අකුරැස්ස තරුණ පිරිසකගෙන්  ආදර්ශවත් සමාජ මෙහෙවරක්

107

මේ ලිපිය ලියන මොහොත වනවිටත් ඉන්ධන නෞකාවක් පැමිණ තෙල් බෙදාහැරීමේ ක්‍රියාවලියෙන් අනතුරුව තම රථයට තෙල් ලබා ගැනීමේ අරමුණින් බලා සිටින අපගේ සහෝදර සහෝදරියන් පිරිසක් තවමත් පෝලිම්වල රැඳී සිටිති.

ඉන්ධන හලේ එක් පසෙක මාර්ගයේ කිලෝමීටර් ගණනක් විහිදුණු සති ගණන් බලා සිටිනා සාමාන්‍ය ජනතාවගේ පෝලිමයි. අනික් පස අත්‍යවශ්‍ය සේවා පෝලිමකි. මේ දෙගොල්ලන්ටම තෙල් නම් අත්‍යවශ්‍යය. එය හුදෙක් රජ සැප විඳීමට නොව තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ය.

තිබෙන ගැටලුව එය නොව ඇතැමුන් තම බලය පාවිච්චි කරමින් තෙල් ලබාගත්තත් සැබෑවටම සති ගණන් ෂෙඩ් එකේ පෝලිමේ රැඳී සිටින සාමාන්‍ය ජනයාට කාගේ හව්හරණක් ද? බොහෝ අවස්ථාවල දී තෙල් පෝලිම් ආශ්‍රිතව ගැටුම්කාරී තත්ත්වයන් මාධ්‍ය වාර්තා කළ ද මනුෂ්‍යත්වය උතුරා යන මානුෂීය කතන්දර ද ඒ අතර නැතුවාම නොවේ. ඇතැම් විට පෝලිමේ රැඳී සිටින ජනයාගේ පවසට දිය බිඳක්, කුසට අහරක් ලබාදීමට ඉදිරිපත් වෙන කණ්ඩායම් ද අප අතර සිටිති.

මාතර අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි සුසන්ත හෙට්ටිආරච්චි වීරෝදාර රණවිරුවාණන් මාතෘභූමිය වෙනුවෙන් දිවි පරදුවට තබා දැයෙන් සමුගෙන වසර තිහක් ගත වීම නිමිත්තෙන් සහ සුනිමල් හෙට්ටිආරච්චි මහතා දැයෙන් සමුගෙන වසර 19ක් පිරීම නිමිත්තෙන් රංජනී බණ්ඩාරනායක, රොබට් හෙට්ටිආරච්චි, සජීවනි හෙට්ටිආරච්චි, ප්‍රමුඛ පිරිසගේ මූලිකත්වයෙන් සෙනුකි දුව ඇතුළු එම පවුල්වල දුවා දරුවන්, තරුණ තරුණියෝ මාතර මහ රෝහලේ විශ්‍රාමලත් හෙද නිලධාරිනි මල්කාන්ති මහත්මියගේ සහයෝගයෙන් මාතර වල්ගම බෝධිරුක්ඛාරාමාධිපති පූජ්‍යපාද විල්පිට ශ්‍රී සුධර්මාලංකාර හිමිපාණන්ගේ පැවිදි අනුශාසකත්වයෙන් මහාචාර්ය සාගර කරුණාතිලක ශූරීන්ගේ අනුශාසකත්වයෙන් ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ජනතාවට සහනයක් වශයෙන් රාත්‍රී ආහාර ලබාදීමේ දානමය කටයුත්තක් පසුගියදා සිදු කළහ. මෙහිදී විශේෂයෙන්ම මහාචාර්ය සාගර කරුණාතිලක ශූරීන්ගේ මතය වූයේ තවමත් අප සමාජයේ කොතෙකුත් අපහසුතා, දුෂ්කරතා, ආර්ථික අගහිඟකම් පැවතියද, අනිකාගේ දුකේදී හදවත කම්පනයට පත්වන සත්පුරුෂයන්ගෙන් අඩුවක් නොවන බවය. එම නිසා මේ අපහසු කාලයේ සියලු දෙනාම එක්ව වැඩකටයුතු කළ යුතු බවත්, තමන්ට හැකි පමණින් අනෙකාගේ දුකට පිහිට වීමට උපකාරයක් කිරීමට ඉදිරිපත් විය යුතු බවත්ය. මෙය ආදර්ශයක් ලෙස ගෙන තමාට හැකි වතුර වීදුරුවකින් නම් එයින් හෝ දින ගණන් නිවෙස්වලට නොගොසින් තෙල් පෝලිම්වල රැඳී සිටින ජනතාවට තම මව, පියා, සොහොයුරා, සොහොයුරිය සේ සලකා දයාබර වූ හදින් සංග්‍රහ කිරීමට හැකිනම් ඒ මහා උත්තුංග කාර්යයක් වනු ඇති බවයි. තවද පෝලිම්වල රැඳී සිටින ගර්භණී මව්වරුන්ට හිංසාකාරී පිළිවෙත්වලින් බැහැරව සහයෝගය දැක්විය යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සමන් උපුල් පිනිදිය – අකුරැස්ස
 

advertistmentadvertistment
advertistmentadvertistment