අපේ දේ රැකගන්න මේවා නතර කරන්න
රේගු බදු නොගෙවා වෙනත් භාණ්ඩ සමග කූට ලෙස මෙරටට තොග වශයෙන් ගෙන්වන පාවහන් සහ සම්භාණ්ඩ නිසා දේශීය නිෂ්පාදකයන්ට විශාල අගතියක් සිදුවන බවත් එය වහා නතර කර දේශීය නිෂ්පාදකයන් රැකගන්නා ලෙසත්
ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ උපදේශක කමිටු සභාපති නෙවිල් පෙරේරා මහතා ඉල්ලා සිටී. අමුද්‍රව්‍ය ගෙන්වීමට තම නිෂ්පාදකයන් විශාල බදු මුදලක් ගෙවන බවද ඒ මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයෙන් සහ කොවිඩ් වසංගතයෙන් පසුව රට බංකොලොත් බවට ප්‍රකාශ කිරීමත් සමග ඇතිවූ ආර්ථික අවපාතය තුළින් කඩාවැටුණු නිෂ්පාදන කර්මාන්ත අතරට පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තයත් එකතු වී යම් බලපෑමක් ඇතිවීමත් පැවැති දේශපාලන අධිකාරිවල බලපෑම් නිසාත් තම කර්මාන්තය ඉතා අසීරු තත්ත්වයකට පත්වූ බවද පෙරේරා මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙරේදා (28දා) පැවසීය.
මෙම ක්ෂේත්‍රය තුළ ඍජු සහ වක්‍ර රැකියා ලෙස ලක්ෂ තුනක් පමණ සේවයේ නිරත වන බවත් මෙහි වාර්ෂික වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 150ක් පමණ වන බවත් ඔහු කීය. ක්ෂේත්‍රයේ නිරත පාවහන් නිෂ්පාදකයන් අතර අපනයන මට්ටමේ පාවහන් නිෂ්පාදනය කළ හැකි ආයතන දහයක් පමණ ඇති බවද ඔහු කීය.
පසුගිය රජය සමයේ කර්මාන්ත අමාත්‍යාංශයේ දත්තයන් මුදල් අමාත්‍යාංශයත්, පාරිභෝගික අමාත්‍යාංශයත් ආනයනික පාවහන් තොගවල දත්තත් පසු විගණනයක් සිදුකරන ලෙසට රේගුව දැනුවත් කළද එයින් කිසිදු ඵලක් නොවූ බවත් එසේ නොවූයේ කර්මාන්තකරුවන්ට වඩා ආනයනකරුවන් ශක්තිමත් වීම නිසා බවත් ඒ මහතා අවධාරණය කරයි.
නව ජනාධිපතිවරයා ආනයනික පාවහන් භාවිත කරන බවට චෝදනා එල්ල වුවත් ජනාධිපතිවරයා භාවිතා කරන්නේ දේශීය නිපදවන පාවහන් බවට පාවහන් කර්මාන්තකරුවන් සහ සංගමය දැනුවත් බවත් එයින් පෙනී යන්නේ ආනයනික පාවහන්වලට සමාන උසස් තත්ත්වයේ පාවහන් මෙරට නිපදවන බවත් ඔහු කීය.
එවැනි තත්ත්වයකට දේශීය පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්ත උසස් තත්ත්වයට පැමිණ තිබියදී එය තවදුරටත් ධෛර්යවත් කර තම කර්මාන්තය රැකදීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි දේශීය නිෂ්පාදන සංගමයක් වන පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය අපේක්ෂා කරන බවද ඒ මහතා තවදුරටත් පැවසීය.
චමින්ද සිල්වා