අංගොඩ ‘ගිනි කෙළිය’ හරක් කටාගේ වැඩක් – වෙඩි තියා ඇත්තේ ජිලේ

723

අංගොඩ මීගහවත්ත ප‍්‍රදේශයේ නිවසකට කඩාවැදී ධනවත් කොන්ත‍්‍රාත්කරුවකුගේ හිසට වෙඩිතබා ඝාතනය කර ඔහුගේ මස්සිනාගේ කටට වෙඩිතබා බරපතළ තුවාල කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් ‘හරක්කටා’ විසින් බව මේ වන විට අනාවරණය වී ඇත.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ ‘හරක්කටාගේ’ කල්ලියේ මිනිස් ඝාතකයා ලෙස නම් දරා සිටින ධනුෂ්ක බුද්ධික හෙවත් ජීලේ නමැත්තා විසින් බව ද හෙළි වී තිබේ.

මෙම ඝාතනය සිදු වූ ස්ථානයේ වැටී තිබූ සැකකරුවන්ට අයත් ජංගම දුරකථනයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඒ ඔස්සේ විමර්ශන කටයුතු ක‍්‍රියාත්මක කරන බව ද පොලිසිය පවසයි.

විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට හරක්කටා විසින් මෙරටට එවන ලද රුපියල් කෝටි 8කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් විකිණීම සඳහා අංගොඩ මීගහවත්තේ පදිංචිව සිටි ඝාතනයට ලක් වූ කොන්ත‍්‍රාත්කරුට ලබා දී තිබිණි. එම හෙරොයින් තොගය අලෙවි කිරීමෙන් පසු අදාළ මුදල් හරක්කටා වෙත ලබා නොදීම නිසා ඔවුන් කොන්ත‍්‍රාත්කරු සමඟ දැඩි වෛරයකින් පසු වී ඇත.

අවස්ථා කීපයකදීම මෙම මුදල් හෝ හෙරොයින් තොගය ආපසු ලබාදෙන ලෙස හරක්කටා දැනුම් දීම් කර තිබුණ ද කොන්ත‍්‍රාත්කරු මඟහරිමින් එම මුදල් ලබා දී නැත.

මෙම මත්ද්‍රව්‍ය ආරවුල හේතුකොට ගෙන හරක්කටාගේ නියෝග මත ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි. හරක්කටා මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප‍්‍රධානියකු ලෙස කටයුතු කරමින් සිටියි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, පොලිස් අධිකාරි රොහාන් පෙරේරා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment