● පෙරඹර – රට හා අරගලය  දිනවන මඟ

176

නිදහස් (නිදහසින් වසර 74 කට පසු) ශ්‍රී ලංකා ඉතිහාසය තුළ මුහුණ දුන් විශාලතම ආර්ථික, දේශපාලනික සහ සාමාජීය අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටියි. රට මේ තත්ත්වයට පත් කිරීමට රට පාලනය කළ හා කරන සියලුම පාලකයන් වගකිව යුතුය. වත්මන් රජයේ ඉතා දුර්වල මූල්‍ය විනයත්, අවිධිමත් ආර්ථික කළමනාකරණයත්, නිසි තීරණ නිසි අවස්ථාවේ නොගැනීමත්, අදූරදර්ශීභාවයත්, අකාර්යක්ෂමතාවයත්, උද්දච්ච ක්‍රියාකලාපයත් නිසා උද්ගත වී ඇති මෙම අර්බුදය හේතුවෙන් අද ජනතාවගේ ජන ජීවිතය පවත්වා ගැනීම පවා ඉතා දුෂ්කර වී ඇත.

 තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමත්, උසුලාගත නොහැකි ජීවන වියදමත් නිසා මහජනතාව දැඩි පීඩනයට සහ අසහනයට මේ වන විට පත් වී සිටියි. මීට අමතරව අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවාව සඳහා නිසි ප්‍රමුඛතාව ලබා නොදීමෙන් ජනතාවගේ ජීවත්වීමේ අයිතියද තදින්ම අභියෝගයට ලක් වී ඇත. සෞඛ්‍ය සඳහා වෙන්විය යුතු ප්‍රතිපාදන කප්පාදුව නිසා උග්‍ර ඖෂධ හා උපකරණ හිඟයක් ඇති වී ඇතී අතර රටේ පවතින ඉන්ධන හිඟය සහ බලශක්ති අර්බුදය නිසා රෝහල් සහ අනිකුත් සෞඛ්‍ය ආයතනවල සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑම ඇනහිටීමට ආසන්නව ඇත. රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණය නිසා සෞඛ්‍ය සේවකයන්ට සේවයට වාර්තා කිරීමටද බාධා පැමිණීම හේතුවෙන් ඇති සෞඛ්‍ය සේවාව තවදුරටත් බිඳ වැටීමට ලක් කරමින් රෝගී ජීවිත අවදානමට ඇද දමා ඇත.

 මෙම සියලු අර්බුදයන් හමුවේ රටේ පුරවැසියන් තම නිදහසේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කර ගැනීම උදෙසා ජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව වත්මන් රජයට සහ දේශපාලන ක්‍රමවේදයට විරුද්ධව අනවරත අරගලයක මේ මොහොතේ නිරත වී සිටියි.

 ජනතාවගේ සැබෑ ගැටලුවලට යථාර්ථවාදී විසඳුම් ලබාදී ජන ජීවිතය ගොඩනැගීම වෙනුවට, ඉතා මුග්ධ ලෙස පොදුජන සටන වෙත මර්දනය, ප්‍රචණ්ඩත්වය හා ජාතිවාදය මුදා හැරීමට වත්මන් පාලකයන් උත්සාහ කරන බව නිරීක්ෂණය වේ. ඒ තුළින් ජාතීන් සහ ජන කණ්ඩායම් අතර අසමගිය වර්ධනය වීම හා අරගලය ප්‍රචණ්ඩත්වයකට යොමු වීම මඟින් රට තවදුරටත් අස්ථාවර වීමේ අවදානමක්ද මතුව ඇත. දිගින් දිගටම තම පටු අවස්ථාවාදී න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරමින් ජනතාවගේ ගැටලු නොසලකා හැරීම තුළ මෙම ආණ්ඩුවේ අසමත්කම යළි යළිත් රටට සනාථ කරයි. එහෙත් මෙම අර්බුදය විසඳාලීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය වගකිවයුතු පාර්ශ්වයන් වශයෙන් මෙතෙක් සාධනීය මැදිහත්වීමක් සිදුකර නොතිබීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.

 රටේ පවතින තත්ත්වය තුළ ජනතා අරගලය ජයග්‍රහණය කරවීමටත් එම අරගලය තුළින් දූෂිත වූ හා ජනතාවගෙන් ප්‍රතික්ෂේපිත වූ දේශපාලන ක්‍රමවේදය වෙනුවට රටත්, ජනතාවත් දිනවිය හැකි යෝජනා මාලාවක් ඉදිරිපත් විය යුතුව ඇත.

 එහිදී, මේ මොහොතේ රට මුහුණ දී ඇති අර්බුදයෙන් මිදීම සඳහා කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් හඳුනාගනිමින් ඒ සඳහා ජාතික වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කළ යුතුය. එම වැඩපිළිවෙළ තුළින් රට ස්ථාවර කිරීමේ වගකීම ව්‍යවස්ථානුකූල යාන්ත්‍රණයට නිශ්චිත කාලයකට පවරා ස්ථාවර රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරි මැතිවරණ පැවැත්විය යුතුය. තවද, ජනතා අරගලයේ මූලිකම ඉල්ලීමක් වනුයේ පවතින ජරාජීර්ණ දේශපාලන ක්‍රමය වෙනුවට, රටට හිතැති දියුණු ක්‍රමවේදයක් බිහි කිරීමයි. එම ක්‍රමවේදය සඳහා පාදක කර ගත යුතු මූලික කරුණු පහතින් සඳහන් කරමු.

 ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය තහවුරු කිරීමත් රටේ සියලු දෙනාට නීතිය සමානව ක්‍රියාත්මක කිරීමත් සිදු කිරීම.

 සියලු ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම

 මහජන නියෝජිතයන් පත්වීමේදී තිබිය යුතු අවම සුදුසුකම් සහිත අවම ප්‍රමිතියක් ප්‍රකාශයට පත් කිරීම.

 මහජන නියෝජිතයන්ගේ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සහ ඔවුන් වගවීම හා වගකීමකට යටත් කිරීම.

 මහජන නියෝජිතයන් හා දේශපාලන පක්ෂ නිශ්චිතව අඛණ්ඩව විගණනයට ලක් කිරීම.

 අමාත්‍ය මණ්ඩලය ඇතුළු සියලුම මහජන නියෝජිතයන්ගේ කාර්යසාධනය ඇගයීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වාදීම.

 අවශ්‍ය අවම පරිසාධන මට්ටමකට තම කාර්යභාරය ඉටුකළ නොහැකි සහ ඉටු නොකළ දේශපාලඥයන් ඉවත් කිරීම, ඒ තුළින් සිදුවු හානිය ප්‍රතිපූර්ණය සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සැකසීම.

 දේශපාලනයෙන් වියුක්තව ආර්ථිකය ඇතුළු රටේ සියලු ක්ෂේත්‍ර සඳහා ස්ථාවර ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම.

 රාජ්‍ය ආයතන සියල්ල ස්වාධීන ආයතන කිරීම සහ දේශපාලන අතපෙවීම්වලින් තොරව ස්වාධීනව රාජ්‍ය නිලධාරීන් පත්වන ක්‍රමවේදයක් සැකසීම.

 දේශීය ව්‍යවසායකයන් සඳහා ප්‍රමුඛතාව ලබා දීම.

 සාමකාමී උද්ඝෝෂණ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරැකීම.

 අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි සේවාවන් පුද්ගලීකරණය නොකිරීම සහ රාජ්‍ය සම්පත් සුරැකීම ඉහත යෝජනාද ඇතුළත්ව රටේ පාලකයන් විසින් රට ගෙන යා යුතු ආකාරය පිළිබද වූ ‘ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයක්’ සියලුම පක්ෂ සහ සිවිල් සංවිධාන වල එකඟතාවයෙන් ඉදිරිපත් කොට එය නීතිගත කිරීමත්, එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර රටක් යටතේ මැතිවරණ පැවැත්වීම සඳහා කටයුතු කිරීමත්, රටේ මහජනතාවගේ ඉල්ලීම් බවට පත්ව ඇත. එබැවින් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙනාම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ මොහොතේ උද්ගත වී ඇති අස්ථාවරභාවය දුරලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ව්‍යවස්ථානුකූල රාමුව තුළ ගන්නා ලෙස බල කළ යුතුය.

 අරගලය තුළින් රට නිවැරදි මාර්ගයට යොමු කරමු.

 අරගලයත්, රටත් දිනවමු.

● පෙරඹර - රට හා අරගලය  දිනවන මඟ


වෛද්‍ය නවීන් සොයිසා
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment