අංක 1 සහ අංක 2 අවසන් දෙක අතරට එන්න අද සටනක

174

2022 පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවෙනි අවසන් පූර්ව තරගය ලෙස පන්දු වාර 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන ඉන්දියාව සහ දෙවෙනි ස්ථානයේ පසුවන එංගලන්තය අතර තරගය ඔස්ටේ්‍රලියාවේ ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේ දී අද (10 වෙනිදා ) පස්වරු 01:30 ට ආරම්භ වීමට නියමිතය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනකු වන රෝහිත් ශර්මා ඉන්දියාවට ද ජොස් බට්ලර් එංගලන්තයට ද නායකත්වය ලබා දෙති.

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ තමන් සහභාගි වූ තරගවලින් අයර්ලන්තයට පමණක් පරාජයට පත්වූ එංගලන්තය සුපිරි 12 වටය යටතේ පළමු කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි ස්ථානයට පත්ව අවසන් පූර්ව තරග වරම් හිමි කර ගත්තේය.

ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග ජය ගත් එංගලන්තයට ඔස්ටේ්‍රලියාව සමග තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමන්නට සිදුවිය.

ඉන්දියාව දෙවැනි කාණ්ඩයෙන් තරග වැදුණු අතර ඔවුන් පරාජයට පත්වූයේ දකුණු අප්‍රිකාවට එරෙහිව තරගය පමණක් වූ අතර පකිස්තානය, බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය ඔවුන් හමුවේ පරාජය වූයේය.

ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සහ දක්ෂ වේග පන්දු යවන්නන් ගෙන් සැදුම්ලත් එංගලන්ත කණ්ඩායම මේ වන විට පන්දු වාර 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි දෙවෙනි තැනට පත්ව සිටී. පසුගිය තරගාවලියේදි ද අවසන් පූර්ව තරග වරම් දිනා ගැනීමට සමත් වූ ඔවුහු එහිදි නවසීලන්තය හමුවේ පරාජයට පත් වූහ.

පසුගිය 2021 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග වරම් නොලැබූ ඉන්දියාව අවසන් වරට පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූයේය.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් වන සූර්යකුමාර් යාදව් සහ විරාත් කෝලි යන පිතිකරුවන් මේ දිනවල හොඳින් ලකුණු අතර සිටින අතර ඉන් සූර්යකුමාර් යාදව් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසු වේ. විරාත් කෝලි එහි 11 වන ස්ථානයේ පසුවන අතර කෝලි මෙවර තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණුලාභියා මෙන්ම සූර්යකුමාර් එම සටහනේ දෙවෙනියට වැඩිම ලකුණු ලාභියා වේ.

තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩයා ද ඉන්දියාව සතු දක්ෂ ක්‍රීඩකයෙකු වන අතර මොහොමඩ් ශාමි, බුවනේශ්වර් කුමාර්, ආර්ශ්ඩීප් සිංග් ප්‍රමුඛ ඉන්දීය වේග පන්දු බලඇණිය ද එංගලන්තයට ප්‍රබල තර්ජනයක් වනු ඇත.

එසේම එංගලන්ත පිතිකරු ලැයිස්තුව ඇලෙක්ස් හේල්ස්, ලියම් ලිවින්ස්ටෝන්ග්, ඩේවිඩ් මලාන් සහ නායක ජොස් බට්ලර් ගේ දායකත්වයෙන් ශක්තිමත් වී තිබේ. එසේම තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සහ දැනට තරගාවලියේ වේගවත්ම පන්දු යවන්නා වන මාක් වුඩ් ද එංගලන්තය සතුවේ. එසේම සෑම් කරන්, ක්‍රිස් වෝක්ස් සහ අඩිල් රෂීඩ් ද ඉන්දියානු පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් වනු ඇත.

කසුන් රණවීර ඔස්ටේ්‍රලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment