අක්කරපත්තුවේ මහා පරිමාණ කලපු ගොඩකිරීමේ ජාවාරම…

421

කලපු 03 විනාශයි… වසර 05 ක් ඉඳන් සිදුවෙනවා…

රාජ්‍ය නිලධාරීනුත් ජාවාරම්කාරයන්ට උදව්…

ලොකු පොල් ගස් ගලවා ගෙනවිත් සිටුවයි….

ඇතැම් ග‍්‍රාම සේවා නිලධාරීන්ටත් ඉඩම්….

පොලිසියෙන් බේරෙන්න පැය භාගයෙන් ලිපි ලේඛන හදයි…

මෙරට විනාශ කරන්නේ දේශපාලනඥයන් යැයි බොහෝ දෙනෙක් කියති. නමුත් බොහෝ රාජ්‍ය නිලධාරීන් ද කිසිදු හිරිකිතක් නොමැතිව මේ රට විනාශ කිරීමට දායකත්වය දෙන බව ඉතා පැහැදිලිය. මේ කථාව තිත්ත ඇත්තකි. ලංකා නීතියට යටින් සිදුවෙන අවිචාරමත් ක‍්‍රියාදාමයකි.

අවිනීතිය, නීතියක් කරගනිමින් සිදුකරන අක්කරපත්තුවේ කලපු ගොඩකිරීමේ මහා ජාවාරමේ සුල මුල පිළිබඳ රාජ්‍ය යාන්ත‍්‍රණයේද අශිෂ්ට බව මේ පිළිබඳව සොයා බලන පොඩි දරුවෙකුට පවා පැහැදිලිව පෙනී යයි.

අක්කරපත්තු පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටා තිබෙන සම්බු, උප්පලම් සහ පිල්ලෙයාර් යන කලපු 3 අයත් වනු ලබන්නේ අට්ටාලච්චේන සහ අක්කරපත්තුව යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප‍්‍රදේශය වලටය. උප්පලම් කලපුව අයිතිය අට්ටාලචේන ප‍්‍රාදේශීය ලේකම් බල කොට්ඨාසයටය. පිල්ලේයාර් අයිති අක්කරපත්තුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය.

සම්බු කලපුව අක්කරපත්තුව සහ අට්ටාලචේන යන බල ප‍්‍රදේශ දෙකටම අයත්ය. නමුත් ඒවාට අත්ව තිබෙන ඉරණම ඉතාමත් කනගාටුදායකය. මේ වන විට ප‍්‍රදේශවාසීන් තමන්ට හිතු මනාපයේ දිගින් දිගටම මේ කලපු ගොඩ කිරීම මහා පරිමාණව සිදු කරගෙන යමින් සිටිති. අපි එම මාර්ග ඔස්සේ ගමන් අරඹන්නට වූ අතර ආරක්ෂණ කලාපයක් වූ එම කලපු ප‍්‍රදේශයට සිදුව ඇති හානිය දුටු විට හද කකියවන්නට විය.

මීට වසර කිහිපයකට පෙරදී මෙම කලපු දියේ කඩොලාන ශාක අතරින් පෙම් කෙළිමින් සිටි පැස්තුඩුවන්, හබන් කුකුළන් ඇතුළු නෙක නෙක මාදිලියේ පක්ෂීහු දැන් දකින්නට නොමැත. දකින්නට ඇත්තේ තැනක පස් පුරවා ගොඩකර සැදූ දෙමහල් ගොඩනැගිලිය. තවත් තැනක තෙමහල් ගොඩනැගිලි ය. ඉදි කළ සහ ඉදිකිරීම කරමින් පවතින නිවාස ය.

සිතු මනාපේ පස් පුරවා පාරවල් සකස් කර, ඇළවල් වසා දමා මාවත් ඉදිකර ඇති අයූරුය. දැනටමත් ඉතිරිව ඇති මානෙල්, ඕලූ, පන් ආදි ජලජ පැළෑටි සහිත කලපුව කට්ටි කොට, කණු සිටවා, තහඩු ගසා වට කොට සීමාව ලකුණු කර ඇති ඉඩම්ය. තවත් තැනක එසේ ලකුණු කර අල්ලා ගත් සීමාව පස් පුරවමින් සිටිති. මේ කතන්දරය කොරෝනා වසංගතය මැද වුවද ජයටම සිදුවෙමින් තිබේ. මේ ආකාරයෙන් කලපු පරිසරය ගොඩකිරීම තුළ අක්කරපත්තුවේ තත්ත්වය ඉතාමත්ම බරපතළ වනු ඇත. පොඩි වැස්සටත්ව ගංවතුර තර්ජනයට හසු වෙන මෙම ප‍්‍රදේශයේ මේ ආකාරයෙන් කලපු ගොඩකිරීම ජයටම සිදු වුවහොත් ඉදිරියේදී ජලය බැස යෑමට ඉඩ කඩක් නොමැතිව දැඩි ගංවතුර තර්ජනයට ද මුහුණ පාන්නට සිදුවනු ඇත. ඒ සමගම කලපු පරිසරයක තිබෙන වටිනාකම නොදැන මේ ආකාරයෙන් ගොඩ කර විනාශ කර දැමීම කෙතරම් අපරාධයක්ද?

මේ පිළිබඳව අදහස් දක්වන සක්නද සංවිධානයේ සභාපති, අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගම්පහ නාරද හිමියන් මෙලෙස අදහස් දැක්වූහ.

අක්කරපත්තු ප‍්‍රදේශය කලපු ගොඩකිරීමේ ජාවාරම ක‍්‍රම කීපයකට සිදුවෙනවා සමහරු කලපුව මුලින් කුඹුරක් බවට පත්කරගෙන කලපුවේ කුඹුරු කරනවා. ඊට පස්සේ මේ කුඹුරුවලට පොහොර සහනාධාරය පවා අරගෙන වගා කරගෙන ගිහිල්ලා පස්සේ කුඹුර වගා කරන්න බෑ කියලා බලධාරීන්ට කියලා අවශ්‍ය ලිපි ලේඛන සකස් කරල පස්සේ ඉඩම් ගොඩ කරන්න පටන් ගන්නවා. මේවට ඕන ඕන ආකාරයට අදාළ රාජ්‍ය ආයතනවලින් බලපත‍්‍ර නිකුත් කරනවා. ඒ නිසා කිසිදු ගැටලූවකින් තොරව සල්ලි වියදම් කළොත් කලපු ඉඩම් බලපත් ලබා ගන්නට බොහෝ දෙනකුට හැකි වෙලා තිබෙනවා කියලා ජනතාව කියනවා. මේ ආකාරයට අක්කරපත්තු කලපු ගොඩ කරලා කුඹුරු හදලා කුඹුරු ගොඩ කරලා ගෙවල් හදනවා. එහෙම හදලා මේවා අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් සිදු වෙනවා. අක්කරපත්තු කලපු ඉඩම් වලට ලක්ෂ 4ක් 5ක් වියදම් කළොත් බලපත‍්‍ර ලබාගන්න පුළුවන් කියලයි කියන්නේ. තවත් ලක්ෂ 05 වියදම් කරලා පස් දාලා පුරවනවා. ඊට පස්සේ ලක්ෂ 70ට 80ට හා මේ ඉඩම් විකුණනවා. ලංකාවේ කුඹුරු ගොඩ කිරීමේදී ලංකාවේ නීති රීති පද්ධතියක් තිබෙනවා. පොඞ්ඩක් ඇත්තන් පනත අතේ තියන් කටයුතු කරන අම්පාර නියෝජ්‍ය ගොවිජන සේවා කොමසාරිස්තුමිය මේ පිළිබඳ කටයුතු කරන ආකාරය පිළිබඳ බරපතළ ගැටලූවක් මතුවෙලා තිබෙනවා. අක්කරපත්තුවේ මේ ආකාරයට කුඹුරු ඉඩම් ගොඩ කරන්නේ කෙසේද? මේවාට අවසර දුන්නේ කුමන ආකාරයට ද? අක්කරපත්තුවේ කුඹුරු ඉඩම් කොපමණ ප‍්‍රමාණයකට පොහොර සහනාධාරය දෙනවාද? එසේ දුන් වගාකළ කුඹුරු ඉඩම් කොපමණ ගොඩ කර තිබෙනවාද? ඒ ගැන සොයා බලන්නේ නැත්තේ ඇයි.

  • ගොඩ කිරීම නිත්‍යානුකූල කරගෙන
අක්කරපත්තුවේ මහා පරිමාණ කලපු ගොඩකිරීමේ ජාවාරම…

ඇතැම් රාජ්‍ය නිලධාරීන් සමග ඇති රහසිගත සම්බන්ධතාව සහ ආශිර්වාදය මත මේවා වෙනවා කියලා. අපට දැනෙන්නේ සහ පේන්නේ. ඒ නිසාම ඒ පිළිබඳ දැඩි අප‍්‍රසාදය පළ කර සිටිනවා. ලංකාවේ සෑම දෙනාට එක සමාන නීතියක් තිබෙන්නට ඕන. හැබැයි පළාතෙන් පළාතට, ජාතියෙන් ජාතියට නීතිය වෙනස් කරන්න ඉඩ දෙන්න බෑ. අම්පාරේ සිංහල ප‍්‍රදේශවලට වෙනම නීතියකුත් අම්පාරේ වෙරළබඩ කලාපයේ මුස්ලිම් සහ දෙමළ පෙදෙස වලට වෙනම නීතියක් ඇයි. අපි ඒක අනුමත කරන්නේ නැහැ. මේ අනවසර කලපු ගොඩකිරීම නීත්‍යනුකූල තත්ත්වයකට පත්කර ගෙනයි අද තිබෙන්නේ. ඇතැම් අය ඒ සඳහා බලපත‍්‍ර සහ අවසර පත‍්‍ර ලබා ගෙන මේ කටයුත්ත සිදු කරන්නේ. එනිසා මේ පිළිබඳ කටයුතු කළ පොලිසිය පවා දැඩි අසරණ බවට පත්වෙලා තිබෙනවා. එනිසා බලධාරීන්ගේ අවධානය වහාම මේ සඳහා යොමු විය යුතුයි. එසේ නොවුණහොත් තව නොබෝ දිනකින් මෙය මුළුමනින්ම ගොඩවෙලා ගම්මාන කිහිපයක් බිහි වෙලා තිබේවි යැයි සමන් මහතා අදහස් දක්වමින් පවසා සිටියේය. මේ ආකාරයෙන් කලපු ගොඩකිරීම සිදු කරන්නට ජාවාරම්කරුවෝ විවිධ කූට උපක‍්‍රම අනුගමනය කරනු ලබති.

මේ වෙද්දි ඔවුන්ට ඇති එකම බාධකය වී තිබෙන්නේ අක්කරපත්තුව පොලිසියේ නිලධාරීන් පමණි. අම්පාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මඟ පෙන්වීමෙන්, අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත, සහකාර පොලිස් අධිකාරී ප‍්‍රදීප් කුමාර මහතාගේ මඟ පෙන්වීමෙන් අක්කරපත්තු පොලිසිය ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග මහතා ඇතුළේ පොලිස් නිලධාරීන් සහ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් දිගින් දිගටම කලපු ජාවාරම පසුපස හඹා ගියද ඔවුනටත් ගැටලූ සහගත තත්ත්වයකට මුහුණ පාන්නට සිදුව ඇති බව අප කළ සොයා බැලීමේදී හෙළිදරව් වන ලදී.

සක්නද සංවිධානයේ පරිසර කටයුතු පිළිබඳ සංවිධායක චින්තක සුපුන් දිසානායක මහතා මෙලෙස ‘ඉරිදා දිවයින’ට අදහස් දක්වන ලදි.

අක්කරපත්තුවේ මහා පරිමාණ කලපු ගොඩකිරීමේ ජාවාරම…

අම්පාර සිට අක්කරපත්තුවට යද්දී මඟ දෙපස තිබුණු කලපු ටික දැන් ගොඩ කරලා. අනික මේ කලපු ගොඩ කරන එක අල්ලන්න කටයුතු කරන්න අක්කරපත්තු පොලිසිය පමණයි. පොලිසිය එනවද බලන්න පොලිසිය ළඟ ඉඳන් පස් බාන තැන දක්වා ඔත්තුකාරයන් කුලියට 20ක් විතර දාලා එහෙම ලොකු මුදලක් වියදම් කරලා තමයි මේ කට්ටිය කලපු ගොඩ කරන්නේ. පොලිසිය විශාල උත්සාහයක් ගන්නවා මේ කලපු ජාවාරම නතර කරන්න නමුත් ගැටලූව තියෙන්නේ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන මේ සඳහා බලපත‍්‍ර ලබා දෙමින් අවැසි නීතිමය රාමු සකස් කරන දෙනවා. ඒ නිසා පොලිසියට බැරි වෙලා තියෙනවා තත්ත්වය පාලනය කරන්න. අනෙකුත් රාජ්‍ය ආයතන නිලධාරීන් සැබෑ ලෙසම පොලිසියට උදව් කරන්නේ නම් මේ කාරණය නවතා දැමීම ඉතාම පහසුයි. ඉතා සූක්ෂම ආකාරයෙන් මේ මහා පරිමාණ ජාවාරමක් සිද්ධ වෙනවා. පොලිසියෙන් මේ වනවිට දෙසීයකට ආසන්න ප‍්‍රමාණයක් පුද්ගලයන් අත්අඩංගුවට අරන් උසාවි දාලා තියෙනවා. ඒ වාගේම ටිපර් රථ 150ක් පමණ අත්අඩංගුවට අරන් තියෙනවා. ජේ. සී. බී. 20 වැඩියෙන් අල්ලලා තියෙනවා. ඒ මිනිස්සුන්ට නිතීමය ආරක්ෂාව අදාළ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් විසින් ලබා දෙනවා. අඩුම තරමේ ඒ රාජ්‍ය ආයතන පොලිසියට මේක කලපුව කියලා කටින් කිව්වට ලිඛිතව ලබා දෙන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල ඒ නඩු ඉවත් වෙනවා. ඒ කලපු ඉඩම් කියලා පොලිසියයට ලිඛිතව ලබා නොදෙන නිසා. හැබැයි කලපු ගොඩ කරන අය රාජ්‍ය ආයතන වලින් විවිධ ලියකියවිලි තමන්ගේ, තමන්ගේ කියලා ඉදිරිපත් කරනවා.

කලපු ඉඩම් කොල්ලකන ජාවාරම නතර කිරීමට සැබෑවට පොලිසියට වුවමනාවක් තිබ්බත් අනෙකුත් රාජ්‍ය ආයතන පොලිසියට නිසි සහාය දෙන්නේ නැහැ.

ඒ නිසා තමයි ගැටලූව ගිය වසරේ අක්කරපත්තු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අදාළ සියලූම රාජ්‍ය ආයතන එක්ක පොලිසිය සාකච්ඡා කරලා තිබ්බා. එහිදී පොලිසිය අපිට අපේ මේ කලපු බිම් ටික වෙන් කරල සීමාවන් දාලා දෙන්න. අපි මේවා රකින්නන් කියලා ඉල්ලීමක් කරා. හැබැයි වසරක් ගෙවුණා. තවමත් අදාළ රාජ්‍ය ආයතන වලින් කලපු සීමාව වෙන් කරලා දුන්නේ නැහැ.

  • පොලිසියෙන් ඔත්තුකාරයෝ
අක්කරපත්තුවේ මහා පරිමාණ කලපු ගොඩකිරීමේ ජාවාරම…

කලපු ගොඩ කරන අය පොලිසියෙන් අල්ලා ගත්තාම කලපුව ගොඩ කළේ කියලා අධිකරණයට පෙන්නන්න පොලිසියට වාර්තා දෙන්නෙ නැති එකෙන් පේනවා රාජ්‍ය ආයතන නිලධාරීන් ජාවාරම්කාරයන් රැකගන්න උත්සාහ කරන ආකාරය.

මේ රාජ්‍ය නිලධාරීන්ගේ ආශිර්වාදයෙන් මෙම කලපු ඉඩම් වලට යටිතල පහසුකම් ලබාදෙමින් දැවැන්ත මහා පරිමාණ ඉඩම් කොල්ලයක් සිදු කරමින් තිබෙනවා යැයි චින්තක මහතා පවසා සිටියේය.

පසුගිය දිනක අක්කරපත්තු පොලිසියේ කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත කලපු ගොඩකිරීමක් වටලන්නට ඔවුන් සූදානම් වන්නට විය. පොලිසිය අසල සිට ඔත්තුකාරයෝ සිටින නිසා පොලිසිය මේ වැටලීම් සඳහා විශේෂිත ආකාරයෙන් ක‍්‍රියාත්මක වන්නට වූහ. අවසානයේදී කලපු ගොඩ කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අදාළ වාහන සමගින් පොලිසිය අත්අඩංගුවට ගන්නට ලදි. එම අවස්ථාවේ කලපු ගොඩකිරීමට අදාළ කිසිදු පියවරක් ලියවිල්ලක් ඔවුන් සන්තකයේ නොතිබුණි. ගතවූයේ පැය බාගයකි.

අයෙකු ඊට පෙර දින දිනය යොදාගෙන අදාළ ග‍්‍රාම නිලධාරිවරයාගේ අනුමැතිය සහිතව ප‍්‍රාදේශීය ලේකම්ගේ අත්සනින් යුත් පස් ගොඩ කිරීම සඳහා ඩෙංගු උවදුර නිසා අවසර ලබාදෙන බවට ලියවිල්ලක් ඉදිරිපත් කරන්නට විය. අත්අඩංගුවට ගත් මොහොතේ සිට පැය භාගයක් තුළදී මේ ආකාරයට ලියකියවිලි සාදා දී රාජ්‍ය නිලධාරීන්ගේ සහාය මේ ජාවාරම්කරුවන්ට නිරන්තරයෙන් ලබා දෙන බවට ඒ එක නිදසුනකි. එනිසා අක්කරපත්තු පොලිස් නිලධාරීන්ට රාජකාරි කටයුතු කිරීමට දැඩි අපහසුවක් ඇතිව තිබේ. මේ ආකාරයට අත්අඩංගුවට ගන්නා බොහෝ පුද්ගලයන් බේරා ගැනීම සඳහා අක්කරපත්තුව, අට්ටාලචේන යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල බොහෝ ග‍්‍රාම සේවා නිලධාරීන් සහ අදාළ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ නිසි ආශිර්වාදය සහ සහාය ලැබෙන බව පුංචි දරුවෙකුට වුවද පෙනී යන කරුණකි.

මේක ඔවුන්ගේ ජාතික ව්‍යාපෘතියක්, ඒ සඳහා විශාල වශයෙන් මුදල් සංසරණ වෙනවා යැයි ද පරිසරවේදීහු පවසා සිටිති. මේ ජාවාරම පිටුපස මුස්ලිම් කොංග‍්‍රස් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක්ද සිටින බව පැවසේ.

මේවට කලපු ගොඩ කිරීම සඳහා බොහෝවිට පස් ගනු ලබන්නේ කුඹුරු ඉඩම් වලිනි. කුඹුරු සකසන්න කියා කපාගන්නා පස් කලපුවට ගෙනවිත් දමා ගොඩ කරනු ලබයි. ඒ සඳහා භූ විද්‍යාවේ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහායද නොඅඩුව ලැබී තිබේ. අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහායද ලැබූ කල කලපු විනාශය වේගවත් වී ඇත.

කලපු ගොඩ කරන ස්ථානවල වසර ගණනාවක සිට වැඩුණු පොල් පැළ ඇති බව පෙන්වීම සඳහා මෙම ජාවාරම්කරුවන් රූඞ් බෝල් ක‍්‍රමයට පිටස්තර ප‍්‍රදේශවලින් ගලවා මෙම කලපු ඉඩම්වල පොල් පැළ සිටුවීමේ ජාවාරමක්ද සිදුවෙමින් පවතී.

අක්කරපත්තු අම්පාර මාර්ගයේ පල්ලිකූඩිඉරුප්පූ ප‍්‍රදේශයේ ද වගුරු බිම් ඉතා වේගයෙන් ගොඩ කරමින් තිබේ. ඒ සමගම අම්පාර අක්කර පත්තුව මාර්ගය ආසන්නයේ අක්කර පත්තුව නගරයට නුදුරින් වැලි සෝදන මධ්‍යස්ථානයෙන් ඉවත් වෙන මඩ දමා දිගින් දිගටම කුඹුරු සහ වගුරු බිම් ගොඩකරමින් තිබෙද්දි අදාළ නිලධාරි රොත්ත බුරුත්තම නිහඬව බලා සිටිති. පොලිසිය එය වළකාලන්නට උත්සාහ කළද වැලි සෝදා ගැනීමට අනෙකුත් ආයතන අවසර දී ඇති නිසා පොලිසියට ද කළ හැකි දෙයක් නොමැත. මේ දැක්වූයේ නිදසුන් කිහිපයකි.

  • ඉඩම් රාජසන්තකද?
අක්කරපත්තුවේ මහා පරිමාණ කලපු ගොඩකිරීමේ ජාවාරම…

බොහෝ තැන්වල සිදු වන්නේ නීතියට ඇස් වසා සිදුවෙන කලපු ගොඩ කිරීමේ ජාවාරම්ය. බොහෝ තැන් වල ක්ෂේත‍්‍ර පරීක්ෂණ නැත. ඇතැම් අවස්ථාවලදී මෙම ප‍්‍රදේශයේ ගොවිජන සේවා සංවර්ධන නිලධාරි දැනුවත්ව අම්පාර ගොවිජන සේවා කාර්යාලයේ බලධාරීන් විසින් කුඹුරු ඉඩම් ගොඩකරන්නට අවසර දී තිබේ.

පසුගිය සමයේ අම්පාර හිටපු මහ දිසාපති වරයාට මේ පිළිබඳව දැනුම් දුන් පසු ඔහු පවසා සිටියේ එම ගොඩකිරීම නවතා දමා එම ඉඩම් රාජසන්තක කරන්නට කටයුතු කරන බවය. දැන් ඔහු නැගෙනහිර පළාතේ ප‍්‍රධාන ලේකම් ධුරයට පත්ව ඇත. ඔහුට පෙරටත් වඩා බලයක් ලැබී ඇත. අම්පාර මහ දිසාපතිවරයාව සිටියදී එම කලපු අනවසරයෙන් ගොඩකරද්දි නවතා දමන්නට බැරි වූවේය. ඉඩම් රාජසන්තක කිරීමට නොහැකි වූ ඔහුට පළාත් ප‍්‍රධාන ලේකම්වරයා ලෙස හැකිවේදැයි පරිසරවේදීන් දැඩි අවධානයෙන් බලා සිටිති.

පසුගිය සමයේ මෙම කලපු ජාවාරමට එරෙහිව ක‍්‍රියාත්මක වූ අක්කරපත්තු පොලිසියේ ඇතැම් නිලධාරීන්ට දේශපාලන බලපෑම් මත මේ වන විට ස්ථාන මාරු ලැබී තිබේ. සත්‍ය කරුණ නම් අම්පාරට පැමිණෙන මහ දිසාපතිවරු ඇතුළු බොහෝ නිලධාරීන්ට සිය රාජකාරි නිසි සේ කිරීමට කොඳු නාරටියට ශක්තියක් නැතිව තිබීමය. ඒවාට නිදසුන් ඕනෑ තරම් ඇත. ඇඟ බේරාගෙන රාජකාරි කරන සමයේ ෂේප් එකෙන් සිටීමය. ඒ අල්ලසට නැත්තං වෙනත් කරුණක් නිසා ද කියා විමසා බැලිය යුතුව ඇත. නමුත් සිදු වන්නේ දිනෙන් දින මහා හානියකි. අහස පොළොව නුහුලන ලෙස පරිසර විනාශයකි. නිලධාරි පිරිසක් විසින් හිතුමනාපේ නීතිරීති අස්සෙන් රිංගා ගොස් ඕනෑ ආකාරයෙන් ජාවාරම් කිරීමට ඉඩකඩ සලසා දීමය.

මේ පිළිබඳ කනගාටුව කරුණක් නම් ආණ්ඩුකාරතුමිය ඇතුළු කිසිදු බලධාරියෙක් නිසි ආකාරයෙන් සොයා නොබැලීමය. මේ ආකාරයෙන් අවනීතිය නීතියක් බවට පත් කරමින් සිදු සිදුකරන මේ කාලකන්නි සහගත ක‍්‍රියාවලිය පිළිබඳ බොහෝ රාජ්‍ය ආයතන සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳ යළි යළිත් පවසා සිටින්නේ දැඩි විමර්ශනයක් සිදු කිරීමට මේ වනවිටත් හොඳටම පමා වී ඇති බවය.

බාධක හමුවේ වුවද අක්කර පත්තුව පොලිසියේ නිලධාරීන් කොන්ද කෙළින් තබාගෙන පස් කාරයන්ගේ සහ කලපු ගොඩ කරන්නන්ගේ අල්ලසට දොල පිදේනියට, යට නොවී කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාතියේ ප‍්‍රශංසාව ද හිමිවිය යුතුමය.

  • වගකිවයුතු නිලධාරීන් බකන්නිලාගෙන සිටින්නේ නම් …..

නීතිය වෙනුවට අවනීතිය රජ කරන්නට උඩ ගෙඩි දෙන අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, ගොවිජන, වාරි සහ භූ විද්‍යා කාර්යාල වසා දමා ආප්ප කඩ ටිකක් දැම්මොත් නරක දැයි කියා අපට ජනාධිපතිතුමාගෙන් අසා සිටින්නන්ට සිදුව ඇත. මෙවන් පිරිස් සමගින් සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කර ගත හැකිද?

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment