හොර අරක්කු වනසන ස්ටිකරේ මෙන්න… කිසිම රටක ලේසියෙන් කරන්න බැරි වැඩක්… – සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි

104

රාජ්‍ය ආදායමෙන් 11%ක් සුරාබදු…
2500ක බෝතලයක 700ක අරක්කු 1800ක බදු…
මහ භාණ්ඩාගාරෙට බිලියන 150ක් ගෙනල්ලා…
ලබන වසරේ බිලියන 214 ක ඉලක්කයක්….

ඕනෑම රටක සුරාබද්ද කියලා කියන්නේ ආණ්ඩුවට තියෙන ඉතා හොඳ ආදායම් මාර්ගයක් බව ඇත්ත. හැබැයි ඉතින් සමහර තැන්වලදි රට කරවන පාලකයෝ ඒක පිළිගන්න කැමති නෑ. බදු ගහන්නේ එම කර්මාන්තය අධෛර්යයට පත් කරන්න කියලයි සමහර බලධාරීන් කියන්නේ…

කවුරු කොහොම කිව්වත් අපේ රටේ නම් මත්පැන් කර්මාන්තය කියලා කියන්නේ රුපියල් බිලියන දෙසීයක පමණ වාර්ෂික පිරිවැටුමක් සහිත ව්‍යාපාරයක්. පහුගිය අවුරුද්දේ එම කර්මාන්තයෙන් විතරක් රජය ලබාගත්තු බදු මුදල රුපියල් බිලියන 140ට වැඩියි. ඒක මුළු කර්මාන්තයේ ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස ගත්තාම 70% ක් විතර වෙනවා නේ. එම ප්‍රමාණය මුළු වාර්ෂික රාජ්‍ය ආදායමෙන් 11% කුත් ඉක්ම යනවා කියලයි ගණන් හදලා තියෙන්නේ.

ඒ වුණාට මේ ගණන් හැදිල්ල සාධාරණ වෙන්නේ ආණ්ඩුවට බදු ගෙවලා නීත්‍යානුකූලව පවත්වාගෙන යන මත්පැන් කර්මාන්තය සඳහා විතරයි. එතකොට ගමේ ගොඩේ නගරයේ හැමතැනම අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වෙලා තියෙන කසිප්පු ජාවාරමේ වටිනාකම ගැන දෙයියො තමයි දන්නෙ… තව එතකොට හැලි අරක්කු, සීනි කරිඤ්ඤං, රා… තව කොතෙක්ද.

ඒක හින්ද ඒ ගැන කතාව පැත්තක තියලා අපි අද කතා කරන්නේ නීත්‍යානුකූල මත්පැන් කර්මාන්තයට මුවා වෙලා ආණ්ඩුවටත් වංගු ගහලා මත්පැන් කර්මාන්තයෙන් හොර පාරේ අධික ලාභ ලබන සූර චෞරයන්ගේ සෙල්ලම් ගැන. ඒ විතරක් නෙවෙයි. ඒවා වළක්වන්න සුරාබදු දෙපාර්තමේන්තුව අනුගමනය කරන උපාය මාර්ග ගැන.

අපි මේ ගැන කතා කරන්න ලංකාවෙ ඉන්න සුදුසුම කෙනා හොයාගෙන ආවා. ඒ තමයි අපේ රටේ වත්මන් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහත්මා… එතුම නම් කියන්නේ දැන් මේ වෙනකොට වෙළෙඳ පොළේ අලෙවි කරන දෙස් විදෙස් මත්පැන් බෝතල්වල අලවා තිබෙන ස්ටිකරය හා ඩිජිටල් කේතය නිසා හොරට පෙරන අරක්කු කිසිවකට වෙළඳපොළේ අලෙවි වන්නට කිසිත් ඉඩක් නැති බව. ඒ ගැන තර්ක කරමින් අපි කතාබහ පටන් ගත්තේ මෙන්න මෙහෙම ප්‍රවේශයකින්.

● අද වෙනකොට සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත්…?

“කාර්යභාරය විෂයපථ තුනක පෙළ ගැහෙනවා. පළමුවැන්න තමයි රජයට ආදායම් සොයාදීම. මේ වනවිට සුරාබදු තුළින් රජය ලබන ආදායම මුළු රාජ්‍ය ආදායමෙන් 11%ක් ඉක්මවලා තියනවා. දෙවෙනි විෂය පථය තමයි නීති විරෝධී අහිතකර මත්පැන් වෙළඳපොළට එන එක වැළැක්වීම. තුන්වන එක නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍යවලින් මහජනයා ආරක්ෂා කරමින් මෙම කර්මාන්තය නියාමනය කිරීම.”

ඉන්පසුව ඔහු කතා කළේ මේ නියාමන කටයුත්ත සඳහා තියෙන අභියෝග ගැන. එකක් පිරිස් බලය නොමැතිකම. අවහිරයකින් තොරව රාජකාරි කටයුතු කිරීමට නම් සේවකයින් 1600 දෙනෙක් පමණ අවශ්‍ය වුවත් අද වන විට සේවකයින් 325ක පමණ හිඟයක් ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

සුරාබදු ක්‍ෂේත්‍රය තරම් දූෂණ අක්‍රමිකතා සිදුවන තවත් ක්ෂේත්‍රයක් රටේ ඇත්තෙ නැති තරම්. ඒකට හේතුවක් තිබුණා. සාමාන්‍යයෙන් වෙළඳපොළේ අලෙවි වන රුපියල් 2500ක් පමණ වූ මත්පැන් බෝතලයක මත්පැන් හා බෝතලේ මූර්ත වටිනාකම වන්නේ රුපියල් 600ක් හෝ 700 ක්. ඉතිරි සියලුම මුදල රජයට අය වන බදු. යම් මත්පැන් නිෂ්පාදකයකුට තම නිෂ්පාදන බදු නොගෙවා වෙළඳපොළේ අලෙවි කළ හැකි නම් ලාභය කොතෙක්ද. ආසන්න වශයෙන් 2,500ක බෝතලයකින් රුපියල් 1800ට වැඩි ලාභයක් ඉන් ලැබිය හැකි බව නිසැකයි.

ඇතැම් මත්පැන් නිෂ්පාදකයින් තම නිෂ්පාදන ඒ ඒ ප්‍රදේශවල සිටින සුරාබදු නිලධාරීන් හා නියාමකවරුන්ගේ සහාය ඇතිව හොර රහසේ බදු නොගෙවා තමන්ට හෝ තම හිතවතුන්ට අයත් මත්පැන් අලෙවිසල් තුළින් සාමාන්‍ය පරිදි අලෙවි කර අධික ලාභ ලබාගත් සමයකුත් අපේ රටේ තිබුණා. මේ තුළින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනුත් නොමඳ ප්‍රතිලාභ ලැබුවා. ලාභය නිසාම ඔවුන් ඒ ක්‍රමවේදය සුරැකිව නඩත්තු කළා.

මෙන්න මේ අති විශාල බදු වංචාව නිවැරදිව තේරුම් ගත් හිටපු මුදල් ඇමැතිවරයකු වන මංගල සමරවීර මේ වංචාව නතර කරන්න පියවරක් ගත්තා. ඔහු තමයි සෑම නීත්‍යානුකූල මත්පැන් බෝතලයක ම මූඩිය මත ස්ටිකරයක් අලවන යෝජනාව මුලින්ම ගෙනාවේ.

● අපි ඊළඟට කතා කළේ එම ස්ටිකරය පිළිබඳ…

හොර අරක්කු වනසන ස්ටිකරේ මෙන්න… කිසිම රටක ලේසියෙන් කරන්න බැරි වැඩක්… - සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි

“ඇත්තම කියනවා නම් මම මේ ආයතනය භාරගත්තෙ 2020 දෙසැම්බර් මාසේ. ඒ අවුරුද්දේ සුරා බදු ආදායම බිලියන 121යි. ඊට පෙර 2015දී ඒක තිබුණේ බිලියන 105ට. 2015 – 2020 අවුරුදු පහටම වැඩි වෙලා තිබුණේ බිලියන 6 යි. හැබැයි ඔය ස්ටිකර් ව්‍යාපෘතිය එන්නත් පෙර 2021 වෙනවිට මට පුළුවන් වුණා වාර්ෂික ආදායම බිලියන 19කින් නංවලා 140 දක්වා වැඩි කරන්න. මම කොහොමද ඒක කළේ…?

මුලින්ම මම කළේ අනවශ්‍ය අය අතට එතනෝල් යන එක වළක්වපු එක. සැන්සයිටර්වලට, සර්ජිකල් ස්ප්‍රීතුවලට, හඳුන්කූරුවලට වගේ විවිධ දේවල්වලට ව්‍යාපාරිකයෝ එතනෝල් ගනිපු එක මම සීමා කළා. එහෙම දැඩි පියවර ගත්තු නිසා මේ ක්ෂේත්‍රයේ හුඟක් දූෂණ අඩු කරන්න පුළුවන් වුණා.

මේ ස්ටිකර් ව්‍යාපෘතිය අපට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න ලැබුණේ 2022 ජනවාරි 3 ඉඳලා. ඊට කලින් 2019 මේ ව්‍යාපෘතිය පටන් ගත්තත් යම් යම් අයගේ විරෝධතා නිසා අලවන්න පුළුවන් වුණේ රට මත්පැන් බෝතල් මත පමණයි.

අපේ රටේ මත්පැන් නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාර 25 තියනවා. ඉන් දෙකක නිපදවන්නේ බියර්. සැර මත්පැන් නිෂ්පාදනාගාර 23යි. මේගොල්ලන්ට ස්ටිකරේ අලවන එකට විරුද්ධ වෙන්න සාධාරණ හේතුත් තිබුණා. ඩී සී එස් එල්, සිලෝන් බෲවරි වගේ ආයතනවල නිෂ්පාදන ධාරිතාවය වැඩියි. පැයකට බෝතල් 60,000ක් විතර. ඒ වගේ වේගයකින් දුවන මැෂින් එකක අතින් ස්ටිකර් අලවන එක ප්‍රායෝගික නෑ. ඒ වේගයට සරිලන මැෂින් තිබිලත් නෑ. තිබුණත් පහුගිය කලබල කාලේ (කොරෝනා හා අරගල) ඒව ගෙන්නලා හයි කරන එක පහසු වෙලා නෑ.

සමහර ආයතන ඉල්ලුවා ස්ටිකරය වෙනුවට මූඩියේ මුද්‍රණය කරන ඩිජිටල් කේතයක්. දියුණු රටවල එහෙම දේවල් තිබුණා.

මංගල සමරවීරගේ කාලේ ඉඳලා මත්පැන් මත අලවන ස්ටිකර් මුද්‍රණය කරන කටයුත්ත භාරව තිබුණේ ඉන්දියාවේ මැඩ්රාස් සිකියුරිට් ප්‍රින්ටර්ස් ප්‍රයිවට් ලිමිටඩ් (Madras security printers private limited) කියන ආයතනයට. M S P එක කියලා තමයි කවුරුත් කෙටියෙන් කිව්වේ. රජය සමග ඔවුන්ගේ ගිවිසුම තමයි ස්ටිකර් දාහක් ඩොලර් 5.59කට ලබාදීම. 2022 ජනවාරියේ ස්ටිකර් ඇලවීම ආරම්භ කරනකොට ස්ටිකර් එකට අකමැති වුණ ප්‍රධාන කොම්පැනි කීපයට ඔවුන් ඩිජිටල් කේතයක් ලබා දුන්නා. දැන් මේ වෙනකොට ස්ටිකරය හෝ ඩිජිටල් කේතය නැති සැර මත්පැන්, බියර් හෝ රා කිසිදු බෝතලයක් වෙළඳපොළේ නෑ කියලා තමයි කොමසාරිස්තුමා කියන්නේ… අපි මෙහෙම ඇහුවා…

●“ඔය කියන ස්ටිකරේ හා ඩිජිටල් කේතය ඔබට සියයට සීයක් විශ්වාස ද…? මොකද ඔය කියන එම්. එස්. පී. කොම්පැනියට ගොඩක් චෝදනා තිබුණා. කෙන්යාවේ පවා බ්ලැක්ලිස්ට් කරපු කම්පැනියක් කියලයි කිව්වේ…”

එතකොට එතුමා මෙහෙම උත්තර දුන්නා…

“මට පුළුවන් 2022 ජනවාරියෙන් පස්සේ මේ දැන් තියෙන ස්ටිකරේ ගැන සහතිකයක් දෙන්න. සියයට සීයක් මට මේ ස්ටිකරේ විශ්වාසයි. පටන් ගන්න කොට විවිධ ප්‍රශ්න විවිධ අඩුපාඩු තියෙන්න ඇති. මට මතකයි මන්ත්‍රීවරයෙක් පවා පාර්ලිමේන්තුවේදී මේ ඩිජිටල් කේතය කියවන්න උත්සාහ කළා. ඒ වෙලාවේ ඒ ස්ටිකරය අදාළ වෙබ් එකේ ජාලගත වෙලා නොතිබෙන්න ඇති. අනිත් එක බ්ලැක් ලිස්ට් වුණාය කියන චෝදනාවට නඩු ගියා. අන්තිමේ ඒ අදාළ පාර්ශ්ව සමතයකට පත් වෙලා නඩු ඉල්ලා අස්කර ගත්තා. ඒ ප්‍රශ්න විසඳිලා ඉවරයි.”

එතුමා මොනව කිව්වත් අපට තව ප්‍රශ්නයක් තිබුණා. මේ මත්පැන් කර්මාන්තයෙන් ඊට සම්බන්ධ ව්‍යාපාරිකයෝ කාලාන්තරයක් තිස්සේ වාසි ගත්තේ කෘතිම රාවලින් හෝ වෙන යම් ක්‍රමයකින් ලබා ගන්නා එතනෝල් මගින් නිමවන අරක්කු ඔවුන්ට ම අයත් බාර්වල හොරට විකුණලා. ඒකට සුරාබදු නිලධාරීන්ගේ සහයෝගයත් නොඅඩුව ලැබුණා. මොකද ඔය දෙපාර්තමේන්තුවේ ඉන්න 1269ම හොඳ මිනිස්සු කියලා කාටවත් සහතික වෙන්න බැහැනේ. ඉතින් එහෙම විකුණන හොර අරක්කු වලට මේ තියන ස්ටිකරයට සමාන හොර ස්ටිකර් සපය ගන්න බැහැ කියලා සහතිකයක් දෙන්න පුළුවන් කාටද කියලාත් අපි ප්‍රශ්නයක් මතු කළා. ඒකටත් ඔහු උත්තර දුන්නා.

“එහෙම දේවල් වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. හැබැයි ඒ ඉස්සර. මම ආවට පස්සෙ මම අනුගමනය කරන ක්‍රියා පිළිවෙත අනුව නම් එහෙම දේවල් වෙන්න ඉඩ තියලා නෑ. ඒකනෙ අපේ වැඩපිළිවෙළට පිටින් සහ ඇතුලෙන් ලොකු විරෝධයක් ගොඩ නැගුනේ. මේවා ලෝකෙ කොහේවත් ලේසියෙන් කරන්න දීලා නෑ. මට මරණ තර්ජන පවා ආවා. හොරට එතනෝල් ගේන අය, කෘතිම රාවලින් එතනෝල් හදන අය. හොර අරක්කු පෙරන අය, ඒවා බෙදාහරින්න සහ අලෙවි කරන්න උදව් කරන අය වගේම ඒවා විකුණලා ලොකු ලාභ උපයන අය අපේ වැඩපිළිවෙළට විරුද්ධයි.

මේ විරුද්ධ අය කොටස් දෙකක් ඉන්නවා. පෙනෙන බලවේග හා නොපෙනෙන බලවේග ලෙස මං ඒ අය නම් කරනවා. අපි හඳුනාගෙන තියෙන්නෙ. සමහර අය කැමති වගේ හිටියට හිත යටින් අකැමැතියි. එයාලා තමයි මේ ස්ටිකර් එකට විරුද්ධව වෙන අය අවුස්සන්නේ. මාධ්‍යවලට ඔයාලට වුණත් වැරදි ප්‍රචාර දෙන්නෙ ඔවුන් බව මම දන්නවා.

හැබැයි දැන් ඒ කාටවත් කරන්න දෙයක් නෑ. අපි වැඩේ පටන් අරන් ඉවරයි. මම බය නැතුව කියනවා වෙළඳපොළේ අද විකුණන්න තියෙන මත්පැන් නීත්‍යානුකූල ජෙනුයින් මත්පැන්. ස්ටිකරයක් අලවා තිබෙන නිෂ්පාදන බය නැතුව ගන්න. 98% ක්ම මම සහතික කරනවා. සියයට දෙකක් මම තවම අනිත් පැත්තෙ වාසියට තියලා තියෙන්නෙ.”

● හොඳයි… වෙළඳපොළට හොර ස්ටිකරයක් ආවොත්..?

“අන්න ඒක තමයි මම 2%ක් පැත්තක තිබ්බේ. සමහර අය නොදැනුවත්කමට ඒ වගේ මරිමෝඩ උත්සාහයක් දරන්න පුළුවන්. මේ වගේ හොර ස්ටිකරයක් මුද්‍රණය කරලා අලවන්න. හැබැයි මගේ ළඟ දැන් රට පුරා සුරාබදු ආයතන 58ක් තියෙනවා. විශේෂ වැටලීම්වලට දායක වන බුද්ධි අංශ දෙකක් තියෙනවා. මේගොල්ලෝ හැමදාම රට පුරා වැටලීම් කරනවා. ඒ ගොල්ල ළඟ තියනවා මේ ස්ටිකරය හා ඩිජිටල් කේතය පරීක්ෂා කර බලන නවීන උපකරණ.

බැලූ බැල්මට ඒ වගේ ස්ටිකරයක් මුද්‍රණය කරලා අලවන්න පුළුවන් වගේ පෙනුනට ඒක ඇතුළෙ තියෙන තාක්ෂණය ගැන කවුරුවත් දන්නෙ නෑනේ. මේකේ ඕවඩ් කෝවඩ් හා ෆොරන්සික් කියලා ලක්ෂණ තුනක් තියෙනවා. ඒ කියන්නේ ඇහැට පෙනෙන, යාන්ත්‍රිකව කියවිය හැකි හා රසායනිකව කියවිය හැකි ලක්ෂණ.

මේ උපකරණවලින් බලපු ගමන්ම හොර එක මොකක්ද කියලා අහු වෙනවා. දන්නවනේ දැන් අලුත් ගැසට් එකේ සුරාබදු ප්‍රකාශනය කොච්චර දැඩි ද කියලා. අහු වුණ ගමන් ව්‍යාපාරිකයාගේ බලපත්‍රය අහෝසි කරන්න අපට පුළුවන්.”

නිලධාරීන් ළඟ හොර මත්පැන් හා නිල මත්පැන් හඳුනගන්න උපකරණ තිබුණට මත් පාරිභෝගිකයා අත උපකරණ නෑ. එතකොට තමන් සල්ලි දීල අරන් බොන්නේ නීත්‍යානුකූල මත්පැන් ද එහි ප්‍රමිතිය මොකක්ද කියලා පරික්ෂා කර බලන්න පාරිභෝගිකයාට ඇති හැකියාවත් වැදගත්.

මේ සඳහා අද පාරිභෝගිකයා භාවිත කරන්නේ බොහොම ප්‍රාථමික විශ්වාසයක්. මත්පැන්වල ප්‍රමිතිය හොයන සමහර අය කාගිල්ස් හෝ වෙනත් සුපිරි වෙළඳ සලකින් ගන්නා මත්පැන් ගැන විශ්වාසය තබනවා. ඔවුන් සාමාන්‍ය වයින් ස්ටෝස්වලට කිට්ටු වන්නේ වත් නැහැ.

අනිත් අතට තමන් බොන අරක්කු බෝතලේ ඇතුලෙ තියන ද්‍රව්‍යයේ ප්‍රමිතිය ගැන වගකියන්නේ කවුද කියන ප්‍රශ්නයත් අද පාරිභෝගිකයන්ට තියෙනවා. මේ ගැනත් කොමසාරිස්තුමා කරුණු පැහැදිලි කළා.

“මෙහෙමයි. පාරිභෝගිකයා බලන්න ඕන ස්ටිකරය තියෙනවද නැද්ද කියලා විතරයි. ඒ ස්ටිකරය ජෙනුයින් ද නැද්ද කියන එක ගැන අපි වග කියනවා. අපි මේක එක තැනකින් පටන් ගත්තා. හොර අරක්කු මාකට් එකට එන එක නතර කළා. ඊළඟට අපි ප්‍රමිතිය ගැනත් මේ විදියටම සැලකිලිමත් වෙනවා ඉදිරියට. දෙයක් කොහෙන් හරි එක තැනකින් පටන් ගන්න එපැයි. දැන් හරි.

ඊළඟට ඩිජිටල් කේතය සාමාන්‍ය මිනිසුන්ට පේන්නේ නැති එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙ තියෙන්නෙ ඩී සී එස් එල් නිෂ්පාදනවලටයි බියර්වලටයි විතරයි. ඒවයින් නිසැකවම ඩිජිටල් කේත අඩංගුයි. සැක කළ යුතු නෑ. කොහොම වුණත් ඩී සී එස් එල් නිෂ්පාදනවලට මම උපදෙස් දුන්නා ස්ටිකරේ ඇලවීමට යන්න කියලා.

මොනව වුණත් කලින් ඉඳලම අපට මේ මහා පරිමාණ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන පිළිබඳ ප්‍රශ්න ආවෙ නෑ. ලංකාවේ මුළු නිෂ්පාදිතයෙන් 55%ක් ඩී සී එස් එල්. ඊළඟට 26%ක් බියර්. තව කොම්පැනි තුනක් එකතු වෙලා 10%යි. ඒගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් වුණේ නෑ. ඉතුරු 7% නිපදවන කොම්පැනි සියල්ලෙන් තමයි හොර අරක්කු පිළිබඳ ප්‍රශ්න ඔක්කොම ආවේ.”

කොමසාරිස්තුමා අවසන් වශයෙන් පෙන්වා දුන්නේ ඉතා වැදගත් කාරණාවකි. වෙළඳපොළට දැනෙන්නට 7% ක නිෂ්පාදන ධාරිතාවක් පෙන්වන ඒ ආයතන සියල්ලෝම මෙතෙක් කල් වැඩිපුර නිපදවා ඇත්තේ හොර පාරෙන් විකුණන මත්පැන්ද… ඒ පිළිබඳ අපට ලොකු සැකයකි. මේ තිබෙන දත්ත අනුව එය එසේ වූ බවට අපට පැහැදිලිය. අප අවසන් වශයෙන් ද ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසුවෙමු…

● “ස්ටිකරය නිසා සුරාබදු ආදායමට සැලකිය යුතු තරමේ වාසියක් වී ද…?”

“මං හිතන්නේ වැදගත්ම කාරණාව ඒකයි. 2022 අවුරුද්දේ මැද හරියේ රටේ සමාජ ආර්ථික බිඳවැටීමක් වුණ නිසා ගණනය කිරීම දුෂ්කරයි. ඒ වුණාට සමස්තයක් වශයෙන් ගත්තා ම මේ කාලය තුළ සමස්ත නිෂ්පාදනය 11%කින් වැඩි වෙලා. ආදායම 19%කින් වැඩිවෙලා.

ඇත්තම කියනවා නම් මේ අවුරුද්දේ අපට දීලා තියෙන ටාගට් එක රුපියල් බිලියන 180යි. මේ වෙනකොට අපි බිලියන 150ක් උපයලා. තව මාසයක් ඉතිරියි. හැබැයි ලබන අවුරුද්දට අපිට තියෙනවා ටාගට් එකක් බිලියන 214 ක් උපයන්න… එතෙන්ට යන්න පුළුවන්ද බැරිද කියන එක ගැන අපිට වෙනම කතා කරන්න වෙනවා…

සාකච්ඡා කොට
සකස් කළේ
බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment