අගමැති මෝදිගේ රථ පෙළ සිර කළේ පන්ජාබ් ආණ්ඩුව දැනුවත්වද ?

497

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රථ පෙළ පන්ජාබ්හි ගොවි විරෝධතාකරුවන් විසින් විනාඩි 20 ක කාලයක් ගුවන් පාලමක් මත සිරකර ගෙන සිටීම බරපතළ ආරක්ෂක දෝෂයක් ලෙස ඉන්දීය මාධ්‍ය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය විසින්ද වාර්තා කර තිබිණි. මෙම සිද්ධිය වාර්තා වූයේ පසුගිය අඟහරුවාදාය. අපි මීට සතියකට පමණ පෙර අගමැතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ජර්මනියෙන් ගෙන්වූ ඉන්දීය රුපියල් කොටි 12ක් වටිනා බෙන්ස් රථය ගැන කතා කළෙමු. එහෙත් පන්ජාබ් ගමන සඳහා එම රථය යොදාගෙන නොතිබිණි. කවරක් නමුත් අගමැති මෝදිගේ ආරක්ෂාව බරපතළ අනතුරකට හෙළුවේ පන්ජාබ් ආණ්ඩුව විසින්ද? පන්ජාබ් ප‍්‍රාන්ත ආණ්ඩුව ඉන්දීය කොංග‍්‍රස් පක්ෂට බලය හිමි ආණ්ඩුවකි.

සාමාන්‍යයෙන් ඉන්දීය අගමැතිවරයා තම ප‍්‍රාන්තයට පැමිණෙන විට එම ප‍්‍රාන්ත ඇමැතිවරයා රටේ නායකයා පිළිගැනීමට පැමිණේ. නමුත් බදාදා දිනයේ ප‍්‍රාන්ත මහා ඇමැති චරන්ජිත් සිං චානි බතින්දා ගුවන්තොටුපළට පැමිණ සිටියේ නැත. ඔහු පවසන්නේ තමාගේ සමිපතමයකු කොවිඞ් ආසාදිතයකු වීම නිසා අගමැති පිළිගන්නට නොගිය බවයි. මෝදී අගමැතිවරයා පන්ජාබය වෙත ගියේ මැතිවරණ රැළියක් ඇමතීමට මෙන්ම තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා මුල්ගල තැබීමටය. ගුවන්තොටුපළේ සිට හෙලිකොප්ටරයෙන් ෆෙරෝසපුර් මැතිවරණ රැලිය පැවැත්වෙන ස්ථානයට යෑමට මුලින් තීරණය කර තිබුණද කාලගුණ තත්ත්වය යහපත් නොවූ නිසා අධිවේගී මාර්ගය හරහා යෑමට තීරණය කෙරිණි. මේ බව පන්ජාබ් පොලිසියට දැනුම් දුන් අතර අගමැතිවරයාගේ මැතිවරණ රැලියේ ආරක්ෂාව වෙනුවෙන් දසදහසක පොලිස් බළකායක් යොදා ආරක්ෂාව තර කර තිබිණි. නමුත් පන්ජාබ් පොලිසිය අගමැතිවරයා ගමන් ගන්නා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා අවශ්‍ය ආරක්ෂාව ලබා දීම අනිවාර්ය වුවත් මැතිවරණ රැලිය පැවැත්වෙන ස්ථානයට කිලෝමීටර් 10ක් පමණ තිබියදී රථ පෙළ හිරවිය. ඒ ගොවි උද්ගෝෂණයක් නිසාය. විනාඩි විස්සක්ම ගමන් මාර්ගය අවහිරවීම නිසා අගමැති ආරක්ෂකයන්ට කළු පැහැති ටොයෝටා ෆොර්රනර් රථය වටා රැකවල් ලා ගෙන සිටින්නට සිදුවිය.

මෙය මෑත ඉතිහාසයේ ඉන්දීය අගමැතිවරයකුගේ ආරක්ෂාව බරපතළ ලෙස අවධානමට ලක්වූ අවස්ථාව බව ඉන්දීය මාධ්‍ය කියයි. අගමැතිතුමා විනාඩි 15-20ක් ගුවන් පාලමක හිරවෙලා හිටියා. මෙය අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවේ විශාල අඩුපාඩුවක්,” ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර තිබිණි. මේ අවුල නිසාම වහාම රථපෙළ ආපසු හරවාගෙන නැවත ගුවන්තොටුපළට යෑමට අගමැතිවරයාට සිදුවිය.

පන්ජාබයේදී අගමැතිවරයා ගොවි උද්ඝෝෂණයට මැදිවීම ඉන්දීය දේශපාලනය ද කළඹන සිදුවීමක් වී ඇත. භාරතීය ජනතා පක්ෂ ඇමැතිනී ස්මි‍්‍රති ඉරානි ප‍්‍රකාශ කර තිබෙන්නේ ‘‘එය අගමැති ඝාතනය කිරීමේ මිනීමරු කුමන්ත‍්‍රණයක්. කොංග‍්‍රසය ඔහුට වෛර කරනවා දැන් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ඔහුට හානි කිරීමටයි,” අගමැති ආරක්ෂාව අවුලකට පත්වීම ප‍්‍රතික්ෂේප කරන පන්ජාබ් අමාත්‍ය රාජ්කුමාර් වර්කා පවසන්නේ ඇත්ත කතාව භාරතීය ජනතා පක්ෂයේ රැලිය අසාර්ථක සංදර්ශනයක් වීමයි. අගමැතිවරයා මෙය දැනගත් විට ඔහු නැවත පැමිණීමට තීරණය කළා.

භාරතීය ජනතා පක්ෂ විවේචන වලට පිළිතුරු දෙන පන්ජාබ් මහ ඇමැති චානි පවසන්නේ අගමැතිවරයාට ආපසු යෑමට සිදු වීම ගැන කනගාටු වන නමුත් අවසාන මොහොතේ අගමැති රථ පෙළට විකල්ප මාර්ගයක් ලබා දුන් බවත්ය. ‘‘පන්ජාබ් ජාතිකයෙක් විදියට මම දිවිහිමියෙන් අගමැතිවරයා ආරක්ෂා කරනවා නමුත් ඔහුගේ ජීවිතයට කිසිම අනතුරක් වුණේ නැහැ. කිසිම ආරක්ෂාව කඩවීමක් වුණේ නැහැ. අපේ අගමැතිතුමාට අපි හැම ගෞරවයක්ම දෙනවා,” ඔහු පවසයි.

භාරතීය ජනතා පක්ෂයේ පන්ජාබ් ප‍්‍රධානි ජේ.පී. නඞ්ඩා ප‍්‍රධාන අමාත්‍යවරයාට චෝදනා කරමින් පවසා ඇත්තේ ඔහු අගමැතිවරයාගේ රථ පෙළ සිරවූ අවස්ථාවේ පවා ලැබෙන දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීම ප‍්‍රතික්ෂේප කළ බවයි. ‘‘පන්ජාබ් ප‍්‍රාන්තයේ කෝටි දහස් ගණනක සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම වෙනුවෙන් පැමිණි අගමැතිගේ සංචාරය කඩාකප්පල් වීම කනගාටුවට කරුණක්. ජනතාව බීජේපී රැලියට පැමිණීම වළක්වන ලෙස ප‍්‍රාන්ත ආණ්ඩුව පොලිසි වලට උපදෙස් දීලා තිබ්බා” නඞ්ඩා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ප‍්‍රකාශ කර තිබුණේ අගමැතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ප‍්‍රශ්න ගැන සවිස්තර වාර්තාවක් පන්ජාබ් ප‍්‍රාන්ත ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බවයි. ඒ ගැන ඔහු අඟහරුවාදා දිනයේ සිය ට්විටර් ගිණුමේ මෙසේ සටහන් තබා තිබිණි. ‘‘පංජාබයේ අද සිදු වූ ආරක්ෂක බිඳවැටීම පිළිබඳව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සවිස්තර වාර්තාවක් ඉල්ලා ඇත. අගමැතිවරයාගේ සංචාරයේ එවැනි ආරක්ෂක ක‍්‍රියා පටිපාටිය නොසලකා හැරීම කිසිසේත්ම පිළිගත නොහැකි අතර එය බරපතළ වරදකි.

මෝදිගේ ආණ්ඩුවට පන්ජාබ් ගොවියෝ කිසිම කැමැත්තක් නැත. ගොවි පනත මෝදී ආණ්ඩුවට විසිකර දමන්නට සිදුවූයේද සික් ගොවියන්ගේ විරෝධතා නිසාය. එසේනම් මෝදිගේ රථ පෙළ ගැන විස්තර ගොවීන්ට ලැබුනේ පන්ජාබ් ආණ්ඩුවෙන් ද? උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පොලිසිය ක‍්‍රියා කළේද නැත. එසේනම් පන්ජාබයේදී අගමැති මෝදී නිග‍්‍රහයට ලක්ව තිබේ. ආරක්ෂාව නොව බලවත් අගමැතිගේ දේශපාලන ප‍්‍රතිරූපයට ගොවියෝ උක්දඬු වලින් පහරදී ඇත.

අගමැති මෝදි නැවත පංජාබ් ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ එහි සිටි බලධාරීන්ට ප‍්‍රකාශ කර ඇත්තේ තමා යහතින් පැමිණි බව මහ ඇමැතිවරයාට දැනුම් දෙන ලෙසයි. මේ කතාවෙන්ම ඉන්දියාවේ බලවත් අගමැතිවරයා අපහසුතාවට පත් වූ අයුරු හොඳින් පැහැදිලි වේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment