අකුණුසර වැදීමකින් රාජගිරිය දෙමහල් නිවසක් ගිනි ගනී

400

පෙරේදා (20) වැනි දින සවස 04.00ට පමණ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග ඇතිවුණු අකුණු ගැසීමකින් රාජගිරිය, නාවල පාර, චන්ද්‍රා වෙත්තසිංහ මාවත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් ගිනි ගැනීමකට ලක්වීමෙන් නිවෙසේ සිටි පුද්ගලයකු තුවාල ලබා ඇති බව වැලිකඩ පොලිසිය පවසයි.

නිවසේ විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන විදුලි පද්ධතියට අමුණා ක්‍රියාත්මක නොකර තිබූ විදුලි ජනන යන්ත්‍රයකට මෙම අකුණු ප්‍රහාරය වැදී ඇති බවත් ඒත් සමග ම එම විදුලි ජනන යන්ත්‍රය ගිනි ගෙන ඇති බවත් ඉන් ඇතිවූ ගින්නෙන් නිවසේ පහත මහල සම්පූර්ණයෙන් ම ගිනිගෙන විනාශ වී ඇති බවත් පොලිසිය පැවසීය.

ගිනි ගැනීම ඇතිවීමත් සමග නිවසේ උඩු මහලේ රැඳී සිටි වයෝවෘද්ධ පුද්ගලයකු ගින්නෙන් බේරීම සඳහා උත්සහ දරන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද ඇමතුම් මත පොලිස් නිලධාරීන් හා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න පාලනය කරමින් පුද්ගලයා බේරාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

ගින්නට කොටු වී තුවාල ලබා සිටි 58 හැවිරිදි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවත් ගින්නෙන් නිවසට දැඩි අලාභ සිදුව ඇති බවත් පොලිසිය පැවසීය.

කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් ගිනි නිවීමේ රථ හතරක් යොදාගනිමින් හා වැලිකඩ පොලිස් ස්ථානය නිලධාරින් ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න සම්පූර්ණයෙන් ම නිවා දැමූ බවද බවද පොලිසිය පැවැසීය.

නිවසට හා නිවසේ දේපළවලට සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැති බවත් පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.බී.එස් ජයමහ මහතාගේ ඍජු අධීක්ෂණය මත වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතාගේ උපදෙස් මත නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

එස්.ඩී අබේසිංහ – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment