ෆිෆා පාපන්දු 13500 ක් ශ්‍රී ලංකාවට

351

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (ෆිෆා) ආධාර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ පාසල් පාපන්දු ක්‍රීඩාව නැංවීමේ අරමුණෙන් මෙරට තෝරා ගත් පාසල් සඳහා පාපන්දු 13500 ක් ලබා දීමට කටයුතු යොදා ඇති බව ඊයේ (06 වැනිදා) අනාවරණය වූයේය.

පාසල් පාපන්දු ක්‍රීඩාව නැංවීමේ අරමුණෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ලබන වසරේ සිට ආරම්භ කර ඇති විශේෂ වැඩපිළිවෙළ යටතේ එය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන විශේෂ වැඩසටහන් සහ ඉදිරි දැක්ම පිළිබඳව ප්‍රකාශ කිරීම සඳහා ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී ජස්වර් උමාර් මහතා ඒ බව කීය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ උපදේශක ස්කොට්ලන්ත ජාතික ස්ටුවර්ට් රේගන්, දකුණු ආසියානු කලාපීය පාපන්දු නියෝජිත ප්‍රින්ස් රුෆුස්, දකුණු ආසියානු කලාපීය පාපන්දු සංවර්ධන තාක්ෂණ උපදේශක චොකි නිමා යන මහත්වරුද එම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය රටේ පාපන්දු ක්‍රීඩාව නංවාලීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව පැහැදීමට ලක් වූ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එම පාපන්දු ප්‍රදානය ශ්‍රී ලංකාවට සිදු කිරීමට නියමිත බවද ජස්වර් උමාර් මහතා පැවසීය.

මෙරට පාසල් පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශවල ප්‍රධාන දායකත්වයක් අවශ්‍ය බවද ඒ සඳහා අදාළ අංශ සමග වඩාත් ඉහළ සම්බන්ධතාවක් පවත්වා ගෙන යෑමට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

රටේ පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සමග පෙරේදා දිනයේ ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවද ජස්වර් උමාර් මහතා සඳහන් කළේය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment