ෆීල්ඩ් මාෂල් තියරිය

1331

ඉදිරි මාස හය නරකම මාස හය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. මීටත් වඩා ඉතින් මොන දුකක් විඳින්නද? ජනාධිපතිතුමා කියන නරකම මාස හය පසුගිය මාස හයේදීත් අපි භුක්ති වින්දෙමු. අප දුකට පුරුදුවී සිටින සෙයක් පෙනේ. ජල කඳ අපගේ නහයටත් උඩින් නොව ඔලුවටත් උඩින් ගොස් ඇත. ඒ නිසා ජනාධිපතිතුමා කියන ඉදිරි නරකම මාස හයේ භයානකකම හරියාකාරව දැනෙන්නට තරම් අපගේ හම තුනීද යන ප්‍රශ්නය තිබේ. කබර හමට වැඩි මනත් දේවල් දැනෙන්නේ නැත. කිඹුල් හමට කිසිම දෙයක් නොදැනේ. අපේ හම මේ වනවිට කිඹුල් හමක් බවට පත්වී ඇති අතර ඒ ජීව විද්‍යාත්මක පරිවර්තනය කරන ලද්දේ දේශපාලනඥයන් විසිනි.

 පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දැක්වූ අදහසක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. සර්වපාක්ෂික ආණ්ඩුවක් මේ මොහොතේදී ප්‍රයෝජනවත් නැති බව ඔහු සඳහන් කර තිබේලු. එසේම අරගලකරුවන් ජීවිත පූජාකර හෝ අරගලය ජයගත යුතු බව ෆීල්ඩ් මාෂල් විසින් මෙයට පෙරද පවසනු ලැබ තිබේ. පසුගිය දිනක අන්තර්ජාල නාලිකාවක් සමග කළ සාකච්ඡාවකදී ඔහු ඉහත අදහස කෙලින්ම කීවේය. ජීවිත පූජාකර සටන් දිනන්නේ යුද්ධවලදීය. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ පැවැත්වෙන සාමකාමී හෝ නිරායුධ සටන්වලදී ජීවිත පූජා කිරීමක් සිදුවන්නේ නැත. ගෝල්ෆේස් පිට්ටනිය වෙනම රාජ්‍යයක් හැටියට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා අරගලකරුවන් සටන් වැදුනේ නම් එහිදී ජීවිත කිහිපයක් පූජා වට්ටියෙහි තැබීමට සිදුවේ. එසේම අරගලකරුවන් රටේ ජනාධිපති හෝ අගමැති සංහාරය කිරීම සඳහා නිරායුධව හෝ පැමිණියොත් එතැනදීද ජීවිත පූජා කිරීමට සිදුවේ. ජීවිත පූජාව යනු යුද හමුදාවේ සංකල්පයකි. ශ්‍රී ලංකාවේ යුද හමුදාව තුළ පමණක් නොව ලෝකයේ සෑම රටකම පාහේ යුද හමුදාවල මේ කියන ජීවිත පූජා කතන්දරය තිබේ. එය සෙබළුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීම සඳහාත් සටනකදී මියයන සෙබළකු පිළිබඳ ප්‍රතිරූපය බාහිර ලෝකයේදී ප්‍රවර්ධනය කිරීම සඳහාත් යොදාගනු ලබන ීඑර්එැටසජ්ක වචනයකි. යුද්ධයකදී සිය කැමැත්තෙන් ජීවිතය දෙන අය ඉතා විරලයහ. එබඳු විරල උදාහරණ කිහිපයක් මෙරට බෙදුම්වාදී සංග්‍රාමයෙහි ඉතිහාසය තුළ ඇත. 1991 ජූලි 14 දා කොටි සංවිධානය එලිෆන්ට් පාස් යුද හමුදා කඳවුර අල්ලා ගැනීමට පැමිණෙන අවස්ථාවේදී එවකට 25 හැවිරිදි වියේ සිටි ගාමිණී කුලරත්න නමැති යුද සෙබළා බෝම්බයක් ද සමග කොටින්ගේ යුද ටැංකියක් තුළට කඩා පැන ජීවිතය පූජා කළේය. 1996 ජූලි 19 දා එවකට 38 හැවිරිදි වියේ සිටි අස්ලම් ෆස්ලි ලාෆීර් නමැති යුද හමුදා කපිතාන්වරයා එවකට කොටි සංවිධානය විසින් වටලනු ලැබ තිබූ කිලිනොච්චි හමුදා කඳවුරට ගුවනින් බැස කොටින්ට යටත්වීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් වෙතින් වෙඩි කා මිය ගියේය. කපිතාන් ලාෆීර් ඒ වෙලාවේදී කොටින්ට යටත් වුණේ නම් ඔහුගේ ජීවිතය බේරෙයි. එවැනි විටක ඔහුට යුද රහස් බොහොමයක් වමාරන්නට ද සිදුවෙයි. එය ජාතික ආරක්ෂාව පාවා දීමකි. එසේ නොකර සතුරන් අතින් මිය යෑම ජීවිතය පූජා කිරීමකි. මෙබඳු සෙල්ලමක් ගෝල්ෆේස් අරගලකරුවන්ට කිරීමට බැරිය. මන්ද යත් එය වෙනම මොඩ්ල් එකක සටනකි. අපගේ ෆීල්ඩ් මාෂල්තුමා සෑම අරගලයකටම යුද තත්ත්වයක් ආදේශ කිරීම කළ යුතු නැත. එවිට මිනිසුන්ගේ පවුල් ජීවිත ද යුද්ධ භූමි බවට පත්වන අතර බිරිඳ හෝ සැමියා ජීවිතය පූජා කිරීමේ අවශ්‍යතාවක් මතුවන්නේය. මීළඟට සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳ ෆීල්ඩ් මාෂල් මතය ගැන අපගේ අවධනය යොමු කරමු. ඔහු කියන්නේ එවැන්නක් අනවශ්‍ය බවය. එහෙත් මෙවැනි මොහොතක තිබෙන විකල්ප අතරින් හොඳම විකල්පය ජාතික ආණ්ඩු විකල්පයයි. රට මෙවැනි දුෂ්කර අවස්ථාවක පවතින විට එක්කෝ ජනතාව සියලු කරදර ඉවසා දරාගෙන මතුයම් දිනයක කුසගින්නේ මරණයට පත්වීමේ අපේක්ෂාවෙන් කුද ගසාගෙන සිටිය යුතුය. එහෙමත් නැත්නම් සියලු දෙනාම ඉන්දියන් සාගරයට පැන සියදිවි නසාගත යුතුය. එහෙත් මධ්‍යම කඳුකරයේ සිටින අයට සිය දිවි නසාගැනීම සඳහා වෙරළට පැමිණීමට බස් වියදම් අවශ්‍ය වේ. අත මිට හිඟ බැවින් එයද කළ නොහැක. එසේ නම් ඔවුන් කළ යුත්තේ වස පානය කිරීමය. ඉතාම කුඩා මී පාසානම් පැකට් එකක් වුවද අද මිල අධිකය. එබැවින් ඒ මිනිසුන්ට සිය දිවි නසා ගැනීමට ඇති අයිතිවාසිකම් පවා අහිමිව යයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් යනු මෙවැනි අන්තවාදී ක්‍රියාවන් ඉක්මවූ ප්‍රජාතන්ත්‍රවාදී ට්‍රයි එකකි. ගිවිස ගත් කාලයක් තුළ එකට එක්වී රට බේරා ගැනීම සඳහා කටයුතු කිරීමට මේ රටේ සිටින සියලු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවලට හැකිනම් කුමක් හෝ හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවන බව අපි විශ්වාස කරමු. අපට දුක එදා යුද්ධය දිනවීමට කැපවූ සෙන්පතියෙකු වන ෆීල්ඩ් මාෂල්ට මේ විසඳුම ගැන විශ්වාසයක් නොතිබීමය.

advertistmentadvertistment
advertistmentadvertistment