අකුළගන යන අය ගියාවේ : අරගල භූමියේ අපි ඉන්නවා – පුස්සියන්කුලමේ සුමනරතන හිමි

270

කොටුව ගාලුමුවදොර අරගල භූමියෙන් කොටසක් ඉවත් වී ගියත් තමා ඇතුළු තවත් පිරිසක් අරගල භූමියේ අඛණ්ඩවම රැඳී සිටිනවා යැයි අරගලකරුවකු වන පුස්සියන්කුලමේ සුමනරතන හිමිපාණෝ ‘දිවයින’ට ඊයේ (05දා) පැවසූහ.

කොටුව ගාලුමුවදොර අරගල භූමියේ තත්ත්වය සොයාබැලීමට ‘දිවයින’ ඊයේ සවස අප ගිය අවස්ථාවේ උන්වහන්සේ එසේ කියා සිටියහ.

119 වැනි දිනයටත් ඊයේ ගාලුමුවදොර අරගලය ක්‍රියාත්මක වෙමින් තිබිණි. ජනමතයකින් තොරව රාජපක්‍ෂ රෙජිමය ආරක්‍ෂා කිරීමට පත්වූ රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ඉවත්වීම හා ඉන්ධන අර්බුද ඇතුළු ආර්ථික අර්බුදවලට විසඳුම් ඉල්ලා තමයි දැන් අපි අරගලය කරන්නේ යැයි ද උන්වහන්සේ කීහ.

අප එහි යනවිට ගෝඨාගෝගම තිබූ සමහර කූඩාරම්, අට්ටාල ගලවන අයුරු දැකගත හැකි විය. සමහර තරුණයන් ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු ද දැකගත හැකි විය. මෙහිදී තවදුරටත් කතාකළ පුස්සියන්කුලමේ සුමනරතන හිමිපාණෝ මෙසේ ද කීහ.

මම ආවේ අප්‍රේල් මස 17 වැනිදා. නොකඩවා අද වෙනකම් අරගල භූමියේ ඉන්නවා. මේ මාසේ 09 වැනිදා විශාල පිරිසක් අරගල භූමියට ඒකරාශී වෙනවා. පසුගිය 09 වැනිදාට ආවට වඩා. මම දැන්මම ඉල්ලීමක් කරනවා රජයේ ගොඩනැගිලිවලට හානි කරන්න එපා කියලා. එක්තරා මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කරලා තියෙනවා 09 වැනිදා එන ජනතාවට ගහන්න කියලා. එහෙම වුණොත් නම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මීට පෙරත් 09 වැනිදා ඒ මන්ත්‍රීවරයා හිටපු ඇමැතිතුමා ඔය වගේ ප්‍රකාශයක් කරලා රට තුළ විශාල කලබලයක් ඇති වුණා. අපි අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා සාමකාමීව ඉන්න කියලා.

සමහරක් අය ටෙන්ට් අකුළගෙන යනවා. අකුළාගෙන යන අයට යන්න පුළුවන්. ඒක තමන්ගේ ස්වාධීන අයිතිය. නමුත් මම මේ මාසයේ 09 වැනිදා 10 වැනිදා වෙනකම් අරගල භූමිය තුළ රැඳී ඉන්නවා. අධිකරණයෙන් අපිට කියලා නැහැ එළියට යන්න කියලා. හැබැයි පොලිසියේ මහත්වරුන් කියන විදිහට නටන්න සූදානම් නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment