ෆිට්නස් පාස් ෆේල් එදා – අද

551

නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් රගර් කණ්ඩායමේ කී‍්‍රඩකයකුගේ උදර පේශීන්ට වඩා මගේ උදර පේශී හොඳ බවට නවසීලන්තයෙන්ම සහතිකයක් තිබෙනවා.’’

ඉහත ප‍්‍රකාශය උපුටා ගත්තේ 1994 අපේ‍්‍රල් මස 10 වැනිදා දිවයින පුවත්පතිනි. එම ප‍්‍රකාශයේ හිමිකරු වත්මන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතාය. අද කි‍්‍රකට් උපදේශන කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා එදා සිය කි‍්‍රකට් ජීවිතයේ ලද වේදනාකාරී අත්දැකීමක් පිළිබඳව ‘දිවයින’ පුවත්පතට එසේ ප‍්‍රකාශ කර තිබිණි. එම ප‍්‍රකාශයට පදනම වූයේ ආන්දෝලනාත්මක ශාරීරික යෝග්‍යතා වෛද්‍ය පරීක්ෂණයයි. අරවින්ද ද සිල්වා ඇතුළු කී‍්‍රඩකයන් තිදෙනකු අසමත් වූ එම යෝග්‍යතා පරීක්ෂණයේ කතාව යළි සිහියට ආවේ අද කරලියට පැමිණ තිබෙන භානුක රාජපක්ෂගේ ඉල්ලා අස්වීම හේතුවෙනි.

භානුක රාජපක්ෂ හදිසියේ ජගත් කි‍්‍රකට් පිටියට සමු දුන්නේ පසුගිය 05 වැනිදාය. සිය පෞද්ගලික ජීවිතය වෙනුවෙන් වැඩි කැප කිරීමක් කිරීමට අවැසි බව පවසමින් භානුක සමු ගත්තේය. ඒ පිටුපස තවත් කතාවක් වේ. ඒ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයයි. උපතින්ම තරබාරු කී‍්‍රඩකයකු ලෙස ප‍්‍රකට භානුක රාජපක්ෂට මීට පෙර ද සිය ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ප‍්‍රශ්නයක් පැවැතිණි. ශාරීරික යෝග්‍යතාවයට කී‍්‍රඩකයන් කැඳවූ දිනයට දින දෙකකට කලින් භානුක කි‍්‍රකට් ආයතනයට ලිපියක් ලියමින් සිය සමුගැනීම නිවේදනය කළේය.

එහෙත් භානුක මෙන් අරවින්ද ලිපියක් ලිව්වේ නැත. කි‍්‍රකට් හැර ගියේ ද නැත. එවකට ජනාධිපතිව සිටි ඞී. බී. විජේතුංග මහතාගේ නියමයෙන් පවත්වන ලද ඊළඟ යෝග්‍යතා පරීක්ෂණයට ඉදිරිපත්ව සිය යෝග්‍යතාවය ප‍්‍රදර්ශනය කළේය. එහෙත් අරවින්ද ඊට සමගාමීව පැවැති කි‍්‍රකට් සංචිතයට ඇතුළත් කර නොගැනිණි.

ෆිට්නස් පාස් ෆේල් එදා - අද

එම කතාව මෙසේය. සාජා කී‍්‍රඩාංගණයේදී 1994 වසරේ අපේ‍්‍රල් මස පැවැති ඔස්ටේ‍්‍රෂියා කුසලානය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරා ගැනීමට නියමිතව තිබුණි. ඒ වෙනුවෙන් හදිසි ශාරීරික යෝග්‍යතා වෛද්‍ය පරීක්ෂණයක් කැඳවිණි. ශී‍්‍ර ලංකා ජාතික සංචිතය හා සම්බන්ධව සිටි කී‍්‍රඩකයෝ 25 දෙනෙක් ඊට සහභාගි වූහ. කවුරුත් පුදුම උපදවනසුළු දෙයක් එතනදී සිදු විණි. අරවින්ද ද සිල්වා, සංජීව රණතුංග, රවින්ද්‍ර පුෂ්පකුමාර, දොන් අනුරසිරි සහ අජිත් ඒකනායක යන කී‍්‍රඩකයන් එම පරීක්ෂණයෙන් අසමත් බවට වාර්තා විණි. අසමත් කී‍්‍රඩකයන්ට සාජා සංචාරය අහිමි වේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිටිය කැළඹෙන්නට පටන් ගත්තේය.

‘‘ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටිය යුතු කී‍්‍රඩකයකු ලෙස සැලකෙන උප නායක අරවින්දත්, පසුගිය දිවල දක්ෂ ලෙස කී‍්‍රඩා කරමින් සිටි තවත් කී‍්‍රඩකයන් කිහිප දෙනකු හදිසියේ පවත්වන ලද ශාරීරික යෝග්‍යතා වෛද්‍ය පරීක්ෂණයකින් අසමත් වීම නිසා කණ්ඩායමෙන් ඉවත් කිරීමත් නැවත වරක් ඔවුන්ට තම ශාරීරික යෝග්‍යතාවය ඔප්පු කිරීමට අවස්ථාවක් නොදීමත් කනගාටුවට හේතුවක්’’ යැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ පරිපාලන ලේකම්වරයාට ලිපියක් භාර දෙමින් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ද සංචාරයෙන් ඉවත් වූවේය. අර්ජුන ගිය මඟ ගත් මුත්තයියා මුරලිදරන්, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ සහ දුලිප් සමරවීර ද සංචාරයෙන් ඉවත් වූහ.

අරවින්දට එරෙහිව පැමිණි තීරණයට අර්ජුනලා එසේ ප‍්‍රතිචාර දක්වද්දී අරවින්දට ලැදි තවත් පිරිසක් වෙනස් ලෙසින් සිය විරෝධය දැක්වූහ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය ඉදිරිපිටට පැමිණි පේ‍්‍රක්ෂකයෝ පිකටිං සිදු කළහ. අරවින්ද නැති කි‍්‍රකට් අපට එපා යැයි කීහ. ඒ අතරින් තවත් උද්වේගකර වූ පිරිස් පාලක මණ්ඩලයේ ගොඩනැඟිලිවලට ගල්මුල් ගැසූහ. වීදුරු කඩා බිඳ දැමූහ. පාලක මණ්ඩලය ඉදිරිපිට එකම ගිනි විජ්ජුම්බරයක් විය. එමතු ද නොවේ. අරවින්ද, අර්ජුන නැතිව වුව ද සාජා යන්න හැදූ සෙසු කී‍්‍රඩකයන්ට පේ‍්‍රක්‍ෂකයෝ මරණ තර්ජන එල්ල කළහ. ‘‘සාජා ගියොත් උඹලව මරනවා. පවුලේ අයටත් කරදර කරනවා. වහාම ඔය ගමන නතර කරපන්’’ දිගින් දිගටම පැමිණි මේ නිර්ණාමික දුරකථන ඇමතුම් සහ තර්ජන මධ්‍යයේ එම කී‍්‍රඩකයෝ නැවතුණේ පොලිසියේය. ඔවුහු පොලිස් ආරක්ෂාව පැතූහ. පොලිසියේ පැමිණිලි කළහ. අවසානයේ තරගාවලියට සූදානම් පිණිස පුහුණුවීම් කළේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේය. කී‍්‍රඩාංගණයේ දොරටු අසල මෙන්ම කී‍්‍රඩාංගණය අවට ද ගිනි අවි අතින් දරා ගත් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පුහුණුවීම් කළ එම කී‍්‍රඩකයෝ සාජා ගියහ. එපමණක් නොව එකළ තේරීම් කමිටුවේ සිටි 7 දෙනාගෙන් 5 දෙනෙක්ම ඉවත් වූහ. ඒ අතර රංජන් මඩුගල්ල හා දුලිප් මෙන්ඩිස් හා රෝයි ඩයස් ද වූහ.

අර්ජුනගෙන් හිසි වූ නායකත්වය රොෂාන් මහානාමට පවරා තිබිණි. මහානාම මහතා ද අද ශී‍්‍ර ලංකා තාක්ෂණ උපදේශක කමිටුවේ සාමාජිකයෙකි. තාක්ෂණ උපදේශන කමිටු සභාපති අරවින්දට සිදු වූ අසාධාරණය හේතුවෙන් එම සංචාරයට එක් නොවූ මුත්තයියා මුරලින්දන් ද අද එම උපදේශන කමිටු සාමාජිකයෙකි. එදා මහානාමගේ කණ්ඩායමට අසංක ගුරුසිංහ, අජිත් වීරක්කොඩි සහ අනුර ගුණවර්ධන යන කී‍්‍රඩකයන් කැඳවා තිබුණේ ඉවත් වූ කී‍්‍රඩකයන් වෙනුවට පුරප්පාඩු පිරවීමටය.

අරවින්ද යනු එදා ශී‍්‍ර ලංකා කණ්ඩායමට නැතුවම බැරි කී‍්‍රඩකයෙකි. අරවින්ද අදාළ යෝග්‍යතා පරීක්ෂණයට ඉදිරිපත් වූයේ ඊට පෙර දින නිමා වූ පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැති දිවා රාතී‍්‍ර කි‍්‍රකට් තරගාවලියේ ජය එන්සීසී කණ්ඩායමට හිමි කර දෙමිනි. එම අවසන් තරගයේ අර්ධ ශතකයක් සහ කඩුලූ 3 ක් පන්දු යැවීමෙන් දවාගෙන දැක්වූ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ද අරවින්දට හිමි විය. අරවින්ද, අර්ජුන රණතුංගගේ සොහොයුරු සංජීව රණතුංග සමග එදා ශතක සම්බන්ධතාවක් ද පැවැත්වීය. අරවින්ද ඇතුළු පිරිස එදින රාති‍්‍ර 10 ට පමණ තරගය නිමා වී මැදියම් රැය වනවිට නිවසට ගොස් තවත් පැය කිහිපයකින් අදාළ යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වූහ. අරවින්ද මෙන්ම සංජීව ද ඉන් අසමත් වූහ. එහෙත් පසුව පැවැති පරීක්ෂණයෙන් අරවින්ද සමත් විණි.

භානුකට ඇති ප‍්‍රශ්නය එසේ නොවේ. කිලෝමීටර් 2 ක් විනාඩි 8 යි තත්පර 35 කින් නොව විනාඩි 8 යි තත්පර 10 ක් ඇතුළත දැන් දුව අවසන් කළ යුතුව ඇත. එමෙන්ම ශරීරයේ මේද තට්ටුව මැන බැලෙන ස්කින් ෆෝල්ඞ් පරීක්ෂණයට ද මුහුණ දිය යුතුව ඇත. එම පරීක්ෂණයේ ඊට පෙර සඳහන් වූයේ ස්කින් ෆෝල්ඞ් හෙවත් ශරීරෙයේ තැන්පත් මේද තට්ටුවේ අගය 85 ක් ලෙසය. දැන් එය 70 ට අඩු කර ඇත. භානුක එකී අගය 80 මට්ටමට ගෙන ආවේ ද බොහෝ වෙහෙස වෙලාය. එය තවත් අඩු කළහොත් එනම් 70 මට්ටමට ගෙන ආවොත් තමන්ට සුපුරුදු ප‍්‍රහාරාත්මක වේගය පවත්වාගෙන යෑමට නොහැකි බව භානුකගේ මතයයි.

ෆිට්නස් පාස් ෆේල් එදා - අද

වත්මන් කි‍්‍රකට් ලෝකයේ ප‍්‍රබලයන් ලෙස සැලකෙන ඔස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තයේ කී‍්‍රඩකයන්ගේ ශාරීරික යෝගතාවය පිළිබඳවය දැඩිව සැලකිලිමත් වේ. ඉන්දියාව ද එසේය. ස්කින් ෆෝල්ඞ් පරීක්ෂණය ඔවුන් අතරත් සිදු කරයි. ඔස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව සහ එංගලන්ත කී‍්‍රඩකයන් කිලෝමීටර් දෙකක් දුර විනාඩි 8ටත් වඩා අඩු කාලයකදී අවසන් කළ යුතුව ඇත.

එක අතකට දවසකට කිලෝමීටර් 10 ක් දුවන්න බැරි නම් එය කී‍්‍රඩකයකුගේ දුර්වලතාවක් වේ. යන්තම් බැට් පිත්ත ඔසවා ගත හැකි කාලයේ පටන්ම අංකුර කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට දිවීම අනිවාර්ය වේ. විනාඩි 10 දුවනවා යනු ඔවුන්ට සරල දෙයකි. එය කවදාවත් සීමා කෙරෙන දෙයක් නොවේ. එසේම එය මැරතන් පුහුණුවක් ද නොවේ.

ශී‍්‍ර ලංකාව 1996 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ජයග‍්‍රහණය කිරීම පසුපස ද ශාරීරික යෝග්‍යතාවය සෙවණැල්ලක් මෙන් සිටි සාධකයකි. එකල පුහුණුකරු වූ ඬේව් වට්මෝර් විසින් භෞත චිකිත්සක ලෙස ඇලෙක්ස් කන්ටෝරි කණ්ඩායමට කැඳවා කී‍්‍රඩකයන්ගේ ආහාර ගැනීම පවා පාලනයට ලක් කෙරිණි. කී‍්‍රඩකයන් මසාජ් කිරීම සහ දිවීම පමණක් නොව තවත් බොහෝ දේ කී‍්‍රඩකයන්ගේ යෝග්‍යතාවය වෙනුවෙන් උපයෝගී කර ගැනීම කන්ටෝරි හරහා සිදු විණි.

එහෙත් ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන කණ්ඩායමක් ද වත්මනේ වේ. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන්ය. ඔවුන්ගේ ටෙස්ට් කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන රකීම් කොන්වොල්ගේ බර කිලෝ 143 කි. උස 6’ 6’ කි.

අඩි 6’ 6’ උස කිලෝ 143 ක් බරැති මේ සද්ධන්ත කී‍්‍රඩකයාට කිලෝමීටර් දෙකක් විනාඩි 8 කින් දුවන්න පුළුවන් යැයි සිතන්නවත් අමාරුය. ඔහුගේ ස්කීන් ෆෝල්ඞ් ගැන ද සැකයක් ඇත. ඔවුන් ශාරීරික යෝග්‍යතාව ගැන නොසිතන බවට තවත් එක් උදාහරණයක් ලෙස පසුගිය පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් කළ සංචිතය ගතහැක. දෙවතාවක් පන්දු වාර 20-20 ලෝක කුසලානය ජයගත් එකම කණ්ඩායම ලෙස ලොව පතල බටහිර ඉන්දීය කොදෙව්වන්ට එම තරගාවලියේදී අත් වූ ඉරණම කුමක්ද? පළමු වටයෙන්ම ඉවතට විසි වී ගියේය. එහිදී කි‍්‍රස් ගේල් වැනි කී‍්‍රඩකයන් පන්දු රැකීමට, පන්දුව පිටුපස දිවීමට, කඩුලූ අතර දිවීමට දක්වන ලද දුර්වලකම අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

කෙසේ වෙතත් භානුක රාජපක්ෂගේ තීරණය නිසා සමාජය තුළ මහත් කලබැගෑනියක් ඇති විය. සමාජ මාධ්‍ය හරහා ඊට ඕනෑවටත් වඩා ප‍්‍රසිද්ධියක් දුන්නේය. එහෙත් ජාත්‍යන්තර කී‍්‍රඩකයෙක් වූ විට තම යෝග්‍යතාවය නිසි පරිදි පවත්වාගෙන යායුතුය. එය අඛණ්ඩව විය යුතු කාරණයකි. එසේම ස්කින් ෆෝල්ඞ් සම්බන්ධයෙන් නම් ජානමය ගැටලූ තිබෙන බව ද වෛද්‍ය මතයයි. එකිනෙකාගේ ජාන එකිනෙකාට වෙනස් වෙනවා මෙන්ම ස්කින් ෆෝල්ඞ් මිනුම් දර්ශකය ද එක් එක් කී‍්‍රඩකයාට අනුව වෙනස් විය යුතු බව ඇතැමුන්ගේ මතයයි. එහෙත් කායවර්ධන කී‍්‍රඩකයන්ගේ ස්කින් ෆෝල්ඞ් දර්ශකය 4 වේ. එසේම කිලෝමීටර් 2 ධාවනයට අදාළ වේලාව ද පිතිකරු, වේග පන්දු සහ දඟ පන්දු යන අංශවලට එක් වේලාවක් තිබිය යුතු බව ඇතැමුන්ගේ මතයයි. මීට පෙර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ ස්කීන් ෆෝල්ඞ් එක 55-60 මට්ටමට යටත්ව තබාගත යුතුව තිබිණි. හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය ප‍්‍රකාශ කෙළේ මම කි‍්‍රකට් කී‍්‍රඩා කරන කාලයේ තමාගේ ස්කින් ෆෝල්ඞ් එක කවදාවත් 45 ට වඩා ඉහළ ගියේ නැති බවයි. ඒ අනුව භානුකට ඉගෙන ගත යුතු තවත් දේ ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment