හොර අංක යෙදූ ප්‍රාඩෝ රියක් ළග තබා ගත්තැයි ඇල්ලූ ගාල්තැන්නේ දේවගැති රිමාන්ඩ්

430

ව්‍යාජ අංක තහඩු සහිත ප්‍රාඩෝ ජීප් රථයක් ළඟ තබාගත් බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ ගාල්තැන්නේ දේවගැති ගාමිණි ආනන්ද මේ මස එකොළොස් වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තෙල්දෙණිය මහෙස්ත්‍රාත් දේවිකා ජයවර්ධන මහත්මිය ඊයේ (3 දා) නියෝග කළාය.

තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය වසර ගණනාවක් තිස්සේ පාවිච්චි කර ඇත්තේ කිලෝ ගණනින් රත්‍රං පැළැඳ ප්‍රසිද්ධ ස්ථානවල සැරිසරමින් සිටි ගාල්තැන්නේ දේවගැතිවරයා බව අනාවරණය වීමෙන් පසුව පොලිසිය පෙරේදා (02දා) පස්වරුවේ ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. දිගන අයි.සී.සී. නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් නොමැති නිවසක ගරාජයේ ගාල්කර තිබියදී තෙල්දෙණිය පොලිසිය විසින් සොයා ගනු ලැබූ ප්‍රාඩෝ ජීප් රථය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් සති කිහිපකට පෙර මෙම ස්ථානයට ගෙනවිත් දැමූ බවට පොලිසියට තොරතුරු ලබා දී තිබුණේ දේවාගැතිවරයාගේ පුත්‍රයකු විසිනි. මෙම ලේකම්වරයා වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇති අතර පොලිසිය නොමඟ යැවීමේ අරමුණින් ඔහු එසේ ප්‍රකාශ කර තිබෙන බවට පොලිසිය සැක කරයි.

කලක් මහත් ප්‍රසිද්ධියට පත්ව තිබූ ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයාට සහ ඔහුගේ දේවාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට මධ්‍යම පළාතේ හිටපු ඉහළ පොලිස් නිලධාරීන් කටයුතු කර තිබිණි. දේවගැතිවරයා සතුව ඩිෆෙන්ඩර් ජීප් රථ ඇතුළු වාහන ගණනාවකින් සමන්විත වාහන අංගනයක් තිබෙන බවටත් කොටස් එකලස් කර සකස් කරන ලද වාහන කිහිපයක් ඒ අතර තිබෙන බවටත් ලද තොරතුරු මත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

මහනුවර පිලවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් ජීප් රථයක අංකය භාවිත කරමින් මෙම ජීප් රථය සැකකරු ඇතුළු පවුලේ උදවිය ධාවනය කර තිබෙන බවට තොරතුරු හෙළිව තිබෙන බව පොලිසිය පවසයි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment