අගමැති ඉල්ලා අස්වෙන්න: සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ දෙන්න

194
  • ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනය කරයි

තවදුරටත් රට අරාජිකත්වයක් කරා නොයවා අගමැතිවරයා වහා ඉවත් වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කථානායකවරයාට රට භාර දෙන ලෙස ඉල්ලා සිටින බව ස්වාධීන පක්ෂ එකමුතුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා තිබේ.

මීට පෙර ද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වී පක්ෂ නායකයන් ඉල්ලා සිටි පරිදි කටයුතු නොකිරීමෙන් රට ව්‍යාකූල මෙන්ම ප්‍රචණ්ඩ තත්ත්තවයක් කරා වර්ධනය වෙමින් තිබෙන බව ද එහි දැක්වෙයි.

අගමැති ඉල්ලා අස්වෙන්න: සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ දෙන්න

එහි මෙසේ ද දැක්වෙයි.

ඇතැම් පිරිස් පාර්ලිමේන්තුව වට කිරීමට ද උත්සාහ කරන බව දැන ගන්නට ඇත. ඒ කුමන අරමුණක් ඉටු කර ගැනීමට දැයි අප්‍රකාශිතය. පාර්ලිමේන්තුව යනු ජනතා පරමාධිපත්‍යයේ ද ප්‍රජාතන්ත්‍රවාදයේ ද මුදුන් මුල්කඩයි. පාර්ලිමේන්තුවේ පැවැත්මට එල්ල කරන තර්ජනය ජනතා පරමාධිපත්‍යයට ද ප්‍රජාතන්ත්‍රවාදයට ද එල්ල කරන මරු පහරක් ලෙස අපි දකිමු. පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කිරීම යනු ජුලි 20 දින පැවැත්වීමට නියමිත නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට ද ඒ හරහා රට යළි සාමකාමී කිරීමට ද එල්ල කරන බාධාවකි. එමෙන්ම පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමේදී ද ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම තීරණාත්මක සාධකයකි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය ද පාර්ලිමේන්තුව ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ද රැක ගැනීම ආණ්ඩුවේ ද ආරක්ෂක හමුදාවන්ගේ ද සියලුම දේශපාලන පක්ෂවල ද බහුජන සංවිධාන හා අරගලකරුවන්ගේ ද පරම යුතුකම බව අපි තරයේ අවධාරණය කරමු.

පූජ්‍ය අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, වෛද්‍ය ඩී. වීරසිංහ, ඒ. එල්. එම්. අතාවුල්ලා, අසංක නවරත්න, ගෙවිඳු කුමාරණතුංග, ප්‍රේමනාත් දොලවත්ත මීට අත්සන් තබා තිබේ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment