අංගොහාමිගේ මිණිපිරිය ෆයිසර් අරගෙනද?

2379

අවුරුදු 80 පැන්න අර්ධ නාගරික මිත්තනියක වන අංගෝහාමිට වෛරස් සහ බැක්ටීරියා සම්බන්ධයෙන් වෙනම අර්ථ නිරූපණයක් තිබේ. ඇසට නොපෙනෙන බැවින් එම වෛරස් හා බැක්ටීරියා ඇය විසින් හඳුන්වනු ලබන්නේ අමනුෂ්‍ය බලවේග ලෙසය. අනුදක්නය සොයාගැනීමට පෙර පැවති මධ්‍යකාලීන ලෝකයේ සියලූම ලෙඩ රෝග සාදන ලද්දේ දෙවියන් විසින් හෝ මළපෙරේතයන් විසිනි. එහෙත් 1610 දී ගැලීලියෝ ගැලිලි විසින් දුරදක්නය සොයා ගැනීමත් 1625 දී අනුදක්නය නිර්මාණය වීමත් සමගම ලෙඩ රෝග ඇතිකරන මළපෙරේතයන් ඇසින් දැක ගැනීමට ලෝකවාසී ජනයාට හැකි විය. එහෙත් අංගෝහාමි ඒ කිසිවක් විශ්වාස නොකළාය.
2020 දී කොරෝනා රෝගය පැතිර ගොස් මාස කිහිපයක් ගතවන විට වැක්සීන් කරගැනීමේ අවශ්‍යතාව රජය විසින් ජනතාවට දන්වන ලද නමුත් අංගෝහාමි ඒ ගැන තැකීමක් කළේ නැත. මේ අතර මුලින් ඇස්ට‍්‍රාසෙනෙකා ද දෙවනුව සයිනෝෆාම් ද ලංකාවට පැමිණියේය. මේ දෙකම විදගැනීම ප‍්‍රතික්ෂේප කළ අංගෝහාමි ගස් ගල් වඳිමින් දෙවියන්ට යාතිකා කරමින් බාල කොලිටියේ පෙරුම්කායම් කැබලි අතේ බඳිමින් කොත්තමල්ලි පානය කර විෂබීජයට අභියෝග කිරීමට උත්සාහ කළාය. එහෙත් වැඬේ හරිගියේම නැත. කොවිඩ් 19 වැළඳුනු අංගෝහාමි දින කිහිපයක් තුළ නිව්මෝනියාවෙන් මළ බව සංවේගයෙන් සටහන් කරමු. ඇය මිය පරලොව ගියේ අවිද්‍යාව මත පදනම් වූ සිය කැමැත්ත උඩය.

අංගෝහාමිගේ දුව කරුණාවතී ය. ලෙඩ රෝග හැදෙන්නේ පෙරේත දෝෂ නිසාද, නොඑසේ නම් වෛරස් සහ බැක්ටීරියා නිසාද යන කාරණය ගැන ඇයට පැහැදිලි මතයක් නොවීය. මේ නිසා දෙවියන්ට යාතිකා කිරීමත් ලෙඩට බෙහෙත් ගැනීමත් අත් එන්නත් කිරීමත් ඇය සිදු කළාය. ඒ අනුව සයිනොෆාම් ලංකාවට පැමිණි මුල් අවස්ථාවේදීම එය ගසාගත් ඇය මරණයට ඇති බිය නිසාම මාස්ක් එකත් දමාගෙන පරිස්සමින් ගෙදරට වී සිටියාය. ඒ අතර කොටහළු පාටියක් සඳහා ඇයට ආරාධනාවක් ලැබිණ. පාටියට සහභාගි වූ ඇය තෙදිනක් තුළ කොවිඩ් රෝගියකු බවට පත්ව රෝහල්ගත වූ අතර සයිනොෆාම් එන්නත් දෙකම ලබාගෙන තිබූ බැවින් සිය මව වූ අංගෝහාමි හමුවීම සඳහා එළොව යෑමෙන් වැළකී සිටියාය.

ගයනි කෞශල්‍යා වූ කලී කරුණාවතී ගේ දියණියයි. එබැවින් ඇය අංගෝහාමි ගේ මිනිපිරියද වූවාය. ඇස්ට‍්‍රාසෙනෙකා විදින විට ඇය එය මගහළේ පෝලිමේ සිටීමට බැරි බව කියමිනි. ස්පුට්නික් ගහනවිට ඒවා හැමතැනම නැති බැවින් දෙවැනි එන්නත විදගැනීමට නොහැකි වන බව කියූ ඇය මගහැර සිටියාය. මීළඟට එන්නේ සයිනොෆාම් ය. ඇය එයටද විරුද්ධය. එයට ප‍්‍රධාන හේතුව එය චීන බඩුවක් වීමය. ඇත්ත හේතුව එය විදගැනීම සඳහා ද දිග පෝලිමක් තිබීමය. තමා විදගන්නවා නම් විදගන්නේ ඇමරිකාවේ ෆයිසර් එන්නතම බව ඕ කියන්නීය.
ෆයිසර් එන්නත හම්බන්තොට ගහන විට එහි යෑමට ඇයට දුර වැඩිය. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි අයට ආමි හොස්පිටල් එකේදී ෆයිසර් ගහන විට එය විද ගැනීමට ඇයට සුදුසුකම් නැත. මේ අතර කොවිඩ් 19 වෛරසය නිරන්තරයෙන් ඇය අවට කැරකී තිබේ. එහෙත් ප‍්‍රතිශක්තිකරණය (මෙය කර්ම ශක්තිය ලෙසද හැඳින්විය හැකිය) තවම සිය ගැරන්ටිය අවසන් කර නැති නිසා ගයනි කෞශල්‍යා කොරෝනාවෙන් බේරෙමින් සිටී. මේ දිනවල සයිනොෆාම් විදගැනීමට පෝලිම් නැත. එහෙත් ෆයිසර් පිස්සුව නිසා ඇය මළත් ෆයිසර් මිස වෙන යමක් විද ගන්නේම නැත.

ඉහත සඳහන් සාම්පල තුන එනම් අංගෝහාමි, කරුණාවතී සහ ගයනි කෞශල්‍යා යනු එදිනෙදා ජන සමාජයේදී අප දකින සාම්පල තුනකි. පළමු සාම්පලය අන්ත විඤ්ඤාණවාදී නූගත් සාම්පලයකි. දෙවනි සාම්පලය යනු භාගෙට උගත් විඤ්ඤාණවාදීත් නොවන, එසේ නොවනත් නොවන එහෙත් මරණයෙන් බේරීම සඳහා හොඳ ඔප්ෂන් එකකට යෑමට කැමති සාම්පලයකි. තුන්වැනි සාම්පලය වූ ගයනි කෞශල්‍යා නව්‍යවාදයෙන් ඔළුව කුණු කරගත් පිස්සු සාම්පලයකි. ඇය ෆයිසර් ගැන අසා තිබෙනවා මිස එයින් සිදුවන්නේ කුමක්දැයි නොදනී.

දැනගැනීමට ඇති පරිදි මෙරට නාගරික ජනගහනයෙන් වැඩි පිරිසක් ෆයිසර් පිස්සුවෙන් උමතු වී සිටිති. උදාහරණයක් වශයෙන් කොළඹ නගර සීමාව තුළ කොවිඩ් එන්නත ලබාගැනීමට නියමිත තරුණ ප‍්‍රජාව 97000 කි. මෙයින් තුනෙන් එකක් ඇස්ට‍්‍රාසෙනෙකා හෝ සයිනොෆාම් විදගෙන සිටින අතර සෙසු අය ෆයිසර් එනතුරු බලා සිටිති. එසේ බලාසිටීම යනු කොවිඩ් 19 ඇඟට එනතුරු බලා සිටීමය. බාල තරුණ මහලූ වෙනසක් නැති කොවිඩ් 19 වෛරසය එන්නත නොවිදගත් ඕනෑම කෙනකු අනුභව කිරීමට කැමතිය.

ෆයිසර් මතවාදය වැනි පිස්සු මතවාද ඇති අය සිටින්නේ ලංකාවේ පමණක් විය යුතුය. කොවිඩ් 19 සඳහා මේ වන විට එන්නත් සිය ගණනක් නිපදවී තිබේ. එයින් විස්සකට පමණ ලෝක සෞඛ්‍ය සංවිධානය නමැති ආයතනයේ අවසරය ලැබී ඇත. කොවිඩ් 19 සඳහා එන්නත් නිපදවා ගත් හැම රටක්ම වාගේ තම රටේම ජනතාවට විදින ලද්දේ තමන් නිපදවූ එන්නතය. උදාහරණයක් වශයෙන් රුසියාව තමන් නිපදවූ ස්පුට්නික් සහ ස්පුට්නික් ලයිට් එන්නත් මුළු රටටම විද්දේය. කසකස්තානය තම රටේ නිපදවූ ක්වැක්ස් කොවිඩ් – ඉන් වෛරසය මුළු රටටම විද්දේය. තමන්ගේ අල්ලපු රට වූ රුසියාවේ නිපදවූ ස්පුට්නික් එන්නත දිහා ඔවුන් හැරිලාවත් බැළුවේ නැත. මුළු මහත් ඉරාන ජනතාව විදගත්තේ ඒ රටේ නිපදවූ කොවිරාන් බරකාත් එන්නතය. කියුබානුවෝ සියලූදෙනා ඔවුන්ගේ රටේ නිපදවූ අබ්දාලා වැක්සිනය විද ගත්හ. මේ රටේ සිටින ඔල්මාදකාරයෝ ෆයිසර් පිස්සුවෙන්ම පෙළෙති. එහෙත් ෆයිසර් ට කලින් කොවිඩ් 19 ආවොත් ලැබෙන උත්තරය මරණයයි.

advertistmentadvertistment
advertistmentadvertistment