අගමැතිව සිටිද්දී අරගල කළ යුතුයි කියූ වර්තමාන ජනපති මර්දනය අරඹලා – සජබ මහලේකම්

91

රජය හිංසනයෙන් බැහැර නොවුණොත් මර්දනයට හා
භීෂණයට විරුද්ධවීමට අපි සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ආර්ථික අපහසුතාවලට මුහුණ දෙද්දී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි
– පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති මර්දනයට සහ භීෂණයට විරුද්ධව ප්‍රචණ්ඩත්වයෙන් තොර මහජන ව්‍යාපාරයකට ප්‍රවේශ වීමට සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සර්වපාක්ෂික එකමුතුව විසින් විපක්ෂනායක කාර්යාලයේදී ඊයේ (04දා) පවත්වන ලද විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

වර්තමාන රජය ක්‍රියාත්මක කරන ජන පීඩිත මර්දනය හෙළා දකිනවා වගේම මේ රටේ ජනතාවගේ සිවිල් පුරවැසි අයිතිය, මානව අයිතිය, ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කරමින් මේ කරන්නාවූ ජනතා විරෝධී ක්‍රියාදාමයට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා පමණක් නෙමෙයි ජනඝාතක ක්‍රියාවලින් ඉවත්වෙලා රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට හැසිරෙන්න කියන පණිවිඩය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අපි ලබා දෙනවා.

මේ රටේ පොදු ජනතාවට සැබෑ අයිතියක් තියෙනවා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කරන්න. තමන් සිතන මතයක තමන් විශ්වාස කරන දේශපාලන ගමනක නිදහස්ව නිවහල්ව රැස්වෙන්න, උද්ඝෝෂණය කරන්න, පාදයාත්‍රා යන්න. ප්‍රචණ්ඩත්වයෙන් තොර ව ඒ නිදහස් නිවහල් අයිතිය ක්‍රියාත්මක කිරීමේ වරප්‍රසාදය මේ රටේ ලක්ෂ 220කට අධික වූ ජනතාවට තිබෙනවා. එය කිසිම කෙනෙකුට උල්ලංඝනය කරන්නට බැහැ. නමුත් අද වෙනවිට බියකරු භීෂණකාරී රාජ්‍ය මිලේච්ඡ ත්‍රස්තවාදයත් ක්‍රියාත්මක වන ආකාරයට මේ රජය තමන්ගේ කටයුතු ක්‍රියාත්මක කරනවා. එය කිසිසේත්ම අනුමත කරන්න බැහැ.

අද මුළු රටම හැමදෙනාම අවස්ථාවාදීත්යෙන් තොරව එකමුතු විය යුතු අවස්ථාවක්. මේ එකමුතුව අපි ක්‍රියාත්මක කරන්න ඕන. එය රටේ ජනතාවට වරදාන වරප්‍රසාද ලබාදීමට මිස අපට වරදාන වරප්‍රසාද ලබා ගැනීමට නොවෙයි. අපි තාවකාලිකව භාරකරුවන්. ජනතා සේවකයින්. ජනතාව තමයි ඒ ජනතා සේවය කිරීමේ බලපත්‍රය අලුත් කරනවද නිෂ්ප්‍රභා කරන ප්‍රතික්ෂේප කරනවා ද කියන තීන්දුව ගන්නේ. ඒ නිසා අපිට වටින්නේ ජනතාවයි. අයිතිය ජනතා පැතුම ජනතා අදහස ඒ නිසාම මර්දනය බැහැර වෙන්න කියලා අපි මේ රජයට කියනවා. ජනමතයට ඔච්චර බය වෙන්න එපා. ජන ඒකරාශි බියගුලුව කටයුතු කරන්න එපා. ජනතාව අතරට එන්න. ජනතාවගේ දුක සැප හොයල බලන්න. එවිට ජනතාවට තේරෙයි ඒ අයගේ මතය නියෝජනය කරන්නන් තමයි මේ ව්‍යවස්ථාදායකයත් විධායකයත් නියෝජනය කරමින් සිටින්නේ. එසේ නොමැතිව ජනතාවගෙන් බැහැර වෙලා තමන්ගේ ආරක්ෂාව සපුරන මහා ආරක්ෂක පවුරකින් හුදකලා වෙලා හිතන්න එපා. බෝම්බයෙන් බයිනෙත්තුවෙන් කඩුවෙන් රටේ ජනතාව හසුරුවන්න පුළුවන් කියලා එහෙම හිතනවනම් ඒ සිතිවිල්ල වහා ඉල්ලා අස්කර ගන්න. මේ රජය මේ හිංසනයෙන් බැහැර නොවුනොත් අපි සූදානම් මේ මර්දනයට භීෂණයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදීව මහජන ව්‍යාපාරයකට අපි ප්‍රවේශ වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා :

අද වන විට රටේ ජනතාව ජීවත් වෙන්නේ ආර්ථික වශයෙන් ඉතාමත්ම බරපතළ අභියෝගයකට ලක් වූ රටක. එවැනි අවස්ථාවක තමයි රටක් වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය යුත්තේ.

ඒ අතරතුර අපි දකිනවා අද වෙනකොට සමහර තැන්වල වෙඩි තැබීම්වලින් මියයෑම් ගණනාවක් වාර්තා වෙනවා. ඒවා කවුද කරන්නේ කියන එක පරීක්ෂා කිරීම පොලිසියක ප්‍රධාන වගකීමක් හැටියට සලකනවා.

සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා :

අද තියෙන්නේ අරගලය නිසා බිහිවෙච්ච ආණ්ඩුවක්. අරගලය නිසා බිහිවෙච්ච ජනාධිපති කෙනෙක් ඉන්නේ. එහෙම නම් ඒ ආණ්ඩුවේ ජනාධිපතිවරයා අරගලයට හේතු වෙච්ච දේවල්වලට පිළිතුරු ලබාදිය යුතුයි. මේ රටේ තරුණයෝ ඇතුළු මේ සියලු දෙන අරගලයේ කළේ රජය සහ ජනාධිපතිවරයා මේ රට බංකොළොත් කරපු නිසා. අපි ජනාධිපතිවරයාට කියනවා එතුමා විපක්ෂයේ ඉද්දි කිව්වේ අරගල කරන්න ඕන කියලා ඒ මීට මාස තුනකට ඉස්සර වෙලා. එතුමා දැන් ජනාධිපති වුනාම අරගලය මර්දනය කරනවා.

අද කරන්නේ අරගලයෙන් පස්සෙ එක් එක්කෙනා ඇතුළට ගන්නවා. අද වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහත්මයා අරන් තියෙනවා. එතුමා ගෙවල් ගිනි තිබ්බේ නෑ. ත්‍රස්තවාදී මැර වැඩ කරෙත් නෑ. අද තව වෘත්තීය සමිති නායකයෙක් කොඩියක් ළඟ තියාගෙන හිටියා කියලා එතුමා රරිමාන්ඩ් කරල තියෙනවා. මේ ජනාධිපතිතුමා කියනවා ජනාධිපතිවරයාට අතිගරු ඕන නෑ කොඩි ඕන නෑ කියලා. ඇයි එහෙමනම් අත්අඩංගුවට ගත්තේ තව එක්කෙනෙක් ගන්නවා ජනාධිපතිවරයා ගේ බියර් වීදුරුවක් ගත්තා කියලා. මෙහෙමද අරගලයක් මර්දනය කරන්නේ. මේ සාමකාමී අරගලයක් කළේ රට විනාශ කරපු නිසා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා :

මේ වෙනවිට තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නය මත ඇති වූ අරගලයේ මුල් ආරම්භයත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න අවස්ථාව ලැබුණේ. එතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට ඉන්න කොට මේ ආකාරයෙන් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන වෘත්තිය සමිති ව්‍යාපාරවල නිරත උදවිය අනවශ්‍ය විදිහට අත්අඩංගුවට ගැනීම තුළින් රටට විය හැකි හානිය පිළිබඳ කතා කළා. අද මේ මොහොත වන විටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ විශේෂ නියෝජිත මේරිල් මහත්මිය ජෝෂප් ස්ටාර්ලින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment