අගමැති මෝදිට සරදම් කරන ජෝර්ජ් සෝරෝස්

453

ජෝර්ජ් සෝරෝස් මතභේදාත්මක ප්‍රකාශවලට අමුත්තක් නම් නොවේ. පසුගියදා පැවති මියුනිච් ආරක්ෂක සමුළුවේදී ඉන්දියාවේ ගෞතම් අදානිගේ ව්‍යාපාරික අධිරාජ්‍යය සහ හින්ඩන්බර්ග් පර්යේෂණ හෙළිදරව් කිරීම් මෙන්ම ඉන්දියාවේ අගමැති ගැනත් සඳහන් කර සිටියේය. මේ ප්‍රකාශය ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබේ. 92 හැවිරිදි හංගේරියානු ජාතික යුදෙව් දානපතියා පැවසුවේ කුමක්ද? ඔහු මියුනිච් ආරක්ෂක සමුළුවේ විනාඩි 40කට වඩා කාලයක් මිඩංගු කළ කථාව, දේශගුණික විපර්යාස, රුසියානු-යුක්‍රේන යුද්ධය, එක්සත් ජනපදයේ සමාජ ආතතීන්, තුර්කියේ භූමිකම්පාව සහ කොමියුනිස්ට් පක්ෂයේ පසුබෑම ඇතුළු කරුණු ආවරණය කරන ලදී. ඔහු සිය කතාවේ ආරම්භයේ දී විවෘත හා සංවෘත සමාජ පිළිබඳ කෙටි සඳහනකින් පසුව ඉන්දියාව ගැන සඳහන් කළේය. “ඉන්දියාව සිත්ගන්නා කරුණකි,” සෝරෝස් පැවසීය. “එය ප්‍රජාතන්ත්‍රවාදයක්, නමුත් එහි නායක නරේන්ද්‍ර මෝදි ප්‍රජාතන්ත්‍රවාදියෙක් නොවේ. මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම ඔහුගේ දේශපාලන නැගීමේ වැදගත් සාධකයක් විය.

මෝදි විවෘත හා සංවෘත සමාජ දෙකම සමඟ සමීප සබඳතා පවත්වයි. ඉන්දියාව ඔස්ටේ්‍රලියාව, එක්සත් ජනපදය සහ ජපානය ඇතුළත් කෝඩ් සමාජයේ සාමාජිකයෙකු වන නමුත් ඉන්දියාව රුසියානු තෙල් විශාල වට්ටමක් යටතේ මිල දී ගෙන ඒවා අනෙක් රටවලට විකුණා විශාල මුදලක් උපයා ගනී. මෝදී සහ ව්‍යාපාරික අධිපති අදානි සමීප සගයන් බව රහසක් නොවේ. ඇත්තෙන්ම ඔවුන්ගේ ඉරණම එකට බැඳී ඇත. සෝරෝස් ඉන්දියාවට සහ අගමැති මෝදිට එරෙහිව කතා කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2020 දී ද, ඔහු ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුවේ උත්සවයක් අමතමින් වත්මන් ඉන්දීය රජයට දොස් පැවරූ අතර ජාතිකවාදය ඉදිරියට යන බවත් එය ඉන්දියාවට ඇති “විශාලතම පසුබෑම” බවත් පවසා තිබිණි.

පසුගිය ජනවාරි 24 වන දින හින්ඩන්බර්ග් වාර්තාව නිකුත් කිරීමෙන් පසු අදානි සමූහයේ කොටස් අගය ඩොලර් බිලියන 125ක් අහිමි වීම සෝරෝස්ට ඉන්දියාව මතක් කිරීමට බෙහෙවින් උපකාරවන්නට ඇත. ඔහුගේ විවෘත සමාජ පදනම් හරහා ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ශක්තිමත් කිරීම සඳහා බිලියන ගණන් වියදම් කර ඇති සෝරෝස්, ආණ්ඩු වෙනස් කිරීම වෙනුවෙන් අරමුදල් සැපයීමේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් ලොව පුරා චෝදනාවලට ලක්ව තිබේ. 1997 දී ආසියාවේ මූල්‍ය අර්බුදය ඇති කළ සහ තීරණාත්මක පුද්ගලයා ලෙස ජෝර්ජ් සෝරෝස් නම් කර ඇත. අර්බුදයට තුඩු දුන් තායිලන්තයේ සහ මැලේසියාවේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුට දොස් පැවරේ. නැගෙනහිර ආසියාවේ රටවල ආයෝජනය කර තිබූ මුදල් ක්ෂණිකව ඉවත් කර ගැනීම මගින් එම රටවල් බිඳවැට්ටූ බවට මැලේසියානු හිටපු ජනාධිපති මහතීර් මොහොමඩ් ඔහුට ප්‍රසිද්ධියේ චෝදනා කර තිබිණ.

රුසියානු ජනපති පුටින් බලයෙන් නෙරපීම සඳහාද ඔහු මුදල් ලබාදී ඇත. ඔහු විසින් ආරම්භ කරන ලද විවෘත සමාජ පදනම නම් වූ සංවිධානය සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ එක්ව ලොව පුරා සිවිල් සමාජ ගොඩනැංවීමේ අරමුණින් ලබාදෙන අරමුදල් මගින් මිලට ගැනෙන වාමවාදීන් පසුව සිය දේශපාලන ව්‍යාපාරයම රාජ්‍ය නොවන ආයතන බවට පත් කරගනිති. විවෘත සමාජ පදනම 2015 සිට සෘජුව ලංකාවේ ක්‍රියාත්මක වෙන අතර 2016දී ශ්‍රී ලංකාවේ කැෆේ සහ ට්‍රාන්ස් පේරන්සි ඉන්ටනැෂනල් යන ආයතනවලට පමණක් පිළිවෙළින් ඇමරිකානු ඩොලර් /150,000.00 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 20ක්) සහ /111,698.00 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 15ක්) ලබාදී ඇති බව එම සංවිධානයේ තොරතුරු විමසන විට පෙනී යයි. මේවා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ඇති කිරීම වෙනුවෙන් ලබා දුන් අල්ලස්ය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා විවෘත සමාජ පදනම් පිහිටුවා ගත් හංගේරියානු-ඇමරිකානු ව්‍යාපාරිකයා, අගමැති මෝදි ප්‍රජාතන්ත්‍රවාදියෙකු නොවේ යනුවෙන් පැවසීම භාරතීය ජනතා පක්ෂය කුපිත කිරීමට සමත්ව තිබේ. මේ නිසාම ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් ද ජෝර්ජ් සෝරෝස් “මහලු”, පොහොසත් නමුත් ඔහුගේ අදහස් භයානකයි යනුවෙන් ප්‍රකාශ කර තිබිණි. ඉන්දියාවේ කෝපයක් ඇති කළ ප්‍රකෝටිපති මූල්‍යකරු ජෝර්ජ් සෝරෝස් පිළිබඳව එරට ප්‍රකෝටිපතියකු වන කේ. පී. සිං පවසා තිබුණේ වයස්ගත ජෝර්ජ් සෝරෝස් “බුරන බල්ලෙක්” යනුවෙනි. ඔහු මට වඩා බාලයි මට වයස අවුරුදු 93 (ඔහුට වයස අවුරුදු 92) නමුත් මේ වයසේදී ස්වභාවයෙන්ම සමහර විට ව්‍යාකූල චින්තනයක් එනවා කේ. පී. සිං කියයි. කොන්ග්‍රස් පක්ෂ නායකයකු වන පී. චිදම්බරම් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “මම කලින් ජෝර්ජ් සෝරෝස් පැවසූ බොහෝ දේවලට එකඟ නොවෙමි, දැනුදු ඔහු පවසන බොහෝ දේවලට මම එකඟ නොවෙමි. නමුත් ඔහුගේ ප්‍රකාශය ” ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජය පෙරළීමේ උත්සාහයක් ලෙස ලේබල් කිරීම යනු පුහු ප්‍රකාශයක් බව පවසමි.

භාරතීය ජනතා පක්ෂයේ ඇමතිනි සමිත්‍රී ඉරානී පවසන්නේ ජෝර්ජ් සෝරෝස් “ආර්ථික අපරාධකරුවෙකු” සහ “එංගලන්තයේ බැංකුව බිඳ දැමූ මිනිසෙකු” බවත් ඔහු “ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්ට ඇඟිලි ගැසීමට ඔහුගේ නරක චේතනාවන් ඔප්පුවන බවයි. එක්සත් රාජධානියේ, සෝරෝස් 1992 දී “එංගලන්ත බැංකුව බිඳ දැමූ මිනිසා” ලෙස ප්‍රසිද්ධියට පත් විය. ඔහු පවුම් ණයට ගෙන ඒවා විකුණා, මුදල් වෙළෙඳපොළවල ස්ටර්ලිං මිල පහත වැටීමට තුඩු දුන් අතර එය අවසානයේ එක්සත් රාජධානිය බිඳ වැටීමට හේතු විය.

කෙසේ නමුත් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි අතර සබඳතාව රටට හෙළිකළ යුතු බව ඉන්දීය කොංග්‍රසයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි ඉන්දීය පාර්ලිමේන්තුව පසුගියදා ප්‍රශ්න කර තිබිණි. රාහුල් ගාන්ධි මහතා පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, පසුගිය වසර 8ක කාලය තුළ ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ සහයෙන් ගෞතම් අදානි ව්‍යාපාර රැසකට අවතීර්ණය වී ධනපතියෙකු බවට පත්ව ඇති බවයි. රාහුල් ගාන්ධිගේ පාර්ලිමේන්තු කතාවේ මෙසේද සඳහන්ව තිබිණි. “කේරළයේ, තමිල්නාඩුවේ, මහාරාෂ්ට්‍ර, කර්ණාටක, කාෂ්මීරයේ හැමතැනම අදානී.. අදානී.. ආදානී.. ආදානී… අදානිගේ වත්කම 2014 සිට 2022 දක්වා ඩොලර් බිලියන 8 සිට ඩොලර් බිලියන 140ක් දක්වා ඉහළ ගියේ කොහොමද? ලෝකයේ ධනවතුගේ ලැයිස්තුවේ 2014 වසරේ තමයි මැජික් එක වුණේ. 609 වැනි ස්ථානයේ පසුව එකවරම ඔහු ලැයිස්තුවේ 2 වැනි ස්ථානයට පැමිණියා. මගෙන් හැමෝම අහනවා, අදානි එකවරම මෙතරම් විශාල ව්‍යාපාර ගණනකට පිවිසුණේ කොහොමද? මෙතරම් සාර්ථකත්වයකට ඔහු පත්වුණේ කොහොමද? වඩා වැදගත්ම ප්‍රශ්නය වන්නේ ඔහු සහ ඉන්දියානු අගමැති අතර ඇති සබඳතාව කුමක්ද? මේ බලන්න ඔවුන් අතර ඇති සබඳතාව. අගමැතිතුමනි, ඔබගේ විදේශ සංචාරයන්හීදී අදානි මහත්තයායි ඔබයි කීපාරක් එකට ගියාද? කොපමණ වාරයක් සංචාරය අතරතුරදී අදානි මහතා ඔබ සමග එක්වුණාද? කොපමණ වාරයක් ඔබ රටකට සංචාරය කළ පසු ඒ රටට අදානි මහත්තයා හදිසියේ ගිහින් තියෙනවාද? අගමැතිතුමා සංචාරය කළ පසු එම රටවල් මගින් කොපමණ කොන්ත්‍රාත්තු ප්‍රමාණයක් අදානි මහත්තයාට ලබාදී තිබෙනවාද? ඒ වගේම තවත් වැදගත් ප්‍රශ්නයක් තමයි පසුගිය වසර 20 ඇතුළත අදානි මහත්තයා භාරතීය ජනතා පක්ෂයට කොපමණ මුදලක් ලබාදී තිබෙනවාද?”

ලබන වසරේ මැතිවරණයකට මුහුණ දීමට සිටින භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට නොයෙක් ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවන බව පෙනේනෙන්ට තිබේ. විශේෂයෙන්ම අගමැතිගේ හිතවතා වන අදානි සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන කිසිම ප්‍රකාශයක් ඉන්දීය ආණ්ඩුවෙන් සිදු කර නැත. 2014 අගැමති ධුරයට පත්වීමෙන් පසු මෝදි දිල්ලිය බලා පැමිණියේ අදානිගේ ගුවන් යානකින් බව ප්‍රකට කරුණකි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළේ යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා 2021 දී පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී අනාවරණයක් සිදුකර තිබිණි. කෙසේ නමුත්, මෙම ප්‍රකාශය සිදුකර දිනක් ගතවීමට ද මත්තෙන් සභාපතිවරයා අදාළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනුණි. අදානි සමාගම ශ්‍රී ලංකා රජය හා ගිවිසුම්ගතව ඇත්තේ මන්නාරම සහ පූනරීන්හි මෙගාවොට් 500ක සුළං බල ව්‍යාපෘතියක් දියත්කිරීම සඳහා ය. කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය අදානි සමූහයත් සමග ගිවිසුම් අත්සන් කර ඇති අතර එහි ඉදිකිරීම්ද ආරම්භ වී තිබේ. බටහිර බහාලුම් පර්යන්තයේ 51%ක කොටස් අදානි සමූහයට අයත් අතර, අදානි සමූහයේ මෙරට නියෝජිත ජෝන් කීල්ස් සමාගමට කොටස් අයිතියෙන් 34%කුත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%කුත් අයත් වේ. මෙය ඩොලර් මිලියන 700ක ආයෝජනයකි. පසුගිය දශකය තුළ අදානි සමාගමේ කොටස්වල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. කෙසේ නමුත් ගෞතම් අදානි මෙවන් අසාමාන්‍ය අන්දමේ ශීඝ්‍ර ප්‍රගතියක් අත්කර ගත්තේ ඔහුට මෝදි රජය හා සමීප සබඳතා ඇති නිසාවෙන් යැයි චෝදනා එල්ල වී ඇත. එහෙත් දැන් ඒ බැලුම පිපිරී ගොස් අවසානය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment