ෆිට්න්ස් වෙනුවට බෝඩ් ඇල්ලීම

195

මේ රටේ ගොවියෝ උද්ඝෝෂණ කරති. කම්කරුවෝ උද්ඝෝෂණ කරති. හේතුවක් ඇතිව හෝ නැතිව වෘත්තීය සමිතිද සතියට දෙතුන් වතාවක් උද්ඝෝෂණ කරති. පෙළපාලි ද එමටය. රට හදන තැන යැයි කියන පාර්ලිමේන්තුවේ ද විරෝධතා තිබේ. ඒ නිසා උද්ඝෝෂණ, විරෝධතා, පෙළපාලි අපේ මිනිස්සුන්ට අරුමයක් නොවේ. කොටින්ම උද්ඝෝෂණ කරන්නන්ට ජනාධිපති කාර්යාලයට යාබදව ඒ සඳහාම වෙන්වූ ස්ථානයක් ද ඇත. එහෙත් ඔබ අප අරුම පුදුම කරන උද්ඝෝෂණයක් පසුගියදා පැවැත්විණි. එය අරුම පුදුම යයි කියන්නේ හේතු ගණනාවක් නිසා ය.

එකක් ඒ තැන ජනාධිපති ලේකම් කාර්යාලය අසළවත්, පාර්ලිමේන්තු වටරවුමේ වත්, කොටුව දුම්රියපළ අසළවත් නොවේය. ඒ විරෝධතාවය පැවැත්වුණේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉදිරිපිටදීය. උද්ඝෝෂණය කරන තැන නුහුරු වූවා මෙන්ම උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම ද අපූරු එකක් විය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ භානුක රාජපක්ෂ ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර ගන්නා ලෙසය.

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ භානුක රාජපක්ෂ ඉන්දියාවට එරෙහි පන්දු වාර 20-20 ක‍්‍රිකට් තරගාවලියට එක්කර ගන්නැයි බල කරමින් අදාළ පිරිස උද්ඝෝෂණය කළේ පසුගිය අඟහරුවාදාය. භානුක යනු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිටිය යුතු ක‍්‍රීඩකයකු බව අපගේ ද අදහස ය. ඔහු දක්ෂ ප‍්‍රවේගකාරී පිතිකරුවෙකි. පන්දුවට ඇස හුරුකර ගැනීමට වැඩි වෙලාවක් ගන්නේ නැත. ඕනෑම පන්දු යවන්නකුගේ පන්දුවක් හතරේ සීමාවට ඉහළින් පියාසර කරන්න භානුක නොපසුබටය. එඩිතරය. ඒවා දකින ඇස් පිනවයි. එහෙත් භානුකට හරහට හිටියේ ස්කින් ෆෝල්ඞ් පරීක්ෂණයයි. යම් අයකුගේ ශරීරයේ තැන්පත් මේද ප‍්‍රමාණය මැන බැලෙන අදාළ පරීක්ෂණයෙන් භානුක නැවතත් අසමත් වී තිබේ. ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක‍්‍රීඩකයන් ඇතුළත් කර ගැනීමේදී ශාරීරික යෝග්‍යතාව සලකා බලන ප‍්‍රධාන පරීක්ෂණවලින් දෙකෙන් එකක් ලෙස මෙම පරීක්ෂණය සැලකේ. අනෙක් පරීක්ෂණය කිලෝමීටර් දෙකක දුරක් විනාඩි අටයි තප්පර දහයක් ඇතුළත දිවීමයි. මෙවර භානුක එම පරීක්ෂණයෙන් සමත් වී තිබේ.

එහෙත් භානුකගේ ප‍්‍රශ්නය තිබෙන්නේ ස්කින් ෆෝල්ඞ් පරීක්ෂණයේය. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ එම අගය 70ත් 85ක් අතර තිබිය යුතු බවට දැන් නියම වී ඇත. ඊට වැඩි අගයක් ඇති අය කණ්ඩායමට ගන්නේ නැත. වාර්තාවන අන්දමට මේ වර්ෂයේ කිසිම දිනක දී භානුකගේ ස්කින් ෆෝල්ඞ් අගය එම මට්ටමට පැමිණ නැත. එහි අඩුම අගය වාර්තා වන්නේ පෙබරවාරි මස 7 වැනිදා 97ක් ලෙසය. උපරිමය සඳහන් වන්නේ ජනවාරි විසි එක් වැනිදා 109.6ක් ලෙසිනි. කිලෝමීටර් දෙකක් දිවීමේ පරීක්ෂණයෙන් සමත්වූ බැවින් භානුකව ඉන්දීය සංචාරයට එක්කර ගැනීමේ අරමුණෙන් ජෛව බුබුළකටද යටත් කෙරිණි. හැබැයි ඒ එක් පොරොන්දුවක් යටතේය. ඉන්දිය සංචාරයට එක්කර ගන්නේ ස්කින් ෆෝල්ඞ් අගය 85 දක්වා අඩු කර ගතහොත් පමණි යනු ඒ පොරොන්දුවයි. ඒ අනුව දින හයක නිරෝධායන කාලයකින් අනතුරුව භානුක අරභයා නැවතත් ස්කින් ෆෝල්ඞ් පරීක්ෂණයක් පැවැත්විණි. අවාසනාවට එහි අගය 102.8ක් වී තිබුණි. ඉන්දියාවට යාමට හෝටලයේ නතරව සිටි භානුකට සිදුවූයේ ඒ අනුව නැවතත් නිවසට යෑමටය.

දැන් කරන්නට දෙයක් නැත. උද්ඝෝෂණ වලින් ද අත් වූ පළක් නොවේ. ඇත්තටම ඒ උද්ඝෝෂණවලින් ප‍්‍රයෝජනයක් වූවා නම් තමයි ප‍්‍රශ්නයක ආරම්භය. එය උද්ඝෝෂකයන්ට නොතේරේ. උද්ඝෝෂකයන්ගේ හඬට කන් දී භානුකව ඉන්දීය තරගාවලියට නම් කරේ නම් අනෙක් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් කවුරුවත් ස්කින් ෆෝල්ඞ් ගැන නොසිතනු ඇත. ඇතිවන්නට රස මසවුළුවලින් සප්පායම් වී ස්කින් ෆෝල්ඞ් බල්ලාට දමනු ඇත. භානුකට නැති නීතියක් අපට කවරේදැයි ඔවුන් ප‍්‍රශ්න කරනු ඇත. වැඬේ එසේ පහසුවෙන් ගොඩ ගියේ නැත්නම් පිරිසක් ලව්වා උද්ඝෝෂණය කර කණ්ඩායමට පැමිණෙනු හැකැයි සිතනු ඇත. භානුක පිළිබඳව සිදු කළ උද්ඝෝෂණය ඔහු විසින් කරන ලද්දක් යැයි අපි කිසිසේත් නොකියමු. රාජකීය විද්‍යාලයෙන් මෙරට ජාතික කණ්ඩායමට පහළ වූ ඔහු එවැනි පහත් ක‍්‍රියාවක් කරනු ඇතැයි සිතන්නටද නොහැක. එහෙත් ඔහු අරභයා එවැන්නක් සිදු විණි. එය එතැනින්ම නතර වනු ඇතැයි අපි සිතමු. පූර්වාදර්ශ නරක මෙන්ම හොඳ ඒවා ද ඇත. මේ පූර්වාදර්ශය වැටෙන්නේ එයින් නරක පැත්තට ය.

භානුක මීට මාසයකට පමණ උඩ දී ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට ද තීරණය කළේය. ඊට හේතු වූයේද මේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයයි. එහෙත් භානුක යනු ශාරීරික යෝග්‍යතාව මද හෙයින් කණ්ඩායමට ඇතුළත් නොවිය යුතු ක‍්‍රීඩකයකු නොවේ. ඔහු කණ්ඩායමේ සිටිය යුතු ක‍්‍රීඩකයෙකි. ඒ බව වටහා ගත් ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ භානුකව කැදවා ඔහුගේ එකී තීරණය ආපස්සට හැරවීය. භානුක නැවත ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමට එකගවීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පැත්තෙන් හොඳය. නරක භානුකට අවශ්‍ය තරම් ශාරීරික යෝග්‍යතාව ප‍්‍රදර්ශනය කරන්නට බැරි වීමය. අවිශ්ක ප‍්‍රනාන්දු සහ මහීෂ් තීක්ෂණ ද මේ ආකාරයේ ප‍්‍රශ්නවලට මීට පෙර මුහුණ දුන් ක‍්‍රීඩකයෝ වෙති. ඔවුහු පසුව ඒවා නිවැරදි කර ගත්හ.

භානුකගේ ප‍්‍රශ්නය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉදිරිපිටින් පමණක් නතර නොවුණි. එය පාර්ලිමේන්තුව දක්වා ද ගියේය. විපක්ෂ මන්ත‍්‍රී සුජිත් සංජය පෙරේරා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගෙන් භානුකගේ ප‍්‍රශ්නය පිළිබඳ විමසීය. නාමල් රාජපක්ෂ මහතා ඊට ලබා දුන් පිළිතුර ඉතා සාධනීය එකක් විය. ”ක‍්‍රිකට් තේරීම් කමිටුවටත් පුහුණු කාර්ය මණ්ඩලයටත් ක‍්‍රිකට් උපදේශන කමිටුවටත් පිටින් තීන්දු තීරණ ගැනීමට මා යන්නෙ නෑ. තේරීම් කමිටුවේ කටයුතුවලට ඇඟිලි ගසන්නට ගොස් පසුගිය කාලයේ සිදුවුණු දේවල් මම දන්නවා. භානුක කණ්ඩායට ඇතුළත් කර නොගන්නේ මන්දැයි හේතු ඔවුන් මා වෙත දැනුම් දී තිබෙනවා. ඒවා ප‍්‍රසිද්ධියේ කියන්න බැහැ. ඒ වගේම භානුකගේ ක‍්‍රිකට් ජීවිතය මෙතනින් නතර වෙන්නෙත් නැහැ. ඔහුට අවශ්‍ය තරම් කාලය තිබෙනවා කණ්ඩායමට පැමිණීමට.”

ඇමැති නාමල්ගේ ප‍්‍රකාශය කාටවත් බලපෑම් එල්ල කරන සුළු එකක් නොවීය. අවශ්‍ය නම් ක‍්‍රීඩා ඇමැතිවරයා සතු බලතල උපයෝගී කරගෙන නාමල් රාජපක්ෂට භානුක ගැන මීට වඩා හාත්පසින්ම වෙනස් තීන්දුවක් ගැනීමට පුළුවන්කම තිබුණි. ඔහු එසේ කළේ නැත. එය සමාන වන්නේ 1993 වසරේ දී අරවින්ද ද සිල්වාට සාජා සංචාරය අහිමි වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අවස්ථාවේදී එවකට ක‍්‍රීඩා ඇමැති වූ නන්ද මැතිව් මහතා කටයුතු කළ ආකාරයට ය. නායක අර්ජුන රණතුංග ඇතුළු ක‍්‍රීඩකයෝ හතර දෙනෙක් අරවින්දව කණ්ඩායමෙන් ඉවත් කිරීමට විරෝධය පළ කර කණ්ඩායමෙන් ඉවත් වූහ. එහෙත් කොතරම් බලපෑම් ආවද නන්ද මැතිව් මහතා ඒ කිසිවකට එවර සැලූනේ නැත. අරවින්ද ද සිල්වාට නැවතත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දෙන්නට සිදු විය. භානුක පිළිබඳව සිදුකළ උද්ඝෝෂණය එතරම් සංවිධානාත්මකව සිදු වූ දෙයක් යැයි ද කිව නොහැක. සෑහෙන පිරිසක් ක‍්‍රිකට් ආයතනයට ඉදිරිපිටට පැමිණෙනවා යැයි කීව ද එතැනට පැමිණ සිටියේ පනහකට ආසන්න පිරිසකි. එහෙත් ඒ සුළු පිරිස අතරද ඉතා වැදගත් අදහසක් දැරූ අයෙක් වූයේය. ක‍්‍රිකට් කෙසේ වෙතත් ජනප‍්‍රියම ගායක ගායිකාවන් සහ ඩාන්සර්ස්ලා තෝරන සුපර්ස්ටාර්ස් වැඩසටහන් නම් ඔහු හොඳට බලනවා යැයි කිව හැකිය. ඒ නිසා ඔහු ඔහුගේ පුංචි මොළයට දැනෙන පරිදි මෙසේ කීවේය.

”මේ අයට ක‍්‍රීඩකයන් තෝරන්න නොතේරේ නම් අපිට ඇප් එකක් හඳුන්වා දෙන්න. අපි ඒකෙන් තෝරන්නම් කවුද කණ්ඩායමේ ඉන්න ඕනා කියලා”

හැම දෙයක්ම එස් එම් එස් සහ ඇප් වලින් තෝරන යුගයක ඔහුගේ අදහසද ඔහුට අනුව වරදක් නොවේ. එය ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය වෙත යොමු කිරීම භානුක පිළිබඳව උද්ඝෝෂකයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙත ලබා දුන් කදිම පණිවිඩයකි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment