොහාන් ගුණරත්න සාක්ෂිකාරයෝ කරලා. සහරාන්ගේ බිරිඳ කරුණු රැසක් ජනපති කොමිසමට හෙළි කළත් ඇයව සාක්ෂිකාරයෙක් කර නෑ.

ජනපති කිව්වා ඔහු ආපු ගමන් පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය ගේනවා කියලා. ඒක කරන්න. මේ රටේ ජනතාවට කරපු අපරාධය හෙළි කරන්න. මේ ප්‍රහාරය පිටුපස හිටපු මහ මොලකරු හොයාගමු.

රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු

පාස්කු ප්‍රහාරයෙන් දැඩි ලෙස අසරණ වුණේ කතෝලික ජනතාවයි. ඒ නිසා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලන්නෙ අපි. ජනාධිපති යටතේ නව පරීක්ෂණ කරන්න සහාය දෙන්න. කතෝලික සභාව මේ පරීක්ෂණවලට සහාය දෙන්න.

මේ ප්‍රහාරයට මුස්ලිම් අන්තවාදී පිරිසක් එක් වුණා. ඔවුන් මීට එක් වුණේ කෙසේද කියලා දැන ගන්න අපි හැමෝටම අවශ්‍යයි.

තව මාස 15 ක් යන විට දැන් තියෙන ගුවන් යානාවලින් භාගයක්ම අපට නැති වෙනවා. අපේ ගුවන් නියමුවන් වෙනත් රටවලට යනවා. පුහුණු සේවකයන් ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකන් වෙත ගුවන් යානා ලබා ගත යුතුයි. සංචාරක කර්මාන්තය නංවන මේ වෙලාවේ ගුවන් සේවාව දියුණු විය යුතුයි.

පත් කළ මන්ත්‍රී යදාමිනී ගුණවර්ධන (ශ්‍රීලපොපෙ)

අනුපාත ඡන්ද ක්‍රමය දශක ගණනාවක් ක්‍රියාත්මක වුවත් ඉන් ජනතාව බලාපොරොත්තු වන දේ ඉටු වන්නේ නෑ. ඒ නිසා මිශ්‍ර ක්‍රමයේදී නියෝජිතයන් නිවැරදිව පත් කරගත හැකියි. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150 ක් කේවල ක්‍රමයෙන් ද 75 ක් අනුපාත ක්‍රමයෙන් ද පත් කර ගත හැකියි.

රටේ ඉහළ උසාවි සිය තීන්දු මවු භාෂාවෙන් ලබා නොදෙන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 වගන්තිය යටතේ ඒ සඳහා අයිතිය තිබෙනවා.

පාර්ලිමේන්තුව අද (06දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment