අගමැති විශ්වාසභංග යෝජනාව අවහිර කළ ආකාරය වැරදියි – පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය

261

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව පාර්ලිමේන්තුවට එල්ල වී තිබූ විශ්වාස භංග යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම අවහිර කළ ආකාරය ව්‍යවස්ථානුකුල නොවන බැවින් එම ඡන්ද විමසීම අද (09දා) නැවත පවත්වන ලෙස පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙරේදා (07දා) අගමැතිවරයාට නියෝග කර තිබේ.

අගමැති ඉම්රාන් ඛාන් විසින් ඉකුත් ඉරිදා (03දා) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාව අවහිර කළ ආකාරය රටේ නීතියට ද පටහැනි වන බැවින් එහි නීත්‍යානුකුලභාවයක්ද නොමැති බව සිය නියෝගයෙන් පෙන්වා දී ඇති පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාසභංග යෝජනා ඡන්දය අවහිර කිරීමෙන් පසු අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ද වලංගු නොවන බව අවධාරණය කර තිබේ. අගමැති ඛාන් විසින් විශ්වාසභංග යෝජනා ඡන්දය අවහිර කිරීමෙන් අනතුරුව පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත් නමුදු එරට මැතිවරණ කොමිසම කියා සිටියේ දින 90ක් ඇතුළත පකිස්තානය තුළ මහ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවකි.

අගමැති ඛාන් විසින් විශ්වාසභංග යෝජනාව අවහිර කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ තර්කය වූයේ තමාට රුසියාව හා චීනය සමග පවතින මිත‍්‍රශීලී සබඳතාවය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ බලපෑම මත විපක්ෂය විසින් තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි. කිසිදු සාක්ෂියක් නොමැතිව ඉදිරිපත් කර තිබූ මෙම චෝදනාව පිළිගනිමින් පකිස්තාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ද විදේශීය කුමන්ත‍්‍රණය යන සාධකය මුල් කරගෙන විශ්වාසභංග යෝජනා ජන්දය අවහිර කිරීමට කටයුතු කර තිබිණි. පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව හේතුවෙන් ඊයේ (08දා) දිනයේ අගමැති ඛාන් විසින් සිය කැබිනට් මණ්ඩලය කැඳවා පසුව ජාතිය ඇමතීමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment