හොර පාරෙන් සිදුවන විදේශ විනිමය ගනුදෙනු

1099

ඉතිහාසයේ බලවත්ම විනිමය අර්බුදය

 මේ වන විට අප රට මුහුණ දී සිටින්නේ සිය ඉතිහාසයේ ගැඹුරුම විදේශ විනිමය අර්බුදයටය. මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබා ගැනීම හැර දේශීය විසඳුමක් නොමැති බව ඇතැම් ආර්ථික විද්වතුන් පවසමින් සිටී. එහෙත් රජයේ ආර්ථික බලධාරීන් තවමත් දැඩිව මුල්‍ය අරමුදලේ සහාය නොමැතිව මේ විනිමය අර්බුදය කළමනාකරණය කිරීමට යොමුව සිටී. ඒ බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන් විසින් මේ සම්බන්ධයෙන් දක්වන ලද අදහස් වලින් ද පැහැදිලිවන දෙයයි. කෙසේ වෙතත් විදේශ විනිමය අර්බුදය බලවත් වෙමින් විදෙස් ණය පියවීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයට පත්ව ඇති බව ද පෙනේ. අපගේ හොඳටම පහත වැටී ඇති විදේශ විනිමය සංචිත තත්ත්වය සහ ඉදිරි කාලය තුළ පියවීමට තිබෙන විදෙස් ණය වගකීම් අනුව මේ බව පැහැදිලි වේ.

 විනිමය පේ‍්‍රෂණවල වැදගත්කම

 විදේශ රැුකියා කරන අපේ ශ‍්‍රමිකයන් මෙරටට එවන මුදල් අපගේ ඉතාමත්ම වැදගත්ම විදේශ විනිමය ලැබීම් මාර්ගයකි. මහ බැංකුව පවසන පරිදි පසුගිය වසර දහය තුළ ශ‍්‍රීලංකාවේ ගෙවුම් තුලනයෙහි විදේශ විනිමය ලැබීම් සඳහා දායක වූ විශාලම තනි මූලාශ‍්‍රය වන්නේ මේ විනිමය පේ‍්‍රෂණ මුදල්ය. අප රට මේ මොහොතේ ණය බරින් මිරිකී සිටින නිසා මෙම පේ‍්‍රෂණ රටට ණය බරක් ඇති නොකරන විදේශ ලැබීම් මාර්ගයක් වීමත් ඉතාමත් වැදගත්ය.

 විනිමය පේ‍්‍රෂණ අඩු වීම

හොර පාරෙන් සිදුවන විදේශ විනිමය ගනුදෙනු
මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්

මෙවැනි ඉතා වැදගත්කමක් තිබුණත් පසුගිය කාලයේ දී විශේෂයෙන් ඉකුත් ජුනි මාසයේ සිට අපේ විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම් අඩු වී ඇත. එය පසුගිය මාසවල දිගටම සිදුවූ දෙයකි. මේ ගැන මහ බැංකුවේ ද අවධානය යොමුව ඇත. මේ අනුව 2020 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී මෙරටට ලැබුණු විදේශ විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණය සියයට 9.3 කින් අඩු වී ඇත. මේ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 5049 ක් වූ 2020 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී මෙරටට ලැබුණු විදේශ විනිමය ප‍්‍රමාණය 2021 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 4577 ක් දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 472 කින් අඩු වී ඇත. එහෙත් මේ අඩු වීම වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පසුගිය ජුනි මාසයෙන් පසුව වන නිසා මෑත මාසවලදී මේ අඩුවීම බොහෝ වැඩි වී ඇත. මේ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ පමණක් මේ අඩු වීම ගිය වසරේ (2020* සැප්තැමබර් මාසයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක පමණ විශාල අගයකි. එය සැප්තැම්බර් මාසයේ විනිමය පේ‍්‍රෂණ සියයට 49.7 කින් පහත වැටීමකි. බලවත් වූ විදේශ විනිමය අර්බුදය හමුවේ මෙසේ කාලයක් තිස්සේ අපගේ ස්ථාවර විදේශ විනිමය ආදායම් මාර්ගයක් වූ විනිමය පේ‍්‍රෂණ මෙලෙස කැපී පෙනෙන ලෙස තවත් අඩුවීම බලවත් අහිතකර තත්ත්වයකි. මෙයට හේතු සොයා බලා වහාම පිළියම් යෙදීම අවශ්‍ය වේ.

හොර පාරෙන් සිදුවන විදේශ විනිමය ගනුදෙනු


හොර පාරෙන් සිදුවන  විදේශ විනිමය හුවමාරුව

 මහ බැංකුව මේ ප‍්‍රශ්නය ගැනම සාකච්ඡුා කිරීමට පසුගිය සෙනසුරාදා (04) මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එහිදී මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පසුගිය මාසයක පමණ කාලයේ දී විදේශ විනිමය පේ‍්‍රෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 300 කින් පමණ අඩු වී ඇති බව කීවේය. මේ ප‍්‍රමාණයේ රුපියල් වටිනාකම රු. කෝටි 7200 ක් පමණ වේ. විදේශ විනිමය පේ‍්‍රෂණ අඩු වීමට හේතුව ඇත්ත වශයෙන්ම අපගේ විදේශ සේවා නියුක්තිකයන් මෙරටට එවන මුදල් ප‍්‍රමාණය අඩු කිරීම නොව ඔවුන් එම මුදල් අවිධිමත් මාර්ග ඔස්සේ එවීමයි. ඒ බව මහ බැංකුව ද පිළිගන්නා කාරණයකි. ඒ බව මහ බැංකු අධිපතිවරයා පසුගිය මාධ්‍ය හමුවේ දී මෙසේ කීවේය.

 ‘අපි දැක්ක පසුගිය මාසය තුළ දී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක පමණ අඩු වීමක් වෙලා තියෙනවා. එයට එක හේතුවක් ලෙස අප සිතන්නේ රට යන සංඛ්‍යාව අඩු වීම වෙන්න පුළුවන්. ඒ හේතුව ඉතාමත් බරපතළ ලෙස නැති වුණත් විශේෂයෙන්ම මෙහෙ විවිධ ක‍්‍රමවේද ඔස්සේ මුදල් හුවමාරු කරගන්න නිසා රු. 200 ට තියෙන විනිමය අනුපාතය රු. 240 කින් පමණ සමහර තැන් වලදී ගෙවන බව අපට තේරෙනවා. ඒ නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියල අපි දැන් තීරණය කරලා තියෙන්නේ.’

 මේ ගැන පසුගියදා මහ බැංකුවේ මෑත කාලීන ආර්ථික ප‍්‍රවණතා වාර්තාවේ මෙසේ සඳහන් වේ. ‘මුදල් පේ‍්‍රෂණය කිරීම සඳහා අවිධිමත් මාර්ග භාවිතා කිරීම ඉහළ යෑම යම් ප‍්‍රමාණයකට හේතු වීමෙන් 2021 වසරේ ජුනි මාසයේ සිට විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ සැලකිය යුතු ලෙස පහළ ගියේය’. මේ නිසා බැංකු ක‍්‍රමයෙන් බැහැරව හවාලා සහ උන්ඩියල් වැනි අවිධිමත් මාර්ග ඔස්සේ විදේශ විනිමය හුවමාරුව විශාල වශයෙන් සිදුවෙමින් තිබේ.

 මහ බැංකුවේ උපායමාර්ග

 මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට ඇති පිළියම් මොනවාද? අප නම් සිතන්නේ අප මෙහි හේතු සොයා බලා එම සැබෑ හේතූන්වලට පිළියම් යෙදිය යුතුව ඇති බවයි. එසේ නැතුව ඵලයට පිළියම් යෙදීමෙන් පමණක් මේ ප‍්‍රශ්නයට තිරසාර විසඳුමක් නොලැබේ. මේ අනුව අප සිතන්නේ මෙයට සැබෑ හේතුව අප විසින් රු. 200 ක පමණ මට්ටමේ පවත්වාගෙන යන නිල විනිමය අනුපාතය නිසා විදෙස්ගත ශ‍්‍රමිකයන්ට ලැබෙන ප‍්‍රතිලාභ අඩු වීමයි. මූලික වශයෙන්ම එය නිවැරදි කරගත යුතු වේ. එසේ නැතහොත් අවිධිමත් ක‍්‍රමවලින් ලැබෙන වාසිවලට සමාන වාසි බැංකු ක‍්‍රමයෙන් මුදල් එවන විටද ඒ අයට ලැබෙන ක‍්‍රියාමාර්ග හඳුන්වා දිය යුතු වේ. ඒ සඳහා කලින් මෙරටට එවන ඇමෙරිකානු ඩොලරයකට රු. 2ක වැඩිපුර අගයක් දුන් බව අපි දනිමු. එය කිසිදු වැඩක් වූයේ නැත. දැන් ඒ මුදල රු. 10 දක්වා තවත් රු. 8 කින් තවත් වැඩි කර ඇත. එහෙත් ප‍්‍රශ්නයේ බරපතළකම අනුව එය ද ප‍්‍රමාණවත් නොවනු ඇති බව අපගේ අදහසයි. එනම් විදේශ විනිමය කළු කඩයේ ඇමෙරිකානු ඩොලරයක් රු. 240 කට හුවමාරු වෙමින් පවතින බව මහ බැංකු අධිපති කබ්රාල් මහතාම පවසයි. එසේ නම් වැඩිපුර රුපියල් දහයක් දුන්නත් මෙරටට ඩොලර් එවන අයට ලැබෙන්නේ රු. 210 ක් පමණ අගයකි. එසේ නම් මේ අගය සහ රු. 240 ක අගය අතර විශාල පරතරයක් තිබේ. එසේ නම් වැඩි ප‍්‍රතිලාභ ලැබෙන තැනට යොමු වීම ඕනෑම කෙනෙක් කරන දෙයකි. ඒ සඳහා මහ බැංකුවේ උපායමාර්ගය වී ඇත්තේ මෙම වැඩිපුර ඩොලරයකට දෙන රු.10 ට අමතරව වෙනත් ප‍්‍රතිලාභ ද විදෙස් සේවා නියුක්තිකයන්ට ලබා දීමයි. ඒ මොනවාද? එනම් විදෙස්ගත සේවා නියුක්තිකයන් සඳහා ඔවුන් විසින් මෙරටට පේ‍්‍රෂණය කරන විදේශ විනිමය වටිනාකම මත පදනම් වූ ප‍්‍රතිලාභ ක‍්‍රමයක් ස්ථාපිත කරන බව මහ බැංකුව පසුගිය නොවැම්බර් 10 වැනිදා නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කළේය. එහි මෙසේ ද සඳහන් වේ.

හොර පාරෙන් සිදුවන විදේශ විනිමය ගනුදෙනු



 ‘ශ‍්‍රී ලංකා මහා බැංකුව විසින් කම්කරු අමාත්‍යංශය, විදේශ රැුකියා ප‍්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, දේශීය බැංකු අංශය සහ අනෙකුත් සියලූම අදාළ පාර්ශවකරුවන් සමග එක් වී විදේශයන්හි සේවා නියුක්ත ශ‍්‍රී ලාංකිකයන්ගේ සුභසිද්ධිය සඳහා වන නව දිරිගැන්වීමේ ක‍්‍රමවේදයක් හඳුන්වා දීමට අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටී. මේ ක‍්‍රමවේදයට විදේශයන්හි සේවා නියුක්ත

 ශ‍්‍රී ලාංකිකයන් සඳහා වන විශ‍්‍රාම වැටුපක්, විශ‍්‍රාම ප‍්‍රතිලාභ හා හදිසි අනතුරු, ජීවිත රක්ෂණ ප‍්‍රතිලාභ මෙන්ම අඩු පොලී නිවාස ණය හා ස්වයං රැුකියා සඳහා වන ණය ලබාදීම ඇතුළු බැංකු පහසුකම් සහ වඩා වැඩි අගයෙන් යුත් තීරු බදු සහන ලබාදීම යනාදී අංගයන් ඇතුළත් වේ’.

 එසේම මේ සහන ලැබෙන්නේ විධිමත් මාර්ග ඔස්සේ මෙරටට විදේශ මුදල් එවන විදේශ සේවා නියුක්තිකයන්ට පමණක් බව ද මහ බැංකුව ප‍්‍රකාශ කර ඇත.

 හොර පාරෙන් විදෙස් මුදල්  හුවමාරු කළ ගිණුම් 20ක් අත්හිටුවයි

 අවිධිමත් මාර්ග ඔස්සේ විදේශ මුදල් හුවමාරු ගනුදෙනුවලට සම්බන්ධ වූ බවට හඳුනාගත් බැංකු ගිණුම් 20 කට අධික ප‍්‍රමාණයක් දැනටමත් මහ බැංකුව විසින් තහනම් කර ඇතැයි ඊයේ මාධ්‍ය වාර්තා කර තිබුණි. රටේ ප‍්‍රධාන පෙළේ බැංකු කිහිපයක ගිණුම් ඊට ඇතුළත් වන බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය. විධිමත් මාර්ගවලින් බැහැරව මෙරටට විදේශ මුදල් පේ‍්‍රෂණය කිරීම නීති විරෝධී බවත් ඒ පිළිබඳව මහ බැංකුව විසින් ඉතාම සුපිරීක්ෂාකාරීව සොයා බලන බවත් මහ බැංකු අධිපතිවරයා ඉකුත් සෙනසුරාදා  (4 දා) පැවැති මාධ්‍ය හමුවේදී පවසා තිබුණි. මෙසේ අවිධිමත් මාර්ග ඔස්සේ විදේශ විනිමය හුවමාරුවට පහසුකම් සලසන සහ එම මුදල් හුවමාරු කටයුතුවලට සම්බන්ධ බවට මේ තහනමට ලක්වූ ගිණුම් හඳුනාගෙන ඇති නිසා ඒවා මෙසේ අත්හිටුවීමට පියවර ගත් බව අපට දැන ගන්නට තිබේ. පිටකොටුවේ සිටින බලයලත් විදේශ මුදල් හුවමාරු ආයතන විසින් ඇමරිකානු ඩොලර් වැඩි මිලට මිලදී ගැනීම සහ විකිණීම යන ගනුදෙනුවලට යොමුව සිටින බැවින් එම කටයුතු පරීක්ෂා කිරීමට ද ශ‍්‍රී ලංකා මහ බැංකුව යොමු වී ඇති බවත් අපට තවදුරටත් වාර්තා වේ.

 විනිමය ප‍්‍රශ්නයට තිරසාර විසඳුම් අවශ්‍යයි

 මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත් කර ඇති රු. 203 ක නිල විනිමය අනුපාතයෙන් බැහැරව ඇමරිකානු ඩොලරයක් රු. 240 ක අධික මිලකට නිල නොවන පරිදි සිදුවන මෙම අවිධිමත් විදේශ වෙළෙඳ ගනුදෙනු වැළැක්වීමට ද මහ බැංකුව කටයුතු කරමින් සිටින බවද මේ අනුව අපට තවදුරටත් දැන ගන්නට ඇත. යම් පුද්ගලයෙක් යම්කිසි පෙනෙන හේතුවක් නැතුව තවත් කෙනකුගේ ගිණුමකට මුදල් දානවා නම් ඒ ගැන සොයා බලන බව සහ එවැනි ගිණුම් මූල්‍ය බුද්ධි ඒකකය හරහා තහනම් කිරීමටද හැකිවන බවත් ඉකුත් සෙනසුරාදා මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා කීවේය. එහෙත් මේවා නීතියෙන්ම කළ හැකි දේවල් නොවන බව ද අප මතක තබා ගත යුතුය. අවශ්‍ය නම් විදෙස් සේවා නියුක්තිකයන්ට තාවකාලිකව අප රටට විදෙස් මුදල් නොඑවා සිටීමට ද හැකිය. එසේම ගිණුම් සම්බන්ධ නොවන පරිදි මේ විදෙස් මුදල් එවීමට ක‍්‍රම ඇති බව ද මේ අනුව එම විදෙස් මුදල්වලට අදාළ රුපියල් ප‍්‍රමාණය මෙරට අයට ගිණුමකට නොදා මුදලින් අතට ලබාදෙන ක‍්‍රම ඇති බව ද අපට දැන ගන්නට තිබේ. ඒ නිසා මේ උපායමාර්ග තාවකාලික පිළියම් මිස මේ ප‍්‍රශ්නයට තිරසාර විසඳුම් නොවන බව ද අපට පෙනේ. මේ අනුව අපට කීමට සිදු වන්නේ හොර පාරෙන් විදෙස් මුදල් එවීමට අමතරව පොදුවේ රටේ විදේශ ඉපයුම් වර්ධනය කර ගැනීමට කෙටිකාලීන විසඳුම් මෙන්ම මැදි හා දිගුකාලීන තිරසාර විසඳුම් ද අවශ්‍ය වන බවයි. විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් මෑතකාලීනව ගත් ක‍්‍රියාමාර්ග බොහොමයක් තාවකාලික ක‍්‍රියාමාර්ග මිස දීර්ඝකාලීන ප‍්‍රතිකර්ම නොවන බවට බොහෝ ආර්ථික විශේෂඥන් ද අදහස් දක්වා ඇත.

 ජාත්‍යන්තර ස්වෛරීත්ව  බැඳුම්කර වාර්තා කිරීම

 2020 ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව රටේ විදේශ ණය බර ගණනය කිරීම සම්බන්ධයෙන් වූ සංඛ්‍යානමය ගැටලූවක් දැකගත හැකිය. එනම් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (International Sovereign Bonds/ ISB) වල වටිනාකම මුහුණත අගයෙන් වාර්තා කිරීම වෙනුවට සැලකිය යුතු ලෙස පහත වැටී ඇති වෙළඳපොළ මිලට වාර්තා කිරීම සහ දේශීය ආයතන සතු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අගය විදේශ ණය ලෙස නොසලකා දේශීය ණය ලෙස සැලකීමයි. මහ බැංකුව විසින් සිදු කරන ලද මේ ගණනය කිරීම නිසා විදේශ ණය වගකීම අඩුවෙන් තක්සේරු වේ. එනම් මේ නිසා වන්නේ රටේ විදේශ ණයවල නොපියවූ වටිනාකම එහි සැබෑ වගකීමට වඩා අඩුවෙන් වාර්තා වීමයි. මෙවා 2020 මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ වෙළෙඳ පොළ අගයටය. එනම් 2019 වසර අගදී ඇමෙරිකානු ඩොලර් මිලියන 14,102 ක් වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අගය 2020 වසරේ අග වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 7555 දක්වා අඩු වී ඇත. එහෙත් සත්‍ය වශයෙන්ම මේවා කල් පිරීමේ දී පියවීමට වන්නේ වෙළෙඳ පොළ අගයට නොව මුහුණත වටිනාකමටය. එය මේ අගයට වඩා බොහෝ ඉහළ අගයකි. නොපියවා ඉතිරිව ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් කොටසක් දේශීය වගකීම් ලෙස නැවත වර්ගීකරණය කළ බව ද මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවේ 147 වැනි පිටුවේ සඳහන් වේ. මේ කවර ගණනය කිරීම් සිදු කළත් මේවා කල්පිරෙන විට එහි මුහුණත අගය විදේශ විනිමයෙන්ම අපට පියවීමට සිදුවන බව ද කිව යුතුය.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 [email protected]


advertistmentadvertistment