ළමා ලොව වනසන අන්තර්ජාලය

213

දරුවන් ලෙස හඳුන්වන්නේ වයසින් නොමේරූ මානසික අතින් ඉතා සංවේදී පිරිසකි. දරුවන්ගේ ලෝකය තුළ ඔවුන් සපුරා ගතයුතු අත්‍යවශ්‍ය අවශ්‍යතා ලෙස සම වයස් මිතුරන් ඇසුරු කිරීම, ක්‍රියාකාරකම්වල නිරත වීම, ගුරුවරුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම ආදිය දැක්විය හැකිය. එම ක්‍රියාකාරකම් හරහා දරුවන් මානසික වශයෙන් තෘප්තිමත් වේ. කෙසේ නමුත් ගෙවුණු වසර දෙක තුළ පැවැති කොරෝනා වසංගතය හේතුවෙන් තම නිවාස තුළ කොටුව සිටීමට දරුවන්ට සිදුවිය.

එය ඔවුන්ගේ කායික මෙන්ම මානසික සෞඛ්‍යයට ද ගැටලුකාරී තත්ත්වයකි. නිවස තුළ සිර වූ දරුවන් අන්තර්ජාලය භාවිත කිරීමට යොමුවීම මේ තත්ත්වය හමුවේ සාමාන්‍ය විය. තවද දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්‍ෂිත කිරීම උදෙසා උපක්‍රමයක් ලෙස දුරස්ථ අධයාපන ක්‍රමය හඳුන්වාදුන් අතර එම තත්ත්වය මත ජංගම දුරකථනය, පරිගණකයට තව දුරටත් දරුවන්ට සමීප විය. නෙල්සල් මැන්ඩෙලාට අනුව “අධ්‍යාපනය යනු ලොව වෙනස් කිරීමට හැකි දරුණුව ආයුධයයි” එම කියමන තහවුරු කරමින් තම දරුවන්ගේ අනාගත යහපත උදෙසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරගෙන යෑමට අවශ්‍ය පහසුකම් සැපයීමට බහුතරයක් දෙමාපියන් පියවර ගන්නා ලදි. සිර වූ මානසිකත්වයක සිටි දරුවන් අධ්‍යාපන කාර්යයන්ගෙන් පසු මෙම උපකරණ මගින් අන්තර්ජාලයට පිවිසීම, අන්තර්ජාල ක්‍රීඩාවලට යොමුවීම, මුහුණු පොත වැනි සමාජ මාධ්‍ය භාවිතය, නන්නාඳුනන පුද්ගලයන් ඇසුරු කිරීම, අන්තර්ජාලය හරහා හඳුනාගත් පුද්ගලයන් සමඟ ප්‍රේම සබඳතා ගොඩනඟා ගැනීම ආදී හානිකර තත්ත්වයන් රැසකට යොමුව ඇත. මේ හේතුවෙන් අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහි වීම, අධ්‍යාපනයෙන් බැහැර වීම, දෙමාපියන් සමඟ ගැටුම් ඇතිකර ගැනීම් පමණක් නොව, අපරාධවල වින්දිතයන් වීමට ද දරුවන්ට සිදුව තිබේ.

ගෙවුණු කාලය තුළ පැවැති තත්ත්වය මත දරුවන්ගේ මානසික තත්ත්වය වටහා ගැනීමට දෙමාපියන් උත්සාහ කළ යුතුය. එසේම ගැටලුව මෙම උපකරණ නොව එම උපකරණ අනවශ්‍ය දෑ සඳහා භාවිත කිරීම වන අතර එම උපකරණ ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීමට දරුවන් හුරු කළ යුතුය. මේ වනවිට ලෝකය නැවත යථාතත්ත්වයට පත්වෙමින් පවතී. පාසල් අධ්‍යාපනය ආරම්භ වී ඇත. මේ අනුව දරුවන් අන්තර්ජාල භාවිතයෙන් මුදා ගැනීමට දෙමාපියන් උපක්‍රමශීලී විය යුතුය. අධ්‍යාපන කටයුතු අවසන් වූ පසු දරුවාව වෙනත් ක්‍රියාකාරකම් සඳහා යෙදවීම, සංගීතයට සවන්දීමට, පොත් කියවීමට හා ශාරීරික ක්‍රියාකාරකම්වල නියැළීමට දරුවන් හුරු කිරීම, නිතරම තම දරුවන් සමඟ කාලය ගත කිරීමට උත්සහ කිරීම හා ඔවුන්ගේ මිතුරෙකු වීමට උත්සහ කිරීම වැනි උපක්‍රම මගින් දරුවන් මෙම අනවශ්‍ය අන්තර්ජාල පරිභෝජනයෙන් මුදා ගැනීමට හැකියාව ඇත. අන්තර්ජාලයට බෙහෙවින් ඇබ්බැහි වූ දරුවකු වේ නම් එම දරුවාව මනෝ උපදේශනය සඳහා යොමු කිරීම ද ඉතා වැදගත් වේ.

අන්තර්ජාලය ඉතා හොඳ අධ්‍යාපන මාධ්‍යකි. නමුත් දරුවන්ට ලෝකය හෝ සමාජය මෙන්ම යහපත් අයහපත් දෑ පිළිබඳව ද නිසි ආකාර දැනුමක් නොමැත. ඔවුන්ව සෑම විටම මෙහෙයවීම සිදුකළ යුතු අතර ඔවුන් පිළිබඳ නිසි අවධානයෙන් සිටීම ද අත්‍යවශ්‍ය වේ. එතුළින් දරුවන්ට ඇතිවිය හැකි බොහෝ ගැටලුවලින් ඔවුන් ගලවා ගැනීමේ හැකියාව ඇත. දරුවන් පිළිබඳ අවධානයෙන් සිටීම හා ඔවුන් නිසි මාර්ගයේ ගමන්කර වීම දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ වගකීමක් පමණක් නොව, එය සමස්ත සමාජයේම වගකීමකි. ඒ මන්ද යත් අද දරුවන් හෙට වැඩිහිටියන්වන බැවිනි.

එස්. පී. පියුමි කාවින්ද්‍යා සඳගිරි

සංස්කරණය – වසන්ත ලියනගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment