අගමැති රනිල්ට ලොව වටෙන්ම සුබපැතුම්:

639

අගමැති එක්ක කටයුතු කරනවා – ඇමරිකානු තානාපති

ශ්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් කැපවෙනවා – ඉන්දීය මහකොමසාරිස්

අවුල ලිහන්න සුදුස්සා රනිල් – යුරෝපා සංගමයේ නියෝජිත

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇමරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් සහ යුරෝපා සංගමයෙන් සුබ පැතුම් එක්කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ නව අග්‍රාමාත්‍යවරයා සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීම සහ කඩිනමින් නව රජයක් පිහිටුවීම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාගැනීමටත්, ආර්ථික ස්ථාවරත්වයට ඇති පළමු පියවර බවත් ඇය පෙන්වා දී ඇත.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අර්ථවත් ප්‍රගතියක් ලබා ගැනීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට දීර්ඝකාලීන විසඳුමක් ලබාදීමට රජය දිරිමත් කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙරට දේශපාලන ස්ථාවරත්වය අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමග කටයුතු කිරීමට අපේක්‍ෂා කරන බවත් පවසන ඉන්දීය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම තවදුරටත් අඛණ්ඩව පවතිනු ඇති බවද සඳහන් කරයි.

බි්‍රතාන්‍ය හා යුරෝපා සංගමය නියෝජනය කරන ප්‍රවීණ දේශපාලනඥයකු වන ශ්‍රී ලාංකික නිරන්ජන් දේවාආදිත්‍ය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව දැන් මුහුණදී සිටින අවුල්සහගත වාතාවරණයෙන් මිදීමට අවශ්‍ය සම්බන්ධතා හා පළපුරුද්ද සහිත එකම ශ්‍රී ලාංකික දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි. ඔහුට ඒ සම්බන්ධයෙන් විශේෂ සේවයක් කළ හැකි බවත්, අවසන් වරට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුගේ දෑත් බැඳ තැබූ බවත් ඒ මහතා සඳහන් කරයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment