හොර නඩයේ වීසා මගඩියෙන් රටට ඩොලර් බිලියන 1.2ක් පාඩු වුණා

102

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගම්පහ දිවිදෙන රණවිරු බලවේගයේ සමුළුවේදී කියයි
චම්පික, හකීම්, සුමන්තිරන්, රංජිත්, අශෝක හා නීතිඥ පිරිස

ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු කීමෙන් ලැබුණු ප්‍රතිඵලයක් මේ…

දැවැන්ත මූල්‍ය වංචාවකට ඉඩදෙමින් ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ හොර නඩය VFS ආයතනයට රටේ වීසා නිකුත් කිරීම ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් තොරව ලබාදීම නිසා ඩොලර් බිලියන 1.2ක් පාඩු වූ බවත් මේ හොර මගඩිය හෙළිදරව් කළේ තමා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හොර නඩයේ වීසා මගඩියෙන් රටට ඩොලර් බිලියන 1.2ක් පාඩු වුණා

මේ හොර මගඩිය ගැන රවුෆ් හකීම්, සුමන්තිරන්, චම්පික රණවක, රංජිත් මද්දුම බණ්ඩාර, අශෝක් අබේසිංහ, සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම එකට එකතු වී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම නිසා එය තහනම් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් ලබා දුන් බවද විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගම්පහ පැවැති දසවැනි දිවිදෙන රණවිරු බලවේගයේ සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් සමුළුව ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

මේ සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම හොරු ඇල්ලූ දෙවැනි අවස්ථාවයි. කයිය නායකයෝ මේ ගැන කතා නොකළත් සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් පෙනී සිටියා. ෆයිල් පෙන්න පෙන්න කයිය ගහන කයිය නායකයෝ මෙහිදී කට වහන් සිටියා. මේ බොරුකාරයන්ට

නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සමගි ජන බලවේගය ළඟ බොරු වැඩ නැහැ. ක්‍රියාවෙන් වැඩ පෙන්වනවා. VFS ගනුදෙනු නිසා රටට අහිමි වූ මුදල්වලින් පාසල් සංවර්ධනය කරන්න හැකියාව තිබුණා. මානුෂීය මෙහෙයුමක් හරහා මෙරට ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගත්තත් මේ වන විට රට මූල්‍ය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව ඇත. බංකොලොත් රටේ පාලකයෝ ජනතා දේපල තමන්ගේ පෞද්ගලික දේපල මෙන් භාවිත කරනවා. හොරකම මැරකම දූෂණය නිසා රට මූල්‍ය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බැවින් ඒ මානුෂීය මෙහෙයුමේ දෙවැනි පියවර ආරම්භ කර මූල්‍ය ත්‍රස්තවාදීන් නීතිය හමුවට ගෙනවිත් එම සොරා කෑ මුදල් නැවත රටට ලබා ගත යුතුයි. මේ දෙවැනි මානුෂීය මෙහෙයුමෙන් පවුල්වාදී හොර පවුල් නීතිය හමුවට ගෙනවිත් යුක්තිය සාධාරණත්වය ඉටු කර නැවත රටෙන් සොරා කෑ සම්පත් ලබාගත යුතුයි. ඒ ඉලක්කය කරා යෑමට සහාය අවශ්‍යයි. ඊට අදාළ පදනම මේ වන විටත් තබා ඇත.

සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයේ නීති⁣ඥයෝ සහ විශේෂඥයන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් විනිසුරුවන් 1/4ක තීන්දුවක් ලබාගෙන ගෝඨාභය, මහින්ද, බැසිල් ප්‍රමුඛ පිරිස රට බංකොලොත් කළ බවට තීන්දුවත් ගත්තා. එසේම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තහවුරු වූවා. මේ වන විට රටේ මූලික අයිතිවාසිකම් තීන්දු පවා අවලංගු තීන්දු ලෙස සලකන රාජ්‍ය පාලනයක් තිබේ. මොවුන් මෙවැනි ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට සැඟවී වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු විවේචනය කරන සියලු‍ දෙනාම එම තීන්දුවට අදාළ වරදේ හවුල් කරුවන්ය.

සමගි ජන බලවේගය දේශපාලන දඩයම් කරන්නේ නැහැ. නීතිය උත්තරීතර කර නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරනවා. දඩයම් දේශපාලනයක් නැහැ. ආරක්ෂක අංශ දේශපාලනඥයන්ගේ ග්‍රහණයට ලක්ව ඇත. එය මැර දේශපාලනයේ කොටසකි. බැවින් ඒ සංස්කෘතිය වෙනස් කරනවා. කුඩු ජාවාරම මත්ද්‍රව්‍ය ජාවාරම ආදිය මිනිමැරුම් දූෂණ වංචා සොයාගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගන්වා. මේ සදහා අප රටේ ඇත්තේ ප්‍රමාදකාරී ක්‍රමවේදයකි. එනිසා එමගින් යුත්තිය හා සාධාරණත්වය ඉටු නොවීමේ

ගැටලු‍වද විසඳනවා. මේ වන විට ලෝකයේ යුද තාක්ෂණය පවා දියුණු වී අපරාධකරුවන් අල්ලා ගැනීමේ තාක්ෂණය පවා දියුණු වී ඇත. ඒ සඳහා අපද යොමු විය යුතුයි. මේ ක්ෂේත්‍රයේ වැඩ කරන අයට ඉහළ වේතනයක් ලබාදිය යුතුයි. එවිට ඔවුන්ට ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව ලැබෙනවා.

මෙහිදී කතා කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි මහතා මෙසේ පැවැසීය.

අපි අවුරුදු 30ක් යුද්ධ කරලා ලේ දන් දීලා යුද්ධය ජයග්‍රහණය කරලා 2009දී අපි අරන් දුන්නා. ඒ යුද ජයග්‍රහණය අරන් දුන්නට පස්සේ හමුදා විරුවා හමුදාකාරයා කළා. දේශපාලනයේ හිටපු සමහර උදවිය අපේ විරුවෝ පාරවල්වල දැම්මා එළවළු විකුණන්න. පාරවල්වලට දැම්මා අතුගාන්න. එහෙමත් නැත්නම් සමහර බබාලට රේස් පදින්න ගෝල්පේස් පිට්ටනියේ වැලි කොට්ට ගහන්න වුණා මේ අහිංසක රණවිරුවන්ට.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා

අද ජනාධිපතිතුමා කියනවා වාරණයට ලක්වෙලා තියෙන පොලිස්පතිතුමා නැත්නම් මේ රටේ අපරාධකරුවන්ගේ සැණකෙළි තියෙනවලු. පහුගිය ටිකේ ඒ සැණකෙළි අපි දැක්කා සජිත් නායකතුමා ඉදිරියේ මා ඔබතුමන්ලට සපථ කරනවා පාතාලය කියන වචනය මේ රටින් තුරන් කරනවා. මිනිසුන්ට නිදහසේ ජීවත්විය හැකි සමාජයක් මේ රටේ ගොඩනඟනවා. වාරණයට ලක්වූ පොලිස්පතිතුමාගේ පත්වීමම අනීතිකයි. අනවශ්‍ය විදිහට ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කළා.

විශ්‍රාමික මේජර් ජෙනරාල් නිශ්ශංක රණවක මහතා

අපිත් එක්ක හිටපු සමහර පොලිස් නිලධාරීන් ජේ.වී.පී. එක්ක ඉන්නවා. ඔබ දන්න දන්න අයට ගිහින් කියන්න මේ ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක සම්බන්ධ වෙන්න එපා කියලා. දැන්වත් හමුදාවේ ඉන්න හමුදාවේ ඇතුළට ගිහිල්ලා දැනට ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්. මේ අයට වුවමනා කරලා තියෙන්නේ හමුදාවත් පොලිසියත් දියාරු කරන්නයි. ජනතා විමුක්ති පෙරමුණ බුද්ධාගම පළිගන්නේ නැහැ. එක දිස්ත්‍රික්කයක් හෝ දිනුවොත් ගෙයක් ගෙයක් ගානේ ගිනි තියයි.

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා

අපිට දැන්වෙලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක එකතුවෙලා දෙවැනි මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වෙන්න. කෝට් ඇඳගත්තු ත්‍රස්තවාදීන්ට විරුද්ධව කටයුතු කරන්න වෙලා. අපිට හොඳ නායකත්වයක් ලැබිලා තියෙනවා දේශපාලන වශයෙන්. ආර්ථිකය හදන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ සජිත් එක්කයි. ලක්ෂ 85ක ඡන්ද ප්‍රමාණයක් අපේ සජිත් ප්‍රේමදාස මහත්තයාට අරන් දිය යුතුයි. අපිට අවශ්‍ය ජනාධිපති කෙනෙක් නොවෙයි, ජන නායකයෙක්.

ගම්පහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment