අංගොඩ ගිනිකෙළියේ මහ මොළකරු ජිලේ

1165

හරක් කටාගේ ගෝලයෙක්

නිවස ඇතුළටම ගිහින් දුන්න ගේමක්

ඝාතනය වූ ප‍්‍රනීත් මත්ද්‍රව්‍ය ජවාරමට හවුල්

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම පෝෂණය කිරීමේලා මහඟු සේවයක් ඉටුකළ මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කා නමැති පාතාල මැරයන් දෙපළ අද ජීවතුන් අතර නැත. ඩුබායි රාජ්‍යයේ සහ ඉන්දියාවේ අති සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටි මේ පාතාල මැරයන් හෙරෙයින් ටොන් ගණනින් ශ‍්‍රී ලංකා දීපයට පොම්ප කරමින් කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් ඉපයූහ.

මෙරට තරුණයන් ලක්‍ෂ ගණනක් දෙනා කුඩුලෝලීන් බවට පත්කර උන්ගේ ජීවිත විනාශකර දමා සුරසැප විඳිමින් සිටි මේ කලකණ්ණින් දෙපළ අභාවප‍්‍රාප්ත වීමෙන් පසු ඒ තැන ගෙන සිටින්නේ ‘හරක්කටා’ සහ ප‍්‍රියංකර නමැති පාපතරයන් දෙදෙනා ය.

මේ වන විට හෙරොයින් ජාලයේ කෙළිකාරයන් බවට පත්ව සිටින ‘හරක්කටා’ සහ ප‍්‍රියංකර සිය ජාවාරම් මෙහෙයවන්නේ ඩුබායි රාජ්‍යයේ සිටය.

අංගොඩ ලොක්කා මෙහෙයවූ පාතාල කල්ලියේ අලූත්ම නියමුවා බවට පත්ව සිටින්නේ මිදිගම නදුන් චින්තක වික‍්‍රමරත්න හෙවත් ‘හරක්කටා’ ය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙහෙයුම් කටයුතු මෙන්ම පාතාල ක‍්‍රියාකාරකම් සියල්ල හරක්කටා විසින් මෙහෙයවන අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ මුල්‍ය ගනුදෙනු කටයුතු මෙන්ම බෙදාහැරීම් සිදුකරන්නේ ප‍්‍රියංකර නමැති පාපතරයා විසින් ය. හරක්කටාගේ මත්ද්‍රව්‍ය කල්ලියට සම්බන්ධ වී ව්‍යාපාර කළ උන් කීපදෙනෙකුම පසුගිය දිනවල ඝාතනයට ලක්වූහ. වැලිගම මිරිස්ස ප‍්‍රදේශයේදී වෙඩිකා මියගිය ‘සන්ෂයින් සුද්දා’ ඉන් එකෙකි.

හරක්කටාගේ හෙරොයින් තොගයක් වංචා කිරීම සන්ෂයින් සුද්දාට ජීවිතයෙන් වන්දි ගෙවීමට හේතු වී තිබුණේය. හරක්කටාගේ අලූත්ම බිල්ල බවට පත්වූයේ පසුගිය 26 වැනිදා මුල්ලේරියාව මීගහවත්තේ දී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව අවසන් ගමන් ගිය ප‍්‍රනීත් රුවන් ය.

අංගොඩ ලොක්කා හරක්කටා ඇතුළු පාතාල මැරයන් සමඟ ප‍්‍රනීත් රුවන් කාලයක් තිස්සේ ගතකළ දීගය කෙළවර වන්නේ උන් අතින්ම මරණ සහතිකය ලියා ගනිමින්ය. ප‍්‍රනීත් රුවන් උපන්නේ මුල්ලේරියාවේය. මහලොකු වත්පොහොසත්කම් නැති පවුලක හැදී වැඩුනු ප‍්‍රනීත් පාසල් අධ්‍යාපනයෙන් පසු මුල්ලේරියාවේ රස්තියාදුකාරයන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගත්තේය. හරිහමන් රැකියාවක් නොමැති නන්නත්තාර ජීවිතයක් ගත කරමින් සිටි ප‍්‍රනීත් අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා සමඟ මිතුදමක් ගොඩනඟා ගත්තේය.

අංගොඩ ගිනිකෙළියේ මහ මොළකරු ජිලේ

ඒ වන විට වසර හත අටකට උදඞීය. ඒ වන විට අංගොඩ ලොක්කා පාතාල ලෝකයේ කෙළිකාරයකු බවට පත්ව සිටියේය. අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ කෙළිකාරයන් වූ චීටි, අලිචමින්ද ඇතුළු පාතාල මැරයන් කීපදෙනෙකුම ප‍්‍රනීත්ගේ සමීප මිතුරන් වන්නට වැඩි කාලයක් ගතවුණේ නැත.

‘‘ලොක්කා අයියෙ මමත් ජීවත්වෙන්නේ අමාරුවෙන් මොනවහරි බිස්නස් එකකට මාවත් සෙට් කරගන්නකො….’’

අංගොඩ ලොක්කා හමුවූ හැම අවස්ථාවකදීම වාගේ ප‍්‍රනීත් මේ ගැන කීවේය.

‘‘උඹට පුළුවන්ද මිනීමරන්න. උඹට පුළුවන්ද කප්පම් ගන්න. මංකොල්ලකන්න. උඹට ඔය කිසිදෙයක් කරන්න බැහැනේ. මොනවද මාත් එක්ක කරන බිස්නස්.’’

අංගොඩ ලොක්කා ප‍්‍රනීත්ගේ ඉල්ලීම ඉවත දමමින් කිවේය. එහෙත් ප‍්‍රනීත්ට වෙන විකල්පයක් තිබුණේ නැත. අංගොඩ ලොක්කා සමඟ එකට කටයුතු කිරීමට ඔහු දැඩි කැමැත්තක් දැක්වූයේය. එහෙත් මිනී මැරීමටවත්, කොල්ලකෑමටවත් වෙනත් අපරාධයක් කිරීමටවත් ප‍්‍රනීත්ට ශක්තියක් තිබුණේ නැත.

‘‘හරි උඹ මගේ කුඩු බිස්නස් එකටට සපෝර්ට් කරපං. මම මාසෙ අන්තිමට උඹට ගානක් එන විදිහට වැඩක් සෙට් කරන්නම්.’’

අංගොඩ ලොක්කා කීවේය. අපරාධවලට සම්බන්ධ වීමට අකමැති වුවද අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වීමට ප‍්‍රනීත් කැමැති වුණේය. එතැන් සිට අංගොඩ ලොක්කාට අයත් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කර දීමට, මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන මුදල් එකතුකර දීමට ප‍්‍රනීත් කටයුතු කළේය. දිළිඳු ජීවිතයක් ගත කරමින් සිටි ප‍්‍රනීත් ඔළුව උස්සන්නට පටන් ගත්තේ එතැන් සිටය. සමයං නමැති පාතාල මැරයා ඝාතනය කර අංගොඩ ලොක්කා ඉන්දියාවට පලායෑමෙන් පසු ප‍්‍රනීත්ගේ රාජකාරි වැඩි වන්නට පටන් ගත්තේය. ඉන්දියාවේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ අංගොඩ ලොක්කා ප‍්‍රනීත් තම කල්ලියේ සමීපතමයකු කරගත්තේය.

‘‘උඹ විශ්වාසවන්ත කොල්ලෙක් කියලා මම දන්නවා. මං උඹට දිගටම බඩු එවන්නම්. ඒවා විකුණලා, හරියට ගණන් බේරපන්. එතකොට මේ බිස්නස් එක දිගටම කරගෙන යන්න පුළුවන්.’’

අංගොඩ ලොක්කා ප‍්‍රනීත්ට කීවේය. ප‍්‍රනීත්ගේ අතමිට සරු වන්නට පටන් ගත්තේය. අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට එවන හෙරොයින් බෙදාහැරීමේ නියෝජිතයකු ලෙස ප‍්‍රනීත් කටයුතු කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා ප‍්‍රනීත්ට යහමින් මුදල් ලැබෙන්න වුණේය. කිසිම රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකර එවැනි මුදල් අතපත ගෑමට ලැබීම පිළිබඳව අසල්වාසීන් මෙන්ම පවුලේ ඥාතීන් ද සැක පහළ කරනු ඇතැයි සිතූ ප‍්‍රනීත් කිසියම් ව්‍යාපාරයක් කළයුතු බවට තිරණය කළේය. කමල් ප‍්‍රනීත්ගේ කල්‍යාණ මිතුරෙකි. පාසල් කාලයේ සිටම කමල්ව සමීපව ඇසුරු කළ ප‍්‍රනීත් අලූතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඔහු සම්බන්ධකර ගත්තේය.

මාර්ග දෙපස ඉන්ටලොක් ගල් ඇල්ලීමේ කොන්ත‍්‍රාත් භාරගන්නා ආයතනයක් ආරම්භ කළ ප‍්‍රනීත් සහ කමල් එය දියුණුකර ගැනීමට වෙහෙසුණේය. එහෙත් ප‍්‍රනීත්ගේ අභිප‍්‍රාය වී තිබුනේ වෙනත් අරමුණකි. අංගොඩලොක්කා සමඟ එක්ව කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන කළු සල්ලි එළියට දැමීමට හැකි මාර්ගයක් ලෙස ප‍්‍රනීත් මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගියේය. මේ කිසිවක් කමල් දැන සිටියේ නැත.

මීට වසරකට පමණ උඩදී අංගොඩලොක්කා රුපියල් කෝටි 10කට අධික වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් ප‍්‍රනීත් වෙත භාරදුන්නේය.

‘‘උඹ මේ බඩු ටික ඉක්මනට සල්ලි කරපං. මේවා කීපදෙනෙකුට බෙදිලා යන්න තියෙන සල්ලි. ඒ නිසා පුළුවන් ඉක්මනට මට සල්ලි ටික එවපං….’’

අංගොඩලොක්කා ඉන්දියාවේ සිට ප‍්‍රනීත්ට දුරකථනයෙන් කතා කර කීවේය.

‘‘හරි… හරි.. ලොකු අයියෙ මං මේ බිස්නස් එක කරලා දාන්නම්. දන්නවනේ මමත් කීයක්හරි හොයාගන්නේ මේ බිස්නස් එකෙන්නේ…’’

ප‍්‍රනීත් අංගොඩලොක්කාට කීවේය. හෙරොයින් කිලෝ 10 අලෙවි කිරීම දිනෙන් දිනම පමා වුණේය. මේ අතර අංගොඩලොක්කාට අයත් තවත් හෙරොයින් තොගයක් දකුණු මුහුදු තීරය හරහා රට තුළට ගෙන ඒමට

ගෝලබාලයන් කටයුතු කර තිබුණේය.

‘‘ ලොක්කා අයියා ඊයෙ පෙරේදා බස්සපු ලොට් එකෙන් බඩු ටිකක් මට එවන්න. මම ඒ ටිකත් විකුණලා දෙන්නම්.’’

ප‍්‍රනීත් අංගොඩලොක්කාට කීවේය.

‘‘උඹ ඉස්සෙල්ලා එව්ව කිලෝ දහයෙ ගණන් බේරුවෙත් නැහැනේ. ඒ ටික බේරලා හිටපං..’’

අංගොඩලොක්කා ප‍්‍රනීත්ට කීවේය.

‘‘හරි හරි මං ලෝඞ් දෙකේම සල්ලි එකපාර දෙන්නම්. මේ වෙලාවේ බිස්නස් එකක් කරගන්න පුළුවන් ඒකයි ඉල්ලූවේ.’’

ප‍්‍රනීත් මත්කුඩු තොගයක් නැවත ඉල්ලමින් අංගොඩලොක්කා ඉදිරියේ පිංසෙන්ඩු වුණේය.

‘‘හරි මං උඹට තව කිලෝ 10ක් දෙන්නම්. මාසයක් යන්න ඉස්සර කෝටි 20ක් මගේ එකවුන්ට් එකට වැටෙන්න ඕනෙ. නැත්නම් දන්නවනේ.’’

එසේ කියූ අංගොඩලොක්කා රුපියල් කෝටි 10කට අධික වටිනාකමෙන් යුත් තවත් හෙරොයින් කිලෝ 10ක් ප‍්‍රනීත්ට ලබා දුන්නේය. මේ ගනුදෙනුව සිදු වී වැඩි දවසක් යන්නට මත්තෙන් ප‍්‍රනීත් නොසිතූ දෙයක් සිදුවුණේය. ඉන්දියාවේදී හදිසි හෘදයාබාධයකට ලක් වූ අංගොඩලොක්කා අවසන් ගමන් ගියේය.

අංගොඩලොක්කාගේ මරණය ප‍්‍රනීත්ට රජ මඟුලක් විය. ඒ වන විට අංගොඩලොක්කා ප‍්‍රනීත්ට විකිණීම සඳහා රුපියල් කෝටි 20කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් කිලෝ 20ක් ලබා දී තිබුණේය. ප‍්‍රනීත් මේ හෙරොයින් තොගයේ කෝටි 10කට හෙරොයින් ඒ වන විටත් විකුණා මුදල් කරගෙන සිටියේය. එහෙත් ඒ වනතුරුත් ඔහු අංගොඩලොක්කාට ඒ මුදල් ලබා දී තිබුණේ නැත.

මේ අතර විශේෂ පොලිස් ඒකකයක් මගින් කළ වැටලීමකදී ප‍්‍රනීත්ට අයත් ඉතිරි හෙරොයින් කිලෝ 10 අත්අඩංගුවට පත්වුණේය. ප‍්‍රනීත්ගේ ගෝලයකු පොලිසියට කොටු වූ අතර ඔහු යන්තමට ගැලවුණේය. අංගොඩලොක්කාගේ හදිසි මරණයෙන් පසු ඔහුගේ ව්‍යාපාර හරක්කටා සහ ප‍්‍රියංකර අතට පත්විය. අංගොඩලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මූල්‍ය පාලන අංශය මෙන්ම බෙදා හැරීමේ අංශය භාරව කටයුතු කළේ ප‍්‍රියංකරය. අංගොඩලොක්කා ප‍්‍රනීත්ට අලෙවි කිරීමට ලබා දී තිබූ හෙරොයින්වල සියලූ වාර්තා ප‍්‍රියංකර සතුවිය. හරක්කටා සහ ප‍්‍රියංකර ප‍්‍රනීත්ට දුරකථනයෙන් කතාකර හෙරොයින් ගනුදෙනුව අවසන් කරන ලෙස දැනුම් දුන්නේය.

‘‘ලොක්කා උඹට දුන්න බඩුවලින් කිලෝ 10ක් පොලිසියට මාට්ටු වුණා. ඉතිරි කිලෝ දහයෙ ගණන් උඹ බේරලා නැහැ’’

ප‍්‍රියංකර ප‍්‍රනීත්ට කතාකර අදාළ හෙරොයින් ගනුදෙනුව අවසන් කරන ලෙස දැනුම් දුන්නේය.

‘‘මං ඒ කිලෝ දහයෙ ගණන් ඒ දවස්වල බේරුවා. අංගොඩලොක්කගෙ එකවුන්ට් එකට කෝටි 10ක් සල්ලි දැම්මා. ඒ ඞීල් එක ඉවර වෙලා ගොඩක් දවස්.’’

ප‍්‍රනීත් ඇඟට පතට නොදැනෙන්න කීවේය.

‘‘ප‍්‍රනීත් උඹ බොරු කියන්න එපා. ලොක්කගෙ එකවුන්ට් එකට සල්ලි වැටුන නම් මං ඒ හැම එකක්ම දැන ගන්නවා. ඒත් උඹ ඒ ලොට් එකේ ශත පහක් දීලා නැහැ. මෙතන ප‍්‍රශ්න ඇති කරන්නෙ නැතුව ගණන් බේරපන්. නැත්නම් දන්නවනෙ නිකන් ලෙඩ දාගන්න එපා. ’’ ප‍්‍රියංකර ප‍්‍රනීත්ට තර්ජනය කළේය. එහෙත් ප‍්‍රනීත් ඒ කිසිවක් ගණනකට ගත්තේ නැත. මේ අතර හරක්කටා ද අවස්ථා කීපයකදීම ප‍්‍රනීත්ට දුරකථනයෙන් කතාකර අදාළ හෙරොයින් ගනුදෙනුව අවසන් කරන ලෙස දැනුම් දුන්නේය.

එහෙත් ඒ හැම අවස්ථාවකම ප‍්‍රනීත් කීවේ අංගොඩලොක්කාට අදාළ ගනුදෙනුවේ මුදල් ලබා දුන් බවයි.

අංගොඩලොක්කා මුලින් එවූ හෙරොයින් කිලෝ දහය අලෙවි කර උපයා ගත් රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් ප‍්‍රනීත් තමන් සන්තක කරගෙන තිබුණේය. අංගොඩලොක්කා හදිසියේම මියයෑම නිසා ඒ මුදල් ආපසු ලබාදීමට අවශ්‍ය නැති බව ප‍්‍රනීත් සිතා සිටියේය. අදාළ ගනුදෙනුවේ මුදල් කලින් ගෙවා දමා තිබූ බවට හරක්කටාට සහ ප‍්‍රියංකරට පවසා වංචාවක් කිරීමට ප‍්‍රනීත් උත්සාහ ගත්තේය. ඒ වන විට ප‍්‍රනීත් සිටියේ නිධානයක් පහළ වුවාක් මෙන්ය. රුපියල් කෝටි දහයක මුදලකින් ඔහු අති සුඛෝපභෝගී ජීප් රථයක් මිලට ගත්තේය. රුපියල් ලක්‍ෂ ගණනක මුදල් වැය කර නිවස නවීන පන්නයට ඉදිකළේය.

පදින්නට පාපැදියක්වත් නොමැතිව නන්නත්තාර වී සිටි ප‍්‍රනීත් එකවරම අති සුඛෝපභෝගී ජීප් රථ මිලට ගැනීම දෙස හරක්කටා සහ ප‍්‍රියංකර නිරීක්‍ෂණය කරමින් සිටියහ. මූ අපිට කොකා පෙන්වන්න හදන්නේ. ලොක්කගෙ බඩු ටික හොරෙන්ම විකුණගෙන මූ දැන් කෝටිපතියෙක් වෙලා. අපේ සල්ලි ශත පහක්වත් දුන්නෙ නැහැ. ඒ මදිවට අපිවත් අන්දන්න එනවා. අනිත් උන්ටත් දැනෙන්න එක්ක මූට පාඩමක් උගන්වන්න ඕනෙ.’’

හරක්කටා තම කල්ලියේ මහමොළකරු ලෙස හඳුන්වන ප‍්‍රියංකරට කීවේය. ප‍්‍රනීත්ට මරණ වරෙන්තු නිකුත් කරන්නේ ඉන් අනතුරුවය.

‘‘අපි මේ වැඬේ ජීලෙට බාර දෙමු.

අංගොඩලොක්කාගෙ ගේම් ටික සේරම දුන්නෙ ජීලෙ. මමත් මිනිහට කියලා වැඩ කිපයක් කරගත්තා. ජීලේ අත ගැහුවොත් වැඬේ තිතට කරනවා.’’ හරක්කටා සිය කල්ලියේ මහමොළකරු වන ප‍්‍රියංකරට කීවේය. ප‍්‍රනීත් පරලොව යැවීමේ කාර්යය ජීලේ නමැති මිනිමරුවාට භාරදෙන්නට හරක්කටා කටයුතු කළේය.

පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් දනුෂ් බුද්ධික හෙවත් ජීලේ 30 හැවිරිදිය. නිත්‍යනුකූලව විවාහ වී සිටියද මේ වන විට ඔහු සිටින්නේ අනියම් බිරිඳක සමඟය. මුල්ලේරියාව නව නගරයේ පදිංචිව සිටින ජීලේ අංගොඩ ලොක්කාගේ කල්ලියේ අළුගෝසුවාගේ කාර්යය ඉටුකළේය. අංගොඩ ලොක්කාගේ හදිසි මරණයෙන් පසු හරක්කටාගේ කල්ලියට එක් වූ ජීලේ මිනිස් ඝාතන රැසක් සිදුකළ මහා අපරාධකරුවකු බවට පත්ව සිටියේය.

අංගොඩ ලොක්කාගේ නියෝග මත 2019 වර්ෂයේ නොවැම්බර් මස 7 වැනිදා පාදුක්ක ගලගෙදර ප‍්‍රදේශයේ බූරු දර්ශන නමැත්තාට වෙඩිතබා ඝාතනය කර තිබුණේ ජීලේ විසින් ය. අංගොඩලොක්කා සමඟ ඇති වූ ආරවුලක් මත හංවැල්ල ප‍්‍රදේශයේදී පස් සුමේධ සහ ඔහුගේ සගයකුට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ ද ජීලේ ඇතුළු පාතාල සගයන් ය. කොට්ටාව නගරයේ රූපලාවණ්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මංජුලා සඳුනි අබේරත්න නමැති කාන්තාව මරා දැමුවේ ද ජීලේ විසින් ය. ඒ ඝාතනය සිදුවන්නේ ද අංගොඩලොක්කාගේ උපදෙස් මතය.

2018 වර්ෂයේ ඔක්තෝබර් මස 05 වැනිදා මුල්ලේරියාව නගරය උණුසුම් කරමින් පොට්ට චානා නමැත්තාට වෙඩිතබා ඝාතනය කර පලාගොස් තිබුණේ ද ජීලා විසින් බව පොලිසිය පසුව අනාවරණය කර ගත්තේය.

අංගොඩ ගිනිකෙළියේ මහ මොළකරු ජිලේ

එමෙන්ම පසුගියදා මිරිස්ස ප‍්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩිතබා පලායන්නේ ද ජීලේ විසින් බවට පොලිසියට මේ වන විට තොරතුරු ලැබී තිබෙයි. ඒ ඝාතනය සිදුවන්නේ හරක්කටාගේ අවශ්‍යතාවය මතය. මේ ආකාරයට මිනිස් ඝාතන රැසක් සිදුකළ ජීලේ ප‍්‍රනීත් ඝාතනය සඳහා යොදා ගැනීමට හරක්කටා කටයුතු කළේය. හරක්කටා ඉතාම උපායශීලීව සිය අපරාධ මෙහෙයවන පුද්ගලයකු ලෙස ප‍්‍රසිද්ධය. ප‍්‍රනීත් ඝාතනය සඳහා ද මොහු ඒ උපායන් යොදා ගත්තේය.

පාර්ශ්ව කීපයක් මේ මිනී මැරුම සඳහා හරක්කටා සම්බන්ධ කර ගෙන සිටියේය. එක් එක් පාර්ශ්ව එකිනෙකා හඳුන්වාදීමට කටයුතු නොකළ අතර ඔවුන් සියලූදෙනා මෙහෙයවනු ලැබුවේ හරක්කටා විසින් ය.

පසුගිය ඔක්තෝබර් 31 වැනිදා රාත‍්‍රියේ හරක්කටා ඩුබායි රාජ්‍යයේ සිට ජීලේගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේය. ඒ වන විට වෙනත් පාර්ශ්වයක් හරහා ප‍්‍රනීත් ඝාතනය සඳහා අවශ්‍ය උපදෙස් ජීලේට ලබාදීමට හරක්කටා කටයුතු කර තිබුණේය. දුරකථන ඇමතුම ලබා ගත් හරක්කටා ‘‘මම සී අයියා කථා කරන්නේ’’ යනුවෙන් කියා සිටියේය. ජිලේට මේ දුරකතන ඇමතුම ලබා දී තිබුනේ ප‍්‍රනීත් ඝාතන සැලසුම ක‍්‍රියාත්මක කිරීම සඳහාය. එතැන් සිට හරක්කටා ජීලේට නිතර නිතරම ජංගම දුරකථනය මගින් ඩුබායි සිට ඇමතුම් ලබා ගත්තේය. ඒ හැම ඇමතුමක් ම ජීලේගේ දුරකථනයේ පටිගත වුණේය.

හරක්කටා ජීලේට ලබාදුන් හැම ඇමතුමක්ම රහස් වචන පාවිච්චි කරමින් කතා කිරීමට වගබලා ගෙන තිබුණේය. කිසිම අවස්ථාවක ඔහු තමන් නදුන් චින්තක නොහොත් හරක්කටා බව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස කතා කිරීමට වගබලා ගත්තේය. ජීලේ සහ හරක්කටා අතර දුරකථන සංවාද දිගින් දිගටම පැවති අතර ඔක්තෝබර් 24 වැනිදා රාත‍්‍රියේ ප‍්‍රනීත් ඝාතන සැලසුමේ අවසන් උපදෙස් ඔහුට ලැබුණේය. ඒ වන විට ප‍්‍රනීත් ඝාතනය සඳහා මිලි මිටර් 9 වර්ගයේ ගිනිඅවියක් ජීලේ වෙත ලැබෙන්නට සලස්වා තිබුණේ ය. ඝාතනය සඳහා යෑමට අවශ්‍යකරන යතුරුපැදිය මෙන්ම එය පැදගෙන යැමට සහායකයකු ද සූදානම් කර තිබුණේය. එදින හරක්කටා ජීලේට කතා කළේය.

‘‘මල්ලී කොහොමද කාමරේද ඉන්නේ’’

‘‘ඔව් සී අයියා. මං කාමරේ. අරයා අරක සුද්ධ කරනවා.’’

ජීලේ කීවේය. අරක සුද්ධ කරනවා යනුවෙන් ජීලේ කීවේ පිස්තෝලය සූදානම් කර තිබෙන බවය.

එදින රාත‍්‍රියේ හරක්කටා ජීලේගේ ජංගම දුරකථනයට වීඩියෝ දර්ශන හතරක් එවා තිබුනේය. ඒ වීඩියෝ දර්ශනවල තිබුණේ මිලි මීටර් 9 පිස්තෝලය ක‍්‍රියාත්මක කරන ආකාරය ය. ඒ වීඩියෝව නැරඹූ ජීලේ පිස්තෝලය ක‍්‍රියාකරන ආකාරය පරීක්‍ෂාකර එය සූදානම් කර ගත්තේය. හරක්කටා ප‍්‍රියංකර ඇතුළු පාතාල නඩය තමන් ඝාතනය කිරීමට සැලසුම් සකස් කරගෙන සිටින බව ප‍්‍රනීත් දැන සිටියේ නැත. ඔහු සුපුරුදු පරිදි සිය දෛනික කටයුතුවල නිරත වෙමින් සිටියේය.

ඔක්තෝම්බර් 25 වැනිදා රාත‍්‍රිය ජීලේට දීර්ඝ එකක් විය. එදින රාත‍්‍රියේද හරක්කටා ජීලේගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේය.

‘‘සී අයියෙ මෙන්න මේ ෆොටෝ එක චෙක් කරලා කියන්න හරියටම ඉන්නෙ ප‍්‍රනීත්ද කියලා.’’

ජීලේ හරක්කටා වෙත ප‍්‍රනීත්ගේ ඡායාරුපයක් වට්ස්ඇප් මාර්ගයෙන් යැව්වේය.

‘‘මූ තමයි මිනිහා. මේකව ඉවරයක් කරලා දාපං. අපි උඹව ඩුබායිවලට ගන්නවා. උඹ කිසි දේකට බයවෙන්න එපා. උඹ ?ට බියර් එකක් බීලා හොඳට කාලා නිදාගනින් ’’හරක්කටා ජීලේට කීවේය.

26 වැනිදා උදාවිය. එදින අලූයම් කාලයේ හරක්කටා ජීලේට ඇමතුමක් ලබා ගත්තේය.

‘‘ප‍්‍රනීත් මේ වෙලාවේ නිදි ඇති. ගෙට ඇතුළුවෙලා කාමරේටම ගිහින් වැඬේ කරපං. යන්න ඉස්සරවෙලා බයික් එක ස්ටාර්ට් වෙනවද කියලා හරියටම චෙක්කර ගනින්.‘‘

හරක්කටා ජිලේට අවසන් උපදෙස් මාලාව ද ලබා දුන්නේය. තම සගයා සමඟ යතුරුපැදියේ නැගුණු ජීලේ මුල්ලේරියාව නගරය දෙසට ඉගිලූණේය. ඒ වන විට යන්තමින් එළිය වැටෙමින් තිබුණේය. මුල්ලේරියාව ප‍්‍රදේශය ඒ වන විට ඒතරම් ජනාකීර්ණ වි තිබුණේ නැත. ජීලේ සහ සගයා රැගත් යතුරුපැදිය මුල්ලේරියාව මීගහවත්ත ප‍්‍රදේශයට සේන්දු වුණේය. ප‍්‍රනීත් අලූතින් ඉදිකළ නිවස පසුකර ගිය යතුරුපැදිකරුවන් විහාරස්ථානයක් අසල නතර වුණේය. ඒ වන විට ජීලේ දුරකථනය ඔස්සේ හරක්කටා සමඟ සම්බන්ධ වී සිටියේය.

‘‘අරූ ඉස්සරහ කාමරේ නිදාගෙන ඉන්නේ. පැනපු ගමන් ඔළුව කුඩු වෙන්න තියපං. මාට්ටු වෙන්නෙ නැතුව ආපහු පැනගන්න ඕනෙ.’’ හරක්කටා ජීලේට කීවේය. යතුරුපැදිය ප‍්‍රනීත්ගේ නිවස ඉදිරිපිට නතර කළේය. ඒ වන විට ප‍්‍රනීත්ගේ නිවසේ ඉදිරිපස දොර වසා දමා තිබුණේය. ජීලේ නිවස අසලට ගොස් දොරට තට්ටු කරන්න වුණේය.

‘‘අපි පොලිසියෙන් දොර අරිනවා.’’ ජීලේ කෑ ගැසුවේය. ප‍්‍රනීත්ගේ වැඩිමහල් සොහොයුරු ඉදිරිපස දොර විවෘත කළේ කුතුහලයෙන් යුතුවය. ජීලේ සහ සගයා එකවරම නිවසට කඩා පැන්නේය.

‘‘කෝ ප‍්‍රනීත් කොහෙද ඉන්නේ. පෙන්නපල්ලා. නැත්නම් තියනවා ඔළුකටු කුඩු වෙන්න.’‘ ජීලේ කෑ

ගැසුවේය. නිවසේ ඉදිරිපස කාමරයේ දොර වසා දමා තිබුණේය. ජීලේ එල්ල කළ වේගවත් පා පහරින් දොර විවෘත වුණේය. ප‍්‍රනීත් ඒ වන විටත් සිටියේ නිදිසුව විඳිමින් ය. ප‍්‍රනීත්ගේ නිදියහන අසලට ගිය ජිලේ එක්වරම මිලිමීටර් 9 ගිනිඅවිය කි‍්‍රයාත්මක කළේය.

මුලූ මුල්ලේරියාවම උණුසුම් කරමින් පිට වූ ඒ වෙඩි ප‍්‍රහාරය ප‍්‍රනීත්ගේ හිස විනිවිද ගියේය. ඒ වන විට ප‍්‍රනීත්ගේ මස්සිනා කාමරයේ මෙට්ටයක් දමාගෙන බිම නිදා සිටියේය. මස්සිනා එකවරම ජීලේගේ කකුල බදාගෙන ඔහු අල්ලා ගැනීමට උත්සාහ කළේය. ඒ වන විට දැඩි ලෙස කලබලයට පත්ව සිටි ජීලේ මස්සිනාගෙන් බේරීමට උත්සාහ කළේය. එය අපහසු වූ තැන පිස්තෝලය ඔහුගේ මුව දෙසට ළංකර ක‍්‍රියාත්මක කළේය. මස්සිනාගේ මුඛය හරහා වෙඩි උණ්ඩයක් ගමන් කළේය. සිය ප‍්‍රහාරය සාර්ථක කර ගත් ජීලේ ප‍්‍රනීත්ගේ නිවසින් පිටතට පැන්නේය. ඒ වන විට ජීලේගේ කලිසම් සාක්කුවේ තිබු ජංගම දුරකතනය විසි වී ගොස් නිවස ඉදිරිපිට මල් පෝච්චියක් අතරට වැටුණේය.

ජීලේ සහ සගයා යතුරුපැදියේ නැගි නොපෙනී ගියේ ප‍්‍රනීත් ඝාතනය සාර්ථකව නිම කළ බවට හරක්කටාට දැනුම් දෙමින් ය. නිවාසවලට පැන මහ දවල් නිරායුධ මිනිසුන් ඝාතනය කිරීම පසුගිය කාලය පුරාවට සිදුවුණේ නැත. එහෙත් පාතාලය නැවතත් ශක්තිමත් වෙමින් ඔවුන්ගේ පෙර ක‍්‍රියාකාරකම්වලට ජීවයක් දෙමින් සිටින්නේ පොලිසියට ද අභියෝග කරමින්ය.

මුල්ලේරියාවේ මේ ප‍්‍රහාරය සැල වූ වහාම එම ස්ථානය වෙත ගොස් විමර්ශන ක‍්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කළේය. ජිලේගේ සාක්කුවෙන් වැටුණු ඔහුගේ ජංගම දුරකතනය ප‍්‍රනීත් ඝාතනයට අදාළ තොරතුරු රැසක් ලබාදීමට පොලිසියට උපකාරි වුණේය. ජීලේගේ ජංගම දුරකථනයේ තිබී හරක්කටාගේ හඬපට රැසක් පොලිසිය සොයා ගත්තේය එමෙන්ම ප‍්‍රනීත් ඝාතනය කළ ජීලේගේ ඡායාරුප රැසක් ඇතුළු තවත් වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට පොලිසියට හැකි විය.

ප‍්‍රනීත් ඝාතනය කිරිමෙන් පසු ජීලේ රටින් පලා ගොස් ඩුබායි රාජ්‍යයට ඇතුළුවීමට සැලසුම් කරගෙන සිටින බව පොලිසිය අනාවරණය කර ගත්තේය. ජීලේගේ ජංගම දුරකතනය ලියාපදිංචි කළ පුද්ගලයා පිළිබඳව සොයා බැලීමේදී පොලිසිය අන්දමන්ද විය. ඒ දුරකතන සිම්කාඞ්පතේ හිමිකරු වූයේ පස්සර පොලිසියේ කොස්තාපල්වරයෙකි. නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලලිත් අබේසේකර පොලිස් අධිකාරි රොහාන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත පස්සර පොලිසියේ රාලහාමිගේ වතගොත සොයා බැලූහ. අවසානයේ හෙළිවුණේ පස්සර රාලහාමිගේ ජාතික හැඳුනුම්පත කොළඹදී නැති වී ඇති බවය. මේ හැඳුනුම්පත යොදාගෙන ජීලේ සිම් කාඞ්පත් මිලදී ගෙන තිබූ බව පසුව අනාවරණය වුණේය. තම හැඳුනුම්පත නැතිවීම පිළිබඳව කොස්තාපල්වරයා පොලිසියේ පැමිණිල්ලක් ද දමා තිබුනේය. එසේ නොවන්නට රාලහාමිටත් සිදුවන්නේ මාර අකරතැබ්බයකට මුහුණදීමටය.

ප‍්‍රනීත් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු රාශියක් මේ වන විට පොලිසිය සොයාගෙන හමාරය. නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරින් නිවැරදි මාර්ග ඔස්සේ යමින් ජිලේ නීතියේ රැහනට නතුකර ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක කර හමාරය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment