ළිප ගිනි මොලවන තෙක් දිය සැලියේ.. සැපයක් යයි කකුළුවා දිය කෙළියේ

49

”ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කුමන මොහොතක හෝ පිපිරෙන්නට ආසන්න කාල බෝම්බයකි” පසුගියදා, ඉහත ප‍්‍රවෘත්තිය පළකර තිබුණේ, ලොව වැඩියෙන්ම අලෙවි වන මූල්‍ය පුවත්පත ලෙස සැලකෙන ජපානයේ භසනැැ ්ිස් (නිකී ඒසියා) පුවත්පතේයි. මේ, රටක් වශයෙන් අද අපේ ජනතාවට මුහුණ දෙන්නට සිදුව ඇති යථාර්ථයයී. මේ යථාර්ථය වසන් කරන්නට යෑම, රටට කරන හොඳක් නම් නොවේ.

70 දසකයේදී අපේ ජනතාව මුහුණ දුන් ආහාර අහේනිය හා බැඳි ආර්ථික අර්බුදයකට වඩා, දරුණු තත්ත්වයක් අද අපේ අභියසට පැමිණ තිබෙනවා.

අද අපේ ජනතාව මුහුණ දී ඇති ප‍්‍රධානතම අභියෝගය ජීවත්වීමේ අරගලයයි. මෙයට අමතරව රටක් වශයෙන් අපට මුහුණ දෙන්නට සිදුව ඇති ප‍්‍රධාන අභියෝගයන් කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවන අභියෝගය වන්නේ, අපේ රටේ විදේශ සංචිත ප‍්‍රමාණය පතුලටම බැස තිබීමයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව, දින පනහකට වසා දැමීමට රජය ගත් තීරණය, ප‍්‍රකාශයට පත්කරමින් අදාළ අමාත්‍යවරයා කර ඇති ප‍්‍රකාශය තුළින් මේ තත්ත්වය හොඳින් පැහැදිලි වෙනවා. රට විදේශ විනිමය අර්බුදයක පැටලී ඇති බවත්, රටට අත්‍යවශ්‍ය වන ද්‍රව්‍ය ආනයනය කර ගැන්ම සඳහා පවතින සීමිත විදේශ විනිමය පාවිච්චි කිරීමට සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් තෙල් මිලයට ගැන්මට විදේශ විනිමය නොමැති හෙයින් මේ තීරණය ගත් බවත් ඒ ප‍්‍රකාශයේ සඳහන් වෙනවා.

දෙවන අභියෝගය වන්නේ, ගෙවන්නට මගක් නොමැතිව, දිනෙන් දින වැඩිවෙමින් පවතින ණය කන්දරාවයි. ජාත්‍යන්තර වශයෙන් පිළිගැන්මට භාජන වී ඇති, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයන් වන ත්‍සඑජය පදදාහි, ී ්බා ඡ වැනි ආයතන ප‍්‍රකාශයට පත්කර ඇති අන්දමට, ඉතිහාසයේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාව ලබන වසරේ, ණය ගෙවාගත නොහැකි තත්ත්වයකට වැටී ඇත.

තුන්වන අභියෝගය වන්නේ, අපේ රුපියලේ අගය අවප‍්‍රමාණය වීම සඳහා ඇති බැ?රුම් පීඩනයයී. අපේ රුපියලේ නිල වටිනාකම තුළින් එහි නියම වටිනාකම දැක ගන්නට අද බැරි බව රහසක් නොවේ. අපේ රටේ විදේශ විනිමය ඉපැයීම් වලින් ¼ ක් පමණ වන්නේ විදේශගත ශ‍්‍රී ලාංකිකයන්ගේ ඉපැයීම් තුළින් ලැබෙන ආදායමයි. මෙම ආදායම් බොහෝදුරට එවීම සිදුවන්නේ නීත්‍යනුකූල නොවන මංවලින් බව කවුරුත් දන්නා කරුණක්. අපේ ආර්ථිකය මුහුණ දෙන හතරවන අභියෝගය වන්නේ, රජයේ ආදායම් පාර්ශ්වයේ අඩුවීමයි. පස්වන අභියෝගය වන්නේ, ජනතාවට අවශ්‍ය භාණ්ඩ, විශේෂයෙන් ආහාර, බෙහෙත්, ඉන්ධන, පොහොර ආදිය ආනයනය කිරීමට රජයට ඇති හැකියාව අඩුවෙමින් පැවතීමයි. මේ ගැටලූව අපේ විදේශ විනිමය හිඟකම හා බැඳුනක්.

හයවන අභියෝගය වන්නේ, රටේ ජනතාවට ඉදිරියේදී අවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය පිළිබඳ හිඟයක් ඇතිවීමට ඇති අවදානමයි. දැනටමත් රටපුරා විවිධ ආහාර ද්‍රව්‍ය සඳහා, මෑත කාලයක අප නොදුටු ලෙසින් පෝලිම් යුගයක් ආරම්භ වී තිබීම දකින්නට තිබෙනවා. පොහොර පිළිබඳව දුර දැකීමකින් තොරව ගෙන ඇති කලබල තීරණ තීන්දු හේතුවෙන්, ඉදිරි කාලවලදී ආහාර ද්‍රව්‍ය පිළිබඳ අස්වැන්නේ ලොකු අඩුවීමක් අපේක්ෂා කෙරෙනවා. මේ පසුබිම තුළ විශාල ආහාර හිඟයක් පිළිබඳව අනාවැකි පළවෙමින් තිබෙනවා. හත්වන අභියෝගය වන්නේ, ජනතාවට දරාගත නොහැකි තරමට භාණ්ඩ මිල ඉහළ යෑමයි. රටක් ලෙස අප මුහුණදී ඇති මේ අභියෝගයන් ගැන, අපේ අභියසට පැමිණ ඇති මේ ඛේදවාචකයන් ගැන නිසි ලෙස අවබෝධ කරගෙන, වගකීමෙන් යුතුව ඒවා අමතන්නට ගෙන ඇති උත්සාහයන්, මේ අයවැය තුළින් දැකගන්නට නැහැ. ජනතාව මුහුණදී ඇති ජීවන අරගලය මෙන්ම රටට ආහාර පාන සපයන සහ රටට ආදායම් ගෙනදෙන ජනතාව, තම නිෂ්පාදන කටයුතුවලදී මුහුණදී සිටින අනේකවිධ ප‍්‍රශ්න ගැන සංවේදී වෙමින් ඒ සඳහා පිළියම් ලබාදීමටද කිසිදු ඉදිරිපත්වීමක් මේ අයවැය තුළින් සිදුවී නැහැ.

මේ අයවැයේ ආදායම් පාර්ශ්වය සහ වියදම් පාර්ශ්වය අතර ඇති පරතරය බිය ගෙනදෙන තත්ත්වයක්. අනතුරුදායක තත්ත්වයක්. රටට ආදරය කරන ඕනෑම පුරවැසියෙකුට කම්පනය ගෙනදෙන තත්ත්වයක් මෙය.

මහබැංකුවේ දළ දේශීය වත්කම් ප‍්‍රමාණය, අගෝස්තු මාසය අවසානය වන විට රින තත්ත්වයකට බැස තිබීම ගැන මාධ්‍ය වාර්තාද පළවී තිබෙනවා. මහ බැංකුවේ විදේශ විනිමය වගකීම්, විදේශ වත්කම් ප‍්‍රමාණයට වඩා ඉක්මවා ගිය විට මේ රින තත්ත්වය ඇතිවෙනවා.

දකුණු ආසියාවේ, අපේ කලාපයේ අපට පිටුපසින් සිටි බංග්ලාදේශය ඇතුළු සියලූ රටවල් දුර දැක්මකින් යුතුව, තම රටවල ආර්ථිකය මෙහෙයවීම හේතුවෙන් ඔවුන් සියලූ දෙනා අපව පසුකර ඉදිරියට යමින් සිටිනවා. කොවිඞ් වසංගතය මධ්‍යයේත් ඇෆ්ගනිස්තානය හැර අනෙක් රටවල් සියල්ලම, තම සංචිත වර්ධනය කරගෙන තිබෙනවා. මෙවන් පසුබිමක අප පසුවෙද්දීත්, අපේ වගකිව යුතු උදවියගේ ක‍්‍රියාකාරීත්වය සහ හැසිරීම සලකන කල මගේ සිහියට නැගෙන්නේ ලෝ වැඩ සඟරාවේ එන කවියක්.

”ළිප ගිනි මොලවන තෙක් දිය සැලියේ
සැපයක් යයි කකුළුවා දිය කෙළියේ ”

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මෙවැනි අවස්ථාවලදී ජනතාවගේ ජීවිතවලට බෙහෙවින්ම බලපාන ආර්ථිකමය තීන්දු තීරණ ගැන්මේදී ජනතාවගේ අදහස් තේරුම් ගනිමින් ඒ තීන්දු තීරණ ගැන්ම සිදුවිය යුතු වෙනවා. මේ ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වන රටවල දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත්ව සහ තිරසාරව පැවතීම අපට දැක ගන්නට පුළුවන්. මේ පිළිබඳව හොඳම නිදසුන් ලෙස මට කල්පනා වන්නේ නෝඩික් සහ ස්කැන්ඩිනේවියානු රටවල්. 1932 පටන් අපේ රටේ ජනතාව සර්වජන ඡන්දය පාවිච්චි කරනවා. 1947 පටන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්ති විඳිනවා. දැන්වත් අපේ සමාජය වඩාත් වගකීමකින් යුතුව රට ගැන කල්පනා කළ යුතුව තිබෙනවා.

පනස් ගණන්වලදී ආසියාවේ ස්විට්සර්ලන්තය වන බවට සිහින දුටු ශ‍්‍රී ලංකාව අද වැටී ඇති තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන ඉදිරිය බැලිය යුතුව තිබෙනවා.

දේශපාලන න්‍යාය ධර්ම පසෙක දමා, ජවහර්ලාල් නේරුගේ ඉන්දියාවත්, මා ඕ ගේ චීනයත්, හෝචිමින් ගේ වියට්නාමයත් ප‍්‍රායෝගික මං තුළින් ජනතාව පොහොසත් කරන මං සොයනවා. රට ඇතුළේ ගැටුම් සහ අසල්වැසීන් සමග තිබූ ගැටුම් නිමාකර ගනිමින්, තුන්වන ලෝකයේ රටක්ව තිබූ සිංගප්පූරුව පළමුවන ලෝකයේ රටක් බවට පත්වෙමින්, ලොව ඉහළම ඒක පුද්ගල ආදායම ලබන රටක් ජනතාවට උරුම කර දී තිබෙනවා. අපිත් දැන් පන්ති අරගල, භාෂා අරගල, ජාති අරගල, ආගම් අරගල, කුල අරගල ඇතුළු සියලූ පටු බෙදුම්වාදී අරගලවලට සමුදීලා, විවිධත්වය තුළ එකමුතුව ගොඩනගා ගත යුතුව තිබෙනවා. ඉතිහාසයේ වැරදිවලින් පාඩම් ලබාගෙන, නිවැරදි මගට රට ප‍්‍රවේශ කළ යුතුව තිබෙනවා. ඒ සඳහා රටේ සියලූ පාර්ශ්ව, තිර අදිටනක් ඇතිකරගෙන දායකත්වයදීම තවදුරටත් ප‍්‍රමාද නොකරමු.

advertistmentadvertistment