අකුසල පිරි ගෙවී යන වසරට සමුදෙමු

114

අනාගත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි, ඇතෙක් බරට බලාපොරොත්තු පොදි බැඳගෙන, අද හෙටම තවත් අලූත් අවුරුද්දක් උදාවෙනවා. දෙසැම්බර් 31 වැනිදා රාත‍්‍රී පුපුරා යෑමට නියමිත රතිඤ්ඤා හෙඬ් දෝංකාරය, අපේ අනාගත බලාපොරොත්තුවල තරම, නොසඟවා ප‍්‍රකාශ කරාවි.

සත්‍යකින්ම උදාවෙන අලූත් අවුරුද්දේ අපි අලූත් බලාපොරොත්තු ඇති කොටගත යුතුයි. ලබන්නා වූ අලූත් අවුරුද්දේ අපිට පුළුවන් නම්, තවදුරටත් දිය යට රැඳුනු ශ‍්‍රද්ධාවේ ළදරු නෙළුම් පොහොට්ටුවක් නොවී, අවම වශයෙන් දියෙන් මතුපිටට පැමිණ, ප‍්‍රඥාවේ හිරු එළියට ඉව අල්ලන, නෙළුම් පොහොට්ටුවක් වෙන්න, එවිට අපිට නිවීසැනසිල්ලේ පිපී විකසිතවෙන්න පුළුවන්. අපි හැමදාමත් උතුම් සද්ධර්මය කියවලා, ශ‍්‍රවණය කරලා, සද්ධර්මයේ ආශ්වාදය ලබලා පමණක් ප‍්‍රමාණවත් නැහැ. අපි කියවන, ශ‍්‍රවණය කරන සද්ධර්මය, ජීවිතයට ආයෝජනය කළ යුතුයි. එවිටයි සද්ධර්මයේ ප‍්‍රතිලාභයන් අපි ලබන්නේ. උතුම් සද්ධර්මයේ ඕපනයික ගුණයට අපි පිටු පෑවොත්, උතුම් පච්චත්තං වේතිතබ්බෝ ගුණය, මේ උදාවෙන නව වසරේදීත්, අපේ ජීවිත වලින් දුරස් වේවී.

අපි අපේ ජීවිතවලට හරිම අසාධාරණයක් කරනවා. ඒ අසාධාරණය අපි කරන්නේ හරිම සතුටින්. බුදුරජාණන් වහන්සේ ලෝකය දුකයි කියලා දේශනා කරද්දී, ලෝකය කියන්නේ මාරයා යැයි දේශනාකොට තිබියදී, ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය යැයි දේශනා කොට තිබියදී, අපි ඒ මාර ලෝකය උපයෝගී කොටගන්නේ, තව තවත් මාර ධර්මයන් ශක්තිමත් වෙන ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන් උදෙසාමයි. බලන්නකෝ අපි අපිට සිදුකොට ගන්නා අසාධාරණයක්. පිංවත මේ ගෙවීයන වසරේදී, ඔබේ ජීවිතයට වැඩිම අසාධාරණයක් සිදුකොටදී තිබෙන්නේ, ඔබ විසින්මයි. අවිද්‍යාවෙන් උපන් ඔබේ ඔය, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසේ, ඵස්සය, මොන අකුසල් කන්දරාවක් ඔබේ ජීවිතයට, ගෙවීයන වසරේදී එකතුකොට දෙන්න ඇතිද. ගෞරවණීය පිංවත, ලබන්නා වූ නව වසරේදී ඔබේ කාමරයේ දැන්වීමක් අලවා ගන්න. මම, මට අකුසලයෙන් අසාධරණයක් කරගන්නේ නැහැය කියලා.

අකුසල පිරි ගෙවී යන වසරට සමුදෙමු

උතුම් සද්ධර්මය කෙරෙහි සති සම්බොජ්ජංගය ගිලිහුන තැන, අපේ ජීවිත අධර්මයෙන් අයාලේ යනවා. එවිට අපේ වීර්යය වැඩෙන්නේ අකුසල් මූලයන් දිශාවටමයි. උතුම් සම්මා දිට්ඨිය බංකොලොත් වෙන සමාජයක, පංචනීවරණ කෝටිපතියෝ, හතු පිපෙනවා වගේ බිහිවීම ධර්මතාවයක්. පිංවත ඔබේ අහිංසක හෘද සාක්ෂියට තට්ටුකොට විවේකීව අහන්න, පිංවත් ඔබත් අකුසල් මූලයන්ම පසුපස දිවයන, පංචනීවරණ කෝටිපතියෙක්ද කියලා.

පංචනීවරණ ධර්මයෝ තුනී වූ සිත හරිම නිරවුල්. ඒ උපේක්ෂාසහගත සිත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ ධම්මානුපස්සනාවෙන්ම අනිත්‍ය යැයි විනිවිද දකිනවා. වැඩිවයස් සාමණේර හිමිනමක් භික්ෂුවට කියනවා. තමන්ට උපසම්පදා ශීලය අවශ්‍ය නැහැ. සාමණේර දශ ශීලය තුළින්ම තමන් තම විදර්ශනාමය අරමුණු ලබාගන්නවාය කියලා. භික්ෂුව එම සාමණේර හිමිනමට දැනුම් දුන්නේ තමන් ප‍්‍රාතිමෝක්ෂ ශීලයට බියනම්, කරුණාකර විදර්ශනාමය ප‍්‍රඥාව ගැන සිහින දැකීම මිරිඟුවක්ය කියලා. අපිට උතුම් විදර්ශනා ප‍්‍රඥාව ලබාදෙන්නේ හුදු ශීලය හෝ සමාධිය විසින් නොවේ, උතුම් ලෞකික ප‍්‍රඥාවට අයත් සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් මොනවාට පෝෂණය වූ සම්මා ශීලය සහ සම්මා සමාධියයි. අපි බුදුරජාණන් වහන්සේට අකීකරු නම්, බුදුරජාණන් වහන්සේගේ පැනවීම් වලට අකීකරු නම්, උතුම් සම්මා දිට්ඨිය ගැන කථා කරන්න අපිට අයිතියක් නැහැ. ඕනෑම ගෞරවණීය සාමණේර ස්වාමින් වහන්සේ නමක් තම නායක ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනාවන්ට අනුව නිසි අවස්ථාවේදී, උතුම් උපසම්පදා ශීලයේ පිහිටිය යුතුයි. සාමණේර ස්වාමින් වහන්සේ නමක් නිසි වයස සහ අදාළ සුදුසුකම් සම්පූර්ණව තිබියදීත්, උතුම් උපසම්පදා ශීලය ප‍්‍රතික්ෂේප කරනවා නම්, එහි වරද උන්වහන්සේගේ නොව, උන්වහන්සේගේ උතුම් සම්මාදිට්ඨියේ දුර්වලතාවයයි. උතුම් සම්මා දිට්ඨිය දුර්වල තැන ඔබේ සාමණේර ශීලය සහ සමාධිය වැඩෙන්නේ විදර්ශනාමය ප‍්‍රඥාව උදෙසා නොව, පිංවත් ඔබ විසින්ම ඇතිකොටගන්නා වූ දෘෂ්ඨි, මතවාද, බැඳීයාම් නැමති උපාදානයන්ගේ ආශ්වාදය උදෙසාමයි.

ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං කියන අපේම දෘෂ්ඨි මතවාද, බැඳියාම්, අවිද්‍යාවේම පෝෂක ධර්මයන් හැටිය හඳුනාගෙන, එම මිච්චා දැකීම් වලින් බැහැරවී, බුදුරජාණන් වහන්සේගේ උතුම් පැනවීම් වලටයි අපි ගරු කළ යුත්තේ. වර්තමාන උතුම් සංඝ සමාජයේ යම් පුංචි ප‍්‍රවනතාවයක් තිබෙනවා, උපසම්පදා ශීලය ප‍්‍රතික්ෂේප කරන. ගෞරවණීය පිංවත, ඔබ ඒ ප‍්‍රතික්ෂේප කරන්නේ උපසම්පදා ශීලය නොව, උතුම් බුදුරජාණන් වහන්සේගේ පැනවීමයි, උතුම් සම්මා දිට්ඨියේ අර්ථයයි. ගෞරවණීය ස්වාමින් වහන්ස, අපි අපේ උතුම් සාමණේර භික්ෂු ජීවිතයක්, උතුම් උපසම්පදා භික්ෂු ජීවිතයත්, මුලින් ම කැපකළ යුත්තේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ, ආරක්්ෂාව, ශක්තිය උදෙසායි. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂාවීමට නම් උතුම් ධර්ම විනය ආරක්ෂා විය යුතුයි. උතුම් ධර්ම විනය ආරක්ෂා වීමට නම්, සංඝ සමාජයේ අපි සියල්ලෝ ම බුදුරජාණන් වහන්සේගේ පැනවීම් වලට අදාළව අපි, තෙරුවන්ට කීකරු විය යුතුයි. ඉහත කාරණා කෘතවේදීව සිද්ධ වුණොත් පමණයි, අපේ උතුම් පැවිදි ජීවිත තුළින් උතුම් සෝවාන් ඵල ආදී වූ විදර්ශනා අවබෝධයන් අපිට උරුම වෙන්නේ. අපි උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උදෙස කෘතවේදී නොවී උතුම් සෝවාන් ඵල ආදී වූ අවබෝධයන් උදෙසා අපේ දෘෂ්ටි මතවාද උදෙසා, අපි ආත්මාර්ථකාමී වුණොත්, අපිට උරුම වෙන්නේ භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණ, ශෝක පරිදේවයන් පමණක් මය. යම් පින්වත් සාමණේර ආයුෂ්මතුන් වහන්සේ නමක් ප‍්‍රකාශ කරනවා නම්, භික්ෂුවකගේ නිවන් මාර්ගය උදෙසා උපසම්පදා ශීලය අවශ්‍ය නොවනවාය කියලා, ඉන් අදහස් වෙන්නේ, උන්වහන්සේ මු`ඵ සම්මා සම්බුද්ධ ශාසනයම හෑල්ලූවට පත්කරන බවයි.

පින්වත, රාති‍්‍ර අඳුර වැටෙන්න දැන් හොඳටෝම ළඟයි. ඔබේ ජීවිතය තුළ උපේක්ෂාවේ පහන් දල්වා ගන්න. මේ රාති‍්‍රයේ ඔබේ ඵස්සය, ඇලීම් සහ ගැටීම් වලින් ඉඳුල් කළොත්, ජීවිතයට ඉතුරු වෙන්නේ ප‍්‍රමාදීභාවය පමණක් මයි. කැඩෙන, බිඳෙන, විසිරෙන පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ, අපි මේ යන්නේ නිෂ්ඵල ගමනක්. තෘෂ්ණාව වැඩි තැන දුක වැඩිවෙනවා. තෘෂ්ණාව අඩුකර නොගෙන දුක අඩුකර ගන්න බැහැ. දුක අඩුකර ගැනීම උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි ජීවිතයට එකතුකොට ගන්නේත් අපේ ආයුෂ, වර්ණය, සැපය, ආරක්ෂාව, කෙරෙහි බලවත් තෘෂ්ණාවෙන් මයි. උතුම් සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ පූර්වකෘති වුවමනාවෙන් ම මඟහරින අපි, දානය, ශීලය, පින්කම්, සංස්කෘතියේ තරඟකාරීව හැසිරෙන්නේ තමන්ගේ ම සම්මා දිට්ඨියට සහ සම්මා සංකප්පයන්ට කළ හැකි උපරිම අසාධාරණය කරමින් මයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල දුර්වල වුණොත්, නිවන් මඟ කේඩෑරීවී දලූ දමා වැඩෙන්නේ, උපේක්ෂා සහගත සම්මා සමාධියක් නොව, පංචනීවරණ අස්වැන්නක් මය.

ගෞරවණීය පින්වත, උදාවෙන්නට විලිලන නව වසරට කරුණාකර, අසාධාරණයක්. අගෞරවයක්, සිදුකරන්න එපා. අපේ තෘෂ්ණාවමයි ගෙවීගිය සෑම වසරක් ම දුකෙන් පිරි වසරක් බවට පත්කොට දුන්නේ. මේ ගෙවී යන වසරට භික්ෂුව උපේක්ෂා සහගත සිතින් සුබපතනවා, ”පින්වත ගෙවී යන පරණ වසර’’ ඔබේ වරදක් නැහැ. වරද මනුෂ්‍ය අපේ තෘෂ්ණාව මයි. පින්වත මේ ගෙවී යන්නේ භික්ෂුවගේ ජීවිතයේ ලස්සනම වසරක්. ඒ වගේමයි භික්ෂුව අදම සටහන් තබනවා, උදාවෙන නව වසරත් අනුශයකුදු සැකයකින් තොරව සුන්දරම වසරක්ය කියලා.

ගෞරවණීය පින්වත වසරක් ලස්සන කරන්නේ, ඉර, හඳ, තාරකා, රජය, මිල මුදල්, නොවේ. මේ සියල්ල දෙස බලන පින්වත් ඔබගේ සද්ධර්මයේ උපේක්ෂා සහගත සිතයි.

පින්වත මේ සටහන කියවීම මොහොතක් නතර කරලා ඔබගේ දෑස් පියාගන්න. මේ ගෙවී යන පරණ වසරට සිත යොමු කරන්න. ඔබ වින්ද සැප සහ දුක් කුසල් සහ අකුසල් සංස්කාරයන්ට ම භාර දෙන්න. සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින්න. ගෙවී යන වසරේ වරදක් හෝ වරදකරුවෙක් නොදකින උපේක්ෂා සහගත සතුටු සිතින්. උදාවෙන නව වසරට සුවපත් වේවා යැයි දකිමින්ම, උදාවෙන නව වසරට පී‍්‍රතිය සහ ඵස්සද්දියෙන් ම පියවර තබන්න. මාතෘ භූමිය ඉදිරියේ ප‍්‍රශ්න ගොඩාක් තිබෙනවා; ප‍්‍රශ්න දැකලා සිත කලබල කරගන්න එපා. අපි කලබල වුණොත්, ප‍්‍රශ්න තව තවත් ඔඩුදුවාවී. ඉවසීමෙන් ලෝකය දෙස බලා සිටින්න. අපි කරපු දේවල් අපිම ලබත්දි, උපේක්ෂාවෙන් මයි ලෝකය පිළිගන්න ඕනේ. ගැටෙන සිතින් ලෝකය පිළිගත්තොත්, අපිට අයිතිවෙන්නේ පංචනීවරණ ගොඩාක් පමණක් මයි. රටක වේවා, පවුලක වේවා, අර්ථිකය බිඳවැටෙන්නේ පංචශීලයේ දුර්වලභාවයන් නිසා මයි. මෙය සටහන් තබන භික්ෂුවගේ වර්ණය, සැපය, බලය, කියන ආර්ථික ශක්තිය දුර්වල කරන්න කාටවත්ම බැහැ. ඒ ශක්තිමත් ආර්ථිකය ස්ථාවරකොට දෙන්නේ උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයෙන්. භික්ෂුව ප‍්‍රාතිමෝක්ෂ ශීලයෙන් දුර්වල වුණොත්, මහා සංඝරත්නය කියන අර්ථය ණයට ගන්න භික්ෂුවට සිද්ධ වෙනවා.

පින්වත් ඔබ ජනවාරි 01 වැනිදා උදෑසන පංචශීලය සමාදන් වෙලා නව වසර ආරම්භ කරන්න. විශේෂයෙන් ම රටේ පාලක පින්වතුන්ලා, උතුම් පංචශීලයට අසාධාරණකම් කරන්න එපා. දුශ්ශීලභාවය මයි සම්පත් විනාශයන්, ධනය විනාශයන් සිද්ධකොට දෙන්නේ. අපි රැකිලා, රට විනාශ වුණොත්, අපිත්, රටත්, දෙකම විනාශ වේවි. භික්ෂුවගේ ප‍්‍රාතිමෝක්ෂ ශීලය ගැන භික්ෂුවට විශ්වාසයි, පින්වත් ඔබේ ශීලය ගැන ඔබ සපථ වෙන්න. එතැනයි වැටෙන ජාතික ආර්ථිකයේ යළි නැඟිටීම තිබෙන්නේ.

(පසුගිය සතියේ 2021.12.19 ලිපිය පළ නොවූ බැවින් පසු සඳහන් කොටස එම ලිපියෙන් උපුටා ගන්නා ලදී.)

”එළඹෙන දෙසැම්බර් 20 වැනිදා, මෙය සටහන් තබන භික්ෂුවගේ උපාධ්‍යායන් වහන්සේ වන, අති ගෞරවණීය දොඩම්පහළ චන්ද්‍රසිරි උත්තරීතර මහනායක මාහිමිපාණන් වහන්සේගේ උපන්දිනය යෙදී තිබෙනවා. තෙරුවන් සරණින්, සියලූ දෙවියන්ගේ ආශිර්වාදයෙන්, මේ උතුම් ධර්මදානමය පිංකම්වල ශක්තියෙන්, අතිගෞරවණීය දොඩම්පහළ චන්ද්‍රසිරි මහනායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි සියලූ දෙනාම මෙත් සිතින් ආශිර්වාද කරමු.’’

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment