අග්ග මහා පණ්ඩිත ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය පන්නිල ආනන්ද නාහිමිපාණෝ

129

ඓතිහාසික අත්තනගල්ල අරහන්ත රාජමහා විහාරස්ථානය ලක් ඉතිහාසය තුළ ජනප්‍රියව ඇත්තේ ස්වකීය හිස පතා ගෙන ආ දුගියෙකුට තම දෑතින් ම හිස ගලවා දන් දුන් බෝධිසත්ත්ව ගුණෝපලක්ෂිත සිරිසඟබෝ රජ සිරිත නිසාවෙනි. වර්තමානයේ එම වෙහෙරට නායකත්වය ලබාදෙන, රාජපූජිත ස්‍යාමෝපාලිවංශික මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරය හා තත් සංඝ සභාවේ ඉහළ ම පූජනීය පදවියක් වන උපාධ්‍යාය පදවියක් ද හොබවා වදාරණ ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද දීමෙහි අනුසස් දන්නා අනවරතව දීමෙහි යෙදෙන බෝසත් ගුණැති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි. අත්තනගල්ල රජමහා විහාරය පමණක් නොව ඇමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ කෞෂින් ථෙරවාදී බෞද්ධ විහාරයේ ද ආධිපත්‍යය හොබවන උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය වෙතින් “ප්‍රවචන කීර්ති ශ්‍රී ලොකාර්ථචාරී” යන ගෞරව නාමයෙන් ද පිදුම් ලබා ඇත. පන්නිල ආනන්ද නාහිමිපාණෝ පැවිදි බිමට පත් වූයේ එවක අත්තනගල්ල රාජමහා විහාරාධිපතිව වැඩ විසූ වල්ගම්මුල්ලේ පඤ්ඤාරාම සහ එල්ලක්කල ධම්මාරාම යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙනි. පසුව බෝපැත්ත සිරිසඟබෝ පිරිවෙන් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා අනතුරුව දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් උසස් අධ්‍යාපනය ද ලදහ. පසුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පාලි විෂය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හදාළ අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමත් සමග උන්වහන්සේ සිරිසඟබෝ පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති ධුරයට පත් වූවා සේ ම අත්තනගලු විද්‍යාලයේ ගණිත විෂය පිළිබඳ ආචාර්යවරයා ද විය.

එම කාලයේ දී ම ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජපානයේ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙරට සිසුන්ට ජපානයේ අධ්‍යාපන හැදෑරීමට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබීණි. එම අධිශිෂ්‍යත්වයට තරගකාරීත්වයෙන් තේරීපත් වූ ආනන්ද හිමියෝ ජපානයට වැඩම කළේ එම ශිෂ්‍යත්වය සඳහා මෙරටින් ජපානයට වැඩම කළ ප්‍රථම භික්‍ෂූන් වහන්සේ ලෙස වාර්තාවකට ද හිමිකම් කියමිනි. මුල දී ජපන් භාෂාව පිළිබඳ දැනුමක් නොතිබූ උන්වහන්සේ ජපානයේ ඔසාකා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ජපන් භාෂාව පිළිබඳ හය මාසික පුහුණුවක් ලබා අනතුරුව 1975 වර්ෂයේ දී ජපානයේ කියෝතෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තුලනාත්මක ආගම් පිළිබඳ පර්යේෂණයෙහි නියුක්ත ව එම විශ්වවිද්‍යාලයෙන් වාර්ෂික ව විදේශ ශිෂ්‍යයන්ට ලබාදෙන උසස් ම ගෞරව නාමය සහිත රන් පදක්කම ද සහිතව 1977 වර්ෂයේ දී ආචාර්ය උපාධිය දිනාගත්හ.

පසුව මාගේ ආරාධනාවකට අනුව පන්නිල ආනන්ද හාමුදුරුවන්ගේ ඇමෙරිකා ආගමනයත් සමග එහි දෙවන ථෙරවාදී ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානය ‘ලොස්ඇන්ජලීස් බෞද්ධ විහාරය’ නමින් ආරම්භ කිරීමට ලැබීම ධර්මදූත මෙහෙවරෙහි අප ලද පළමු සාර්ථක ජයග්‍රහණය ලෙස සඳහන් කළ යුතුය. එමෙන්ම විවිධ බාධක, හැලහැප්පීම්වලින් පන්නරය ලද අප දෙනම ගතානුගතික අදහස් පැවති ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට යට නොවී, මා දැනට වැඩ සිටින ලොස්ඇන්ජලීස් ධර්මවිජය බෞද්ධ විහාරය ආරම්භ කළහ. එමෙන්ම ධර්මවිජය විහාරස්ථානය ප්‍රධාන කොටගෙන ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශයේ මුල් ම දහම් පාසල ආරම්භ කිරීමට ද අප දෙදෙනාට හැකි විය. අප දෙදෙනාගේ ඉදිරි ඉලක්කය වූයේ ඇමෙරිකාව පුරා විහාරස්ථාන ආරම්භ කිරීම ය. ඒ සඳහා අපට තිබූ ප්‍රබලතම ගැටලුව භික්‍ෂූන් වහන්සේලා නොමැතිවීම ය. ඊට විසඳුමක් ලෙස පන්නිල ආනන්ද හාමුදුරුවෝ දක්‍ෂ භික්‍ෂූන් වහන්සේ කිහිපනමක් ම ඇමෙරිකාවට වැඩම කරවූහ. ඒ අතර කඹුරාගල්ලේ නන්ද, බස්නාගොඩ රාහුල, අලවල සුභූති සහ වතෝගල සරණසිරි යන හිමිවරුන් සුවිශේෂී වන්නේ අද වන විටත් උන්වහන්සේලා සක්‍රීය ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින බැවිනි.

ඇමෙරිකාවේ පමණක් නොව තායිවානයේ ද කාලයක් වැඩ සිටි පන්නිල ආනන්ද හාමුදුරුවෝ කෞෂින් නගරයේ ථෙරවාද බෞද්ධ විහාරස්ථානයක් ආරම්භ කළහ. ස්වකීය ගුරුදේවයාණන් වූ වල්ගම්මුල්ලේ පඤ්ඤාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු 1999 වර්ෂයේ දී අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ ආධිපත්‍යය භාරගත් උන්වහන්සේ අද වන විට එම විහාරස්ථානයේ පැරැණි විහාරාරාංග පිළිසකර කරමින් හා අති නවීන සියලු පහසුකම්වලින් යුත් දෙමහල් තෙමහල් ගොඩනැඟිලි හා අනෙකුත් විහාරාරාංග ඉදිකරමින් සිදු කර ඇති සුවිසල් කාර්යභාරය විශ්මයාවහ ය. විහාර භූමියේ විසල් පුස්තකාලයක් නිර්මාණය කොට ඒ වන විට ඉතිහාසය තුළ පමණක් නාමශේෂව පැවැති ‘අත්තනගල්ල ප්‍රතිරාජ’ පරිවේණාස්ථානයට පුනර්ජීවය ලබාදෙමින් පතිරාජ පිරුවන ආරම්භ කිරීම යුගයේ සුවිසල් ශාසනික කාර්යභාරයක් ලෙස දකිමි. එම පරිවේණාස්ථානය මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ මූලික පිරිවෙන් සියල්ල අතරින් පළමු ස්ථානයට පත්ව ඇති බව සතුටින් මතක් කළ යුතුය. එමෙන්ම අනෙක් පිරිවෙන් දියුණු කිරීමට දායකත්වය ලබාදෙන පන්නිල ආනන්ද නායක හාමුදුරුවෝ නුවර නියංගොඩ තට්ටු තුනක ගොඩනැඟිල්ලක් සාදා පූජා කොට ඇත. දඹාන ආදිවාසී ජනතාවට වැඳුම් පිදුම් කිරීමට බෞද්ධ විහාරස්ථානයක් සමග ආදිවාසී දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීමට දහම් පාසලක් ද ආරම්භ කොට ඇත. මේ වන විට විහාරස්ථාන රැසකට විහාරාංග සම්පූර්ණ කර දී ඇති අතර පාසල් විශාල සංඛ්‍යාවක බුදු මැඳුරු ස්ථාපනය කර දී ඇත. ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගෙන උන්වහන්සේ දැයේ දූ දරුවන්ගේ නැණැස දියුණු කරලීම වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු කොට ඇති සුවිසල් කාර්යභාරය කිසිවෙකුට උපමා කළ නොහැකි ය. ලංකාවේ පාසල් පද්ධතියට මේ වන විට තෙමහල් ගොඩනැඟිලි පනහකට ආසන්න ප්‍රමාණයක් තිළිණ කර දී ඇත.

ගම්පහ දිසාවේ හා ඉන් ඔබ්බෙහි සැරිසරණ ඕනෑම කෙනෙකුට පාසල ඉදිරිපිට ම ‘ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි තෙමහල් පාසල් ගොඩනැඟිල්ල’ ලෙසින් නම් කොට ඇති ගොඩනැඟිලි දැකිය හැක. එමෙන්ම වතුපිටිවල මහ රෝහලේ භික්‍ෂු වාට්ටුව අංගසම්පූර්ණ ලෙස නවීකරණය කිරීම හා එයට ළමා වාට්ටුවක් පරිත්‍යාග කිරීමත් එම රෝහලට සී ටී ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම, වතුපිටිවල රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ගිලන් රථ තුනක් ලබාදීම, මහනුවර මහ රෝහලට බුදු මැඳුරක් සාදා පූජා කිරීම ඇතුළු විශාල සේවාවක් මෙරට රෝහල් පද්ධතියේ සංවර්ධනය උදෙසා ද උන්වහන්සේ සිදු කර ඇත.

අග්ග මහා පණ්ඩිත ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය පන්නිල ආනන්ද නාහිමිපාණෝ

හදවත්, පිළිකා, වකුගඩු ඇතුළු ඕනෑම සැත්කමක් සඳහා ආර්ථික ශක්තියක් නොමැති අසරණ මිනිසුන්ට පිහිටවීම උන්වහන්සේගේ දාන පාරමිතාවේ කොටසකි. සුනාමි ව්‍යසනයෙන් අවතැන් පවුල් තුන්සිය තිස්හයක් සඳහා අංගසම්පූර්ණ නිවාස ඉදිකර දීම, සාලාව හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් උන්හිටි තැන් අහිමි පවුල් විශාල සංඛ්‍යාවකට ගෑස් ලිප්, ගෑස් ටැංකි සහ තවත් උපකරණ කට්ටලය බැගින් බෙදාදීම, මහා ගංවතුර ඛේදවාචකයේ දී අවතැන් පවුල් අටසීයකට සහ විහාරස්ථාන අනූවකට එම උපකරණ කට්ටලය ම බෙදා දීම, කොරෝනා වසංගතයත් සමග රට වසා තැබුණු කාලයේ දී රට පුරා ජනතාවට බෙදා දුන් වියළි ආහාර මලු ප්‍රමාණය ගණනය කළ නොහැක තරම් ය.

ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් තිදෙනකුගෙන් ආරම්භ කළ ශිෂ්‍යත්ව වැඩසටහන මගින් මේ වන විට ළමයි එක්දහස් පන්සියකට වැඩි පිරිසකට ශිෂ්‍යත්වය ලබාදෙමින් ජාති, ආගම් බේදයෙන් තොරව පන්නිල ආනන්ද හාමුදුරුවෝ විසින් සිදු කර ඇති සමාජ සහ ශාසනික මෙහෙවර කිව නොහැකි තරම් ය.

ජපන්, තායිවාන හා ඇමෙරිකා ජාතික දායක, දායිකාවන් ලබාදෙන ආධාර, උපකාර පරිත්‍යාගයෙන් ආචාර්ය පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේ විසින් ගොඩනැඟු හතළිහකට ආසන්න පාසල් ගොඩනැඟිලි තුළ මේ වන විට සිසු දරුවන් දසදහසකට ආසන්න පිරිසක් අකුරු කරන බව සැබැවි.

උන්වහන්සේ පරිත්‍යාග කරන ලද නිවාසවල පවුල් පන්සීයක් පමණ නිදහසේ ජීවත් වෙති. උන්වහන්සේ පූජා කරන ලද ගිලන් රථ සේවය නිසා හුස්ම නොවැටුණු ජීවිත කීයක් නම් නැවත ජීවත්වීමට වරම් ලබා ඇති ද, සෞඛ්‍ය සේවාවන් ලෙස උන්වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් ගොඩනැගුණු රෝහල් ගොඩනැඟිලි තුළ ප්‍රතිකාර ලබන රෝගීන් කොපමණ දැයි කිව නොහැකි තරම් ය.

ලෝක ආගමික හා අධ්‍යාපනික වශයෙන් මහානීය උදාර සේවාවන් සිදුකරන කීර්තිමත්, නැණවත්, ගුණවත්, සිල්වත් උත්තමයන් වහන්සේලාට මියන්මාර් රජයෙන් පිරිනමන සුවිශේෂ ගෞරව නාමයක් වන ‘අග්ග මහා පණ්ඩිත’ පදවියෙන් පිදුම් ලබා ඒ වෙනුවෙන් ලක් රජයෙන් හරසර ලබන අවස්ථාවේ දී තෙරුවන් සරණින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිර ජීවනය ලැබේවා’යි ප්‍රාර්ථනා කරමි.

පාමංකඩ ශ්‍රී මහා විහාරය හා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක
අග්ග මහා පණ්ඩිත, ආචාර්ය
වල්පොළ පියනන්ද නායක ස්ථවිර

advertistmentadvertistment
advertistmentadvertistment