අගමැතිගේ නිවසට ගිනි තැබීම පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

106

එළැඹ ඇත්තේ ඉතාම තීරණාත්මක මොහොතක් හෙයින් සන්සුන්ව සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කරමින් සංහිඳියාව පෙරදැරිව කටයුතු කරන්නට එක්වන්න යැයි සමස්ත පුරවැසියන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටින බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

විපක්‍ෂ නායකවරයාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉලක්ක කරගෙන කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදුකළ ගිනි තැබීම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර එකී සිදුවීම වහා පරීක්‍ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව අවධාරණය කරමු.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ සාධාරණත්වය රජයන සමාජයක් වෙනුවෙන් මේ රටේ සමස්ත ජනතාව පුරවැසි අරගලයකට එක් වූ අතර එහි උදාර අරමුණු කිසිම විටෙක පාවා නොදෙන්නට තරම් ඔවුන් විනයගරුක හා ශිෂ්ට සම්පන්න වූ බව අපි විශ්වාස කරමු.

එහෙත් එකී අරගලයට මුවා වී කිසියම් අවස්ථාවාදී සහ කඩාකප්ලල්කාරී පිරිසක් විසින් සිදුකරනු ලබන දේපළ විනාශකිරීම්, ගිනි තැබීම් සහ ජන ජීවිත ව්‍යාකූල කරවන සුළු සිදුවීම්වලට අපි කොන්දේසි විරහිතව එරෙහි වෙමු.

පසුගිය දින කිහිපය තුළ අරගලකරුවන්, මාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියනු් ඇතුළු විශාල පිරිසකට ප්‍රචණ්ඩත්වයට මුහුණදීමට සිදු වූ අතර ඒ පිළිබඳව පුළුල් පරීක්‍ෂණ පැවැත්විය යුතු බව අපි අවධාරණය කරමු.

ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී රටක් වෙනුවෙන් මෙතෙක් කල් සුරක්‍ෂිතව රැකගන ආ පුරවැසි අරගලයට කළු පැල්ලම් එක්කිරීමට වෙර දරන පිටස්තර බලවේග පිළිබඳව අපි අවධානයෙන් සිටිමු යැයි සමස්ත සමාජයෙන් ඉල්ලා සිටිමු.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment