හොරු සිටිති සුවසේ නීතිය තිබේ අහසේ

249

ලංකාව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගැනීමට එදා ගෙන සිය අරගලයට වඩා ප‍්‍රබල හා දැවැන්ත අරගලයක් මේ රට දූෂණයෙන් මුදා ගැනීම සඳහා දියත් කළ යුතු බව නිසැකය. ඒ ජාතික නිදහස් සටනේ දුබලතා අඩුපාඩු මොන තරම් තිබුණත් එය සාධනීය ලෙස අවසන් කර ගැනීමට හැකි විය. එහෙත් ජනතාව අපේක්‍ෂා කරන දූෂණ විරෝධී සටන ලේසි පහසු එකක් නොවේ. ජාතික සම්පත් කොල්ලකෑමට හා පොදු දේපළ සූරාකෑම් පිළිබඳව නැගෙන චෝදනා බරපතළ හා බිහිසුණු වුවත් ඒවා බොහෝ විට ජනමාධ්‍ය මගින් අනාවරණය කෙරෙන පුවත්වලට වඩා වැඩි දෙයක් නොවේ. දසක කීපයක් මුළුල්ලේ මෙරටේ බලයට පත්වූ හැම දේශපාලන පක්‍ෂයක්ම මේ දූෂිත ක‍්‍රියාන්විතය දෙස බලා සිටි ආකාරය පුදුමයට වඩා පිළිකුල දන්වන්නකි. ලාංකික දේශපාලනයේ ශිෂ්ට හා ගාම්භීර සම්ප‍්‍රදායන් සියල්ල වියැකී ඒ සද්කාර්ය ලූම්පන්, පාදඩයන් අහිනකට පත්වීම මෙයට ප‍්‍රධාන හේතුව බව නොරහසකි. එහෙත් ඒ හැම පාලනයකම භාරකාරත්වය මේ විනාශයට ඇස් කන් පියාගෙන සිටීමේ විපාක අද සමස්ත ජාතියේම හිසමත කඩා වැටී තිබේ. මෙහි පීඩනය කෙතරම්ද යත් පසුගිය දිනක පොලිස් මූලස්ථානය විසින් ජනතාවට කරන ලද නිවේදනයක සඳහන් වූයේ නීති විරෝධී වත්කම් සහ දේපළ විමර්ශන අංශය නමින් ආයතනයක් ස්ථාපිත කර තිබෙන බවත් එයට අදාළ තොරතුරු ලබාදෙන ලෙසත්ය. සැකකටයුතු වත්කම් හා දේපළ පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා 1917 දුරකථන අංකයද වෙන් කර තිබෙන බව එයින් ප‍්‍රකාශ විය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ මෙය කෙතරම් ප‍්‍රායෝගික විය හැකිද යන්නයි.

ශ‍්‍රී ලංකාව යනු දූෂණයෙන්, වංචාවෙන් ජරාජීර්ණ වූ හොරුන්ගෙන් ගසා කන්නන්ගෙන් වටවු රටක් ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබයි. චෞර රාජ්‍යයක් ලෙසද සමහරු එය හඳුන්වති. ජනමාධ්‍ය විසින් දිනපතා අනාවරණය කරනු ලබන දූෂණ, අක‍්‍රමිකතා, ගසාකෑම් කොපමණ ද? ඒවා බොහෝ විට දේශපාලන නිල බල රැුකවරණය යටතේ සිදුවන අශිෂ්ට මෙහෙයුම් බවද පෙනේ. දේශපාලනඥයන්ට අමතරව රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් වෙනත් සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන්, ඇතැම් විට පොලිස් නිලධාරීන් හා මේ අය හා සම්බන්ධ හිත මිත‍්‍රාදීහුද මෙබඳු දූෂිත ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධව සිටිති. එවන් පසුබිමක නීති විරෝධී ක‍්‍රියා සම්බන්ධ ඔත්තු ලබාදීම ආයුෂ කෙටිකර ගැනීමක් බව ජනතාව අත්දැකීමෙන් දන්නා කරුණකි.

මේ රටේ මහජනතාව වෙනුවෙන් මෙන්ම යුක්තිය සාධාරණත්වය උදෙසා සද්භාවයෙන් යුතුව ක‍්‍රියාත්මක වන එකම ආයතනය අධිකරණය බව නිසැකය. දේශපාලන හෝ වෙනත් කවර හෝ කිලූටකින් නොපිරිහුණු ගාම්භීර විනිසුරුවරු අපට සිටිති. පසුගිය දිනක මහාධිකරණ විනිසුරුතුමෙක් අල්ලස් කොමිසමට අවවාද කර තිබුණේ උසාවිය විහිළු සපයන ආයතනයක් කර ගත යුතු නැති බව අවධාරණය කරමින්ය. මේ අතර දේශාපාලනඥයන් සමග අධිකරණ කටයුතු පිළිබඳ කතා කළ බවට චෝදනා නැගෙන විනිසුරුවරයෙක් ගැනද කලාතුරකින් වාර්තා වී තිබිය හැකිය. එහෙත් යුක්තිය සුරකින දෙවොල අධිකරණය බව නිසැකය. එසේ වුවද පොලිසිය සම්බන්ධ වාර්තාව එතරම් යහපත් නැති බව පමණක් කිව යුතුය. පොලිසියට ඒ අවමානය ලබා දුන්නේ ද ගර්හිත දේශපාලනඥයන් විසින්මය. අයුක්තියේ අණ පිළිපැද කුමටද නුඹ පළඳින තරු යැයි විශාරද නන්දා මාලිනිය ගයන්නී වුවද තරු පටි සඳහා ඒ දේශපාලන මෙහෙවර අත්‍යවශ්‍ය වී තිබේ. ආණ්ඩුවේ අභිමතය අනුව ක‍්‍රියා කරමින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළ උසස් පොලිස් නිලධාරීන්ට අධිකරණයෙන් නියමවු දඩ මුදල් ගෙවා උසස්වීම්ද ලබා දුන් ජයවර්ධන ජනාධිපතිවරයාගේ අධම ක‍්‍රියාව ගැන අදත් දෝෂාරෝපණ නැගෙයි (එදා විවියන් ගුණවර්ධන ප‍්‍රමුඛ කාන්තා පෙළපාලියකට පහරදීමේ සිද්ධිය)

හොරු සිටිති සුවසේ නීතිය තිබේ අහසේ

මේ වර්ගයේ පාලකයන්ගෙන් රටට ලැබී තිබෙන නරක හා පහත් ආදර්ශ නිසා අද ජාතියක් වශයෙන් අපට අත්වී තිබෙන ඉරණම වෙනස් කළ හැක්කේද යහපත් දූරදර්ශී පාලනයකටම බවද කිව යුතුය. ජනතාවද ඒ සඳහා හැමදාමත් හිතන බව පෙනේ. එහෙත් ඒ සිතිවිල්ල බොහෝ විට පසුව ඔවුන්ගේ පමණක් නොව මුළු මහත් ජනතාවගේම ළතැවිල්ලට හේතු වන බවද ඉතිහාසය මෙන්ම වර්තමානයද තහවුරු කරමින් සිටියි. 2015 දී මෙරටේ ජනාධිපති ලෙස තෝරා ගත්තේ පොදු අපේක්‍ෂකයකු ලෙස හැඳින්වු මෛත‍්‍රිපාල සිරිසේන මහතාය. ඔහුගේ සම්ප‍්‍රාප්තිය දෙස බහුතර ජනතාව බලාසිටියේ ධනාත්මකවය. එහෙත් පැවති සමාජ දේශපාලන හැඩය වෙනස් කිරීමට ඔහු අසමත් වූයේ ජරපත් දේශපාලන ක‍්‍රමය නිසාය. ව්‍යවස්ථාමය වශයෙන් ඵලදායි පියවර කීපයක් ගැනීමට ඔහුට හැකි වුවද දූෂණ, වංචා, නාස්තිය නමැති විෂම චක‍්‍රය ඔහුට වඩා ප‍්‍රබල විය. කුප‍්‍රකට මහ බැංකු මංකොල්ලය එහි ඉමහත් විනාශය විය. කුමක් වුවත් දේශපාලනීය පවිත‍්‍රීකරණයකට ඉදිරිපත්වු මෛත‍්‍රිපාල ජනාධිපතිවරයා වටයක් ගොස් නතර වූයේද තමන් පත් කළ පක්‍ෂයේම වීම සරදමක් වැන්න.

මෛත‍්‍රී – රනිල් දේශපාලන ද්වන්ධව සටනින් විකෘතියක් බවට පත් රට යළි ප‍්‍රකෘති කළ හැකි නායකත්වය සෘජුවම පක්‍ෂයකට අයත් නොවූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සතුව ඇතැයි බහුතර ජනතාව නිගමනය කළහ. ඒ සඳහා ඔහුට ලක්‍ෂ හැට නවයක ජනවරමක් සහ ඒ ගමන සාර්ථක කර ගැනීමට ඔහුගේ ආශිර්වාදය ලත් කණ්ඩායම පාර්ලිමේන්තුවටද තෝරා ගත්හ. එයට අමතරව විසි වැනි සංශෝධනයද සවිමත් කර ගෝඨාභය ජනාධිපතිවරයාගේ බලය ශක්තිමත් කිරීමටද පියවර ගනු ලැබුණි. එහෙත් ගෝඨාභය යුගයේ දෙවසරක ශේෂපත‍්‍රය පිළිබඳව ඇත්තේද විවේචන පමණි. එසේ වුවද ඔහුගේ පාලනයට එල්ලවූ ගෝලීය උවදුරක් වු කොවිඞ් – 19 ජය ගෙන රට සුරැුකීමට ඔහු දැරූ ප‍්‍රශංසනීය උත්සාහය අගය කළ යුතුය. ඒ හැර ඔහුටද රට මුහුණ පා සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම අසීරු වී තිබේ.

ගෝඨාභය ජනාධිපතිවරයා අපේක්‍ෂා කළ සමාජ ආර්ථික දේශපාලන මෙහෙයුම සඳහා ශක්තිමත් හා දැක්මක් සහිත කණ්ඩායමක් නොමැතිවීමේ අඩුව ඔහු මුහුණ දී සිටින අභියෝගයයි. ඔහු විසින් ඉදිරිපත් කරන ලද කාබනික කෘෂිකර්ම සැලසුම විධිමත්ව ක‍්‍රියාත්මක කිරීමට බුද්ධිමය හෝ ප‍්‍රායෝගික දායකත්වයක් නොලැබීම රටේම අභාග්‍යයක් වැන්න. මෙරටේ කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රයෙහි විප්ලව ගණනාවක් ගැන කියැවේ. ඩඞ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක වැනි අගමැතිවරුද ඒ සඳහා අලූත් වගා සංග‍්‍රාම ඇරඹූහ. ජයවර්ධන ජනාධිපතිවරයා සුබ නැකතින් වප් මගුලක් පවා අරඹා තිබේ. එහිදී සිදුවූ හාස්‍යජනක දේවල්ද බොහෝය. ජයවර්ධන ජනාධිපතිවරයා කුඹුරට බට වේලෙහි ඔහුට රිදී නගුල දුන්නේ කුංජි නමැති මස්කඩ මුදලාලි කෙනෙකැයිද ඔහුගේ උෂ්ණය ඉව වැටුනු ගොන්බාන කුලප්පු වූහයිද එදා පත‍්‍රවල පළවිය. එසේ ඇරඹුණු වප්මගුල අන්තිමට කෙළවර වූයේ ගොවියන් අත්තන ඇට කා දිවි නසාගෙනය.

කෙසේ වුවද ජයවර්ධන ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ඇමැතිවරුන්ද කුඹුරට බැස්සවීමට එදා නිලධාරීන්ට හැකිවිය. එබඳු විප‍්‍රකාර මෙම කාබනික සංග‍්‍රාමයේදී සිදු නොවීම කැපී පෙනෙුණි. එහෙත් ඒ කටයුත්ත නිසා කෘෂිකර්මය භාර ඇමැතිවරයාට සිදුවූ අලකලංචිවල නම් නිමක් නොවීය. කුමක් වුවත් මේ ආණ්ඩුවට බරපතළම විවේචනයක් එල්ලවූයේ ගොවියන්ගෙන් බවද කිව යුතුය. එහිදී වී ගොවියන් පමණක් නොව එළවළු හා පලතුරු ගොවියන් ඇතුළු වගා ක්‍ෂෙත‍්‍රවල බොහෝ පිරිස් වීදි බසිමින් උද්ඝෝෂණවලද නිරත වූහ. එසේම එම ව්‍යාපෘතිය අස්සේත් විවිධ දූෂණ වංචා සිදු වූ බවටද චෝදනා නැගුණි. රසායනික පොහොර සමාගම්වලින් යැපෙන දූෂිත කණ්ඩායම් හා වෙනත් ජාවාරම්කාරයින් විසින්ද එහිදී ගොවියන් සූරා කන ලද බවද කියති. ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ ගොවියාගේ සමාජ ආර්ථිකය නගා සිටුවීම හා වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීමටය. එහෙත් දූෂණය හා වංචාව එතැනදීත් ක‍්‍රියාත්මක වූ බව පැහැදිලිය.

ගෝඨාභය ජනාධිපතිවරයා ඒ නිර්විදනයට ලක්වු සමාජය වඩාත් සංවේදී එකක් බවට පත් කරනු ඇතැයි බොහෝ අය කල්පනා කළහ. එහෙත් ඔහු වටා භ‍්‍රමණය වන්නේත් විවිධ ලේබල් ගසා ගත් ජාවාරම්කාරයන් බව මේ ආණ්ඩුව ගොඩනැගීමට දායක වූවෝද කියති. එහෙත් දසක කීපයක් මුළුල්ලේ මේ විනාශය වළක්වාලීමට අවංකව ගත් උත්සාහය කුමක්ද? සිදුවූයේ දූෂණය වංචාව නාස්තිය විවිධ ආකාරයෙන් පවත්වාගෙන යාමකි. මිනිසා විසින් මිනිසා සූරාකෑමේ ආදීනව කාල්මාක්ස්ට පෙර විග‍්‍රහ කළේ බුදුන් වහන්සේය. රජු නැතහොත් පාලකයා යුක්තිය හා ධර්මය මත පදනම්ව රාජ්‍ය විචාල යුතු බව බුදුහු වදාළහ. එසේම දූෂිත රාජ පුරුෂයන්ගේ ක‍්‍රියාකාරකම් හා අසාධාරණ බදු මගින් ජනයා පීඩා නොකළ යුතු බව පන්සිය පනස් ජාතක පොතෙහිද දක්වා තිබේ. (රාජොවාද ගණ්ඩ තීන්දු වැනි ජාතක කථා මෙයට නිදසුන් කළ හැකිය.)

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව හා මූල්‍ය කාරක සභාව වැනි ආයතනවලින් හා විගණන දෙපාර්තමේන්තුවෙන්ද මේ සියලූ ආකාරයේ දූෂණ වංචා මෙන්ම අනිසි වියදම් ගැනද විමර්ශන කටයුතු සිදු කළ හැකිය. එහෙත් එම වාර්තා බොහෝ විට අනාවරණවලට පමණක් සීමාවීම බරපතළ අඩුවකි. ඒවාට සක‍්‍රීය ලෙස පාර්ලිමේන්තුව වුවද ප‍්‍රතිචාර දැක්වීමට බැඳී නැත. කෙබඳු ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් සිදු වුවත් ඒවාට නීතිමය වශයෙන් ක‍්‍රියා කරන ක‍්‍රමවේදයක් නැත. ආණ්ඩුවේම එක්තරා ආයතනයක් රාජ්‍ය විගණනයෙන් නිදහස්වීම සඳහා ආණ්ඩුවේම මුදල් ලක්‍ෂ 200 කට වැඩියෙන් වැයකර නීති උපදෙස් ලබා ගැනීමේ පුවතක්ද හෙළිවී තිබිණි. වැරදි කරන නීතිය නොතකන තක්කඩි නිලධාරීන් විනා කිසිදු අවංක නිලධාරියෙක් නීතියට බිය විය යුතු නැත. පොදු ව්‍යාපාර කමිටුව ඉදිරියට ඒම පවා ප‍්‍රතික්‍ෂේප කළ නිලධාරීහු මෙරටේ සිටිති. රාජ්‍ය ආයතනවල තිබෙන මුදල් කූට නිලධාරීන්ගේ අභිමතය පරිදි භාවිත කිරීම වැළැක්වීමට තිබෙන එකම බාධාව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවයි. විගණකාධිපතිගේ ස්වාධීනත්වය නැති කිරීමේ දුෂ්ට ක‍්‍රියාන්විතය ප‍්‍රභවය වී ඇත්තේද දේශපාලන බලධාරීන්ගෙන් බව ප‍්‍රකට රහසකි. යහපාලන සමයෙහිදී මේ සම්බන්ධව ගත් ඇතැම් ක‍්‍රියාදාමයන් ගැනද අපට මතකය. සැබැවින්ම තවමත් නිෂ්ක‍්‍රීය කළ නොහැකිවූ දූෂණ චක‍්‍රය හා දේශපාලන චෞර වළල්ල ගැන මෙයට වඩා රටේ පාලකයන්ගේ විශේෂයෙන් විධායකයේ අවධානය යොමු විය යුතුය. ඇත්ත වශයෙන්ම රටක මූලික නීතිය, එරටේ මුල්‍ය විනය පවත්වා ගෙන යෑමට ප‍්‍රබල හා ශක්තිමත් කිරීම පක්‍ෂ විපක්‍ෂ සියලූ දේශපාලනඥයන්ගේ වගකීමකි.

බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම දූෂණ, වංචා, අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ එකම පිළිවෙතකි. දේශපාලනඥයන්ට හා වෙනත් රාජ්‍ය නිලධාරීන්ටද එල්ල වී තිබෙන කිසිදු චෝදනාවක් පිළිබඳ විමර්ශනයක් සිදු නොකිරීම මේ දේශපාලනඥයන් විසින් එල්බ ගත් නිහඬ සම්මුතියක් වැන්න.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ප‍්‍රමුඛ උසස් නිලධාරීන් විසින් වාර්ෂිකව තම වත්කම් පිළිබඳ ප‍්‍රකාශනයක් ලබා දිය යුතු බවට නීතියක් තිබේ. එය සදාචාරාත්මක දේශපාලනයකට හොඳ නීතිමය විධානයකි. එහෙත් මෙම වත්කම් ප‍්‍රකාශන යනු සදාකාලික අබිරහසකි. තොරතුරු දැන ගැනීමේ පනතක් ක‍්‍රියාත්මක වුවද ජනතා නියෝජිතයන්ගේ වත්කම් බැරකම් කිසිවක් හෙළි කර ගත නොහැකිය. වරක් ආණ්ඩුවක මන්ත‍්‍රීවරයෙක් (නියෝජ්‍ය ඇමැතිවරයෙක්ද විය) සිය වත්කම් හෙළි නොකිරීම නිසා අධිකරණයේදී වැරදිකරුවකු විය. ඔහුගේ ද`ඩුවම වූයේ රුපියල් දහසක දඩයකි. මේවා යහපත් දේශපාලන සංස්කෘතියක ලක්‍ෂණද? වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ගිණුමකින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් ගැනද වාර්තා විය. ඒ හොරකම කරන ලද්දේ අගමැතිවරයාගේම සම්බන්ධීකරණ ලේකම් ධුරයක්ද ඉසිලූ හිටපු මන්ත‍්‍රීවරයෙකු විසිනි. එබඳු සූක්‍ෂම හොරකමක් කිරීමට තරම් අදාළ පුද්ගලයා නිර්භයවීමද විස්මය දනවයි. එහෙත් හොරා සුවසේය. නීතිය අහසේය. අගමැතිවරයා ඔහුට සමාව දීම වෙනම කරුණකි. එහෙත් මෙයින් සංකේතවත් වන්නේ හොරකම හා හොරුන් සමාජගතවී තිබෙන ආකාරයයි. ඒ සංඥාව යහපත් එකක්ද නොවේ.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් කලකට පෙර මහාසාර නමින් (1967) අපූරු නාට්‍යයක් නිෂ්පාදනය කරන ලදී. එහි තේමාව වූයේද අගබිසවගේ මහාසාර පළඳනාව හොරා ගැනීමේ සිද්ධියකි. මෙය අගනා දේශපාලන ප‍්‍රහසනයක් ද විය. රජු වටකර ගෙන සිටින හොර මුළක් නිසා ඔහුගේ පාලනයට අනතුරක් එල්ලවී ඇති බව නාට්‍යයෙන් පිළිබිඹු විය. මහාචාර්ය සරච්චන්ද්‍ර මහාසාර නාට්‍යයෙන් සිනා සෙන්නේ පාලකයන්ට මෙන්ම ඔහු වටකර ගත් අමන නිලධාරීන්ටය. නිල බල හිසට බරවූ අග බිසෝවරුන්ටය. මේ නාට්‍යය නූතන සමාජ දේශපාලනය සමග කෙතරම් සමාන්තර දැයි විමසා බලනු වටී. මේ එහි එන ප‍්‍රබල අවධාරණයකි.

මාලිගාවෙ ඔක්කොම හොරු
වට කරගෙන හොර මුළුවක්
කොහොමද මං රජ කරන්නෙ
මොකද අපට වෙන්න යන්නෙ

අනෙක් පාර ඔබතුමාගෙ
ඔටුන්න හොරකම් කරාවි

එතනින් නැවතුනොත් මදෑ
අනික් පාර මොකද වෙන්නෙ
අපිවත් හොරකම් කරාවි !

සැබැවින්ම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මෙම විමසුම වඩාත් අදාළ වන්නේ අදට නොවේද? අද හොරුන් නැති තැනක් කොතැනක හෝ තිබේද?

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment