ෆාදර්ස් ඩේ, මදර්ස් ඩේ, වැලන්ටයින්ස් ඩේ සහ මේ ඩේ (2)

1211

“රටවැසි පෙම්වතුන් දැන් ඉතිං නැගිටියව්
ලව් එකේ නාමයෙන් එක් වෙයව්.”

මැයි දිනය පිළිබඳ අප සතු අර්ථ නිරූපණයේ පළමුවැනි කොටස ඊයේ (04) මේ තීරුවෙහි පළවිය. අද අප කතා කරන්නේ එහි ඉතිරි ටිකය. මෙවර මැයි දිනයේදී ස.ජ.බ. රැලිය පැවැත්වෙන විට එම පක්ෂයේ සභාපති වූ සරත් ෆොන්සේකා සහ එම පක්ෂයේ සාමාජිකයකු වූ හරීන් ප්‍රනාන්දු අතර ආරවුලක් ඇති විය. ඉන් කෝපයට පත් සරත් ෆොන්සේකා හරීන් ගේ නරක තැනින් ඇල්ලූ බවත් හරීන් කුණුහරුප වැසි වැස්ස වූ බවත් කියනු ලැබේ. එහා පැත්තේ සිටි සජබ නායක සජිත් ප්‍රේමදාස මෙය සියැසින්ම දැක්කේය. සජිත් තම ගෝලයන්ගේ හැසිරීම හදාගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. නැත්නම් පොහොට්ටුවේ කට්ටිය දැනට ගහ මරා ගන්නා ආකාරයෙන් ඔහුගේ පක්ෂය ද ගුටි කෙළිවලට සම්බන්ධ වීමට ඉඩ තිබේ. සජිත් ගේ පියා වූ ආර්. ප්‍රේමදාස අතිශය විනයවත් නායකයෙකි. 88, 89 සිද්ධීන් අමතක කර දමා ආර්. ප්‍රේමදාස ගැන විතරක් කතා කරන විට ඔහු තරම් මේ රටට වැඩ කළ මෑත කාලීන දේශපාලනඥයෙක් තවත් නොසිටි බව නිර්භයව කිව හැකිය. ඔහු මේ රටේ දිළිඳු ජනතාව සහ පහළ මධ්‍යම පංතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළේය. ජනසවිය ඔහුගේ අදහසකි. ඉන්පසු බලයට පත්වූ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කළේ ජනසවියේ නම සමෘද්ධි යනුවෙන් වෙනස් කිරීම පමණි. ගම් උදාව ද තනිකරම ආර්. ප්‍රේමදාසගේ අදහසකි. ඉන්පසු පත්වූ කිසිදු ආණ්ඩුවකට අගමැති ප්‍රේමදාස සහ ජනාධිපති ප්‍රේමදාස දුප්පතුන් වෙනුවෙන් ඉදිකළ නිවාස ප්‍රමාණය හදා ගැනීමට බැරි විය. පාසල් දරුවන්ට නොමිලේ පොත් දීමටත්, නොමිලේ නිල ඇඳුම් දීමටත් එරෙහිව එජාප ආණ්ඩුව තුළ විරෝධයක් මතු වූ අවස්ථාවේදී ප්‍රේමදාස මහතා විශාල ගල් කන්දක් සේ එම විරෝධය සමග ගැටී එය මැඬ පැවැත්වීය. මේ සියලු කරුණු අතර ආර්. ප්‍රේමදාස ඉතා විනයවත් නායකයෙක් විය. ඔහු ඉදිරිපිට දී ගුටි කෙළගත් කිසිවෙක් එජාප ඉතිහාසයේ නැත. කිසියම් ගුටි කෙළියක් සිදුවීද, එය ආර්. ප්‍රේමදාසගේ පහර දීමකට ලක්වීමෙන් හටගත් ඒක පාර්ශ්වික සිද්ධියක් පමණි. ප්‍රේමදාස ආණ්ඩුව ජවිපෙ ය මට්ටු කළේ ඇයි? ජවිපෙ ය ඔහු ගොනාට අන්දවා එතැනින් නොනැවතී හංවඩු සහ ලාඩම් යන දෙකම ගැසීමට උත්සාහ කළ හෙයිනි. එම මර්දනයේ ස්වභාවය පිළිබඳව තාක්ෂණික ගැටලු ඇත. එම මර්දනය බෙහෙවින් අමානුෂික ය. එයට ප්‍රධාන හේතුව වනුයේ එම මර්දනය ජනාධිපති ප්‍රේමදාස අතින් ගිලිහී රන්ජන් විජේරත්න අතටත්, ප්‍රේමදාස උඩුගම්පළ අතටත්, යුද හමුදාව අතටත්, යුද හමුදාවේ ඇතැම් මෘග කොටස් අතටත්, ප්‍රා. සංවිධානය අතටත් යෑමය. මේ තීරුව ලියන අතර අපි නිතරම අතුරු කතා කියමු. ඒවා පීල්ලට අදාළ කතා නොවුණත් පීල්ලට එහා පැත්තෙන් තිබෙන දුම්රිය වේදිකාවට අදාළ කතා ය. ඒවා අප ලියන්නේ ජනතාවට වැඩිදුර කරුණු සිහිපත් කර දෙනු පිණිස ය.

මේ රටේ කම්කරු පංතියක් සිටින බව ජනාධිපති ප්‍රේමදාස තරයේ විශ්වාස කළේය. හැබැයි මේ කම්කරු පංතිය එක්දහස් නවසිය පනස් ගණන්වල සිටි කම්කරු පංතියට වඩා අතිශයින් වෙනස්ය. එක්දහස් නවසිය පනස් ගණන්වල සිට එක්දහස් නවසිය අසූ ගණන්වල මුල භාගය දක්වා මේ රටේ සිටි කම්කරු පංතියෙන් වැඩි දෙනා බීඩි සුරුට්ටු ගඳ වහනය වන, කසිප්පු ගඳ ගහන ඉතා ඉක්මනින් කෝප වී කුණුහරුප කියමින් කඩු කිනිසි සොයන හඩු පෙරාගත් කණ්ඩායමකි. විවෘත ආර්ථිකයෙන් පසු මේ කම්කරු පන්තියේ පිට පොත්ත පිරිසිදු විය. තවත් කල් යන විට ඔවුන්ගේ මතවාදය ද Modern විය. අද සිටින කම්කරු පන්තියේ 95% ක් අතම Smart Phone තිබේ. ඔවුහු යූ ටියුබ් කමින්, ෆේස්බුක් පානය කර ඩේටාවලින් ස්නානය කරති. පනස් ගණන්වල සිට 80 ගණන් දක්වා සිටි කම්කරු පංතිය දැන සිටියේ “සා දුකින් පෙළෙන වුන් දැන් ඉතිං නැගිටියව්” යන විධානය පමණි. සා දුකින් පෙළෙන එකාට කෙළින් සිට ගැනීම සඳහා කෑමට යමක් අවශ්‍ය බව එකල කම්කරු පන්තියේ කුස දැන සිටියද ඔළුව දැන සිටියේ නැත. එකල කම්කරු පංතිය ඉපැයූ වැටුප 19 සියවසේ බි්‍රතාන්‍ය කම්කරු පංතිය ඉපැයූ ඉතා කුඩා මුදල වැනි සුළු ප්‍රමාණයකි. මේ රටේ වැඩි දෙනා නොදන්නවාට අද අනියම් කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 3000 කි. රුපියල් 2500 ක් නැතිව කිසි කෙනෙක් පර්චස් 10 ක් උදලු ගාන්නේ නැත. මේ මිනිස්සු ඉහළ මැද පංතිය කරන හැම දෙයක්ම කරති. කම්කරු පන්තියක ආහාරය ලෙස වැඩි දෙනා අපේක්ෂා කරන්නේ පාන් භාගයක් සහ ප්ලේන් ටී එකකි. එහෙත් නූතන කම්කරු පංතියට පීසා හෝ බර්ගර් කෑමට වත්කමක් තිබේ. මේ වත්කම නැත්තේ රාජ්‍ය අංශය හෝ පෞද්ගලික අංශයේ සේවය කරන මධ්‍යම පන්තියට ය. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉතා අඩුය. මේ මොහොතේදී ලෝකයේ තුන්වැනි තැනට වැඩිම උද්ධමනය පවතින්නේ මේ රටේය. ඉතියෝපියාව යනු මෙයට අවුරුදු 25 ට පෙර කෑම බීම, ඇඳුම් පැළඳුම් හෝ වාසස්ථාන නැතිව නන්නත්තාර වූ රටකි. අද වන විට ඉතියෝපියාව ශීඝ්‍රයෙන් දියුණු වන අඩු උද්ධමනයක් ඇති සංවිධානාත්මක රටක් බවට පත්ව තිබේ. රටක් සංවිධානය කරන්නේ දේශපාලනඥයන් විසිනි. එම සංවිධානය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. එහෙත් ලංකාව වැනි රටක දේශපාලනඥයන් සහ නිලධාරීන් අතර විශාල අවුලක් පවතී. දේශපාලනඥයා උත්සාහ කරන්නේ නිලධාරීන්ට කෙළීමටය. නිලධාරියා උත්සාහ කරන්නේ දේශපාලනඥයාට කෙළ වීමටය. මේ දෙදෙනාගේ කෙළවා ගැනීමේ අවසානයේදී රටට කෙළවෙයි. එවැනි කෙළවුණු රටවල් තුළ මැයි දිනයට තවදුරටත් කිසිදු අර්ථයක් නැත. මැයි දින සංකල්පය ලංකාව තුළ ක්‍රමයෙන් දියාරු වෙමින් පවතී. මැයි දිනයට වැඩි තැනක් Valentine’s Day එකට තිබේ. එවිට ‘සා දුකින් පෙළෙන වුන් දැන් ඉතිං නැගිටියව් විප්ලවයේ නාමයෙන් එක්වෙයව්’ නමැති වසර සියයකට කිට්ටු මැයි දින තේමා ගීතය පහත ආකාරයෙන් වෙනස් වනවා ඇත. ඒ මෙසේය. “රටවැසි පෙම්වතුන් දැන් ඉතිං නැගිටියව් ලව් එකේ නාමයෙන් එක් වෙයව්.”

advertistmentadvertistment
advertistmentadvertistment