අකාර්යක්‍ෂම ඒවා විකුණනවා නම් කැබිනට් එකයිත් විකුණන්න වේවි – අනුර කුමාර දිසානායක

177

අකාර්යක්ෂම සහ පාඩු ලබනවා යන ආණ්ඩුවේ තර්කයට අනුව ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන විකුණන්නේ නම් අකාර්යක්ෂම පොලිසිය වැනි ආයතනත් පාඩු ලබන මහ බැංකුවත් කැබිනට් මණ්ඩලයත් විකුණා දැමීමට සිදු වනු ඇති බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා ( 14 වැනිදා) සඳහන් කළේය.

අකාර්යක්ෂමතාවය හෝ පාඩු ලැබීම පිළිබඳ ප්‍රශ්නය ඇත්තේ රජය සතු ද පෞද්ගලික අංශය සතු ද යන්න මත නොවන බවත් එය පාලනය කළ ආණ්ඩුවල වංචා දූෂණය මත ගොඩනැඟුණු සමාජ ආර්ථික ගැටලුවක් බවත් හෙතෙම කීවේය.

වත්මන් ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින්නේ පෞද්ගලීකරණයට මුවා වී මඩිය තරකර ගනිමින් නොහැකියාව වසා ගැනීමට බවත් අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළේය.

පාඩු ලැබීම හේතුවෙන් යම් රාජ්‍ය ආයතනයක් විකුණන්නේ නම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ලාභ ලබන ආයතන විකුණන්නේ කුමක් නිසා දැයි ප්‍රශ්න කළ හෙතෙම මේ සියල්ල පිටුපස ඇත්තේ දූෂණය බවත් කියා සිටියේය.

ආර්ථික සංවර්ධන මාවතේ දීප්තිමත්ම මාවත පෞද්ගලීකරණය යැයි හුවා දැක්වීමට ආණ්ඩුව උත්සාහ කළ ද එය මහා බොරුවක් යැයි ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ඔහු පෙරේදා (14 වැනිදා) එම අදහස් පළ කළේ ‘විකුණන කතාවේ සැඟවුණ ඇත්ත’ මැයෙන් එම බලවේගය කොළඹ 7 පදනම් ආයතනයේ දී සංවිධානය කළ රැස්වීමකදී ය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment