අග‍්‍රහාර රක්‍ෂණයට මුවාවී විශ‍්‍රාම වැටුප් කප්පාදුව!

929

*  විශ‍්‍රාමික හිමිකම්  සුරැකීමේ ජාතික සංවිධානය

* චක‍්‍රලේඛය නිකුත් කළේ විශ‍්‍රාමිකයන්ගේ ඉල්ලීමට – රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්


විශ‍්‍රාමිකයන් 6,60,934 කගේ අනුමැතියකින් තොරව අග‍්‍රහාර රක්‍ෂණයට බැරකරන මුවාවෙන් ආණ්ඩුව විශ‍්‍රාම වැටුප්වලින් මාසිකව රුපියල් මිලියන 234 කට අධික මුදලක් කපා ගැනීමට චක‍්‍රලේඛයක් නිකුත් කර ඇතැයි විශ‍්‍රාමිකයන්ගේ හිමිකම් සුරැුකීමේ ජාතික සංවිධානයේ ප‍්‍රධාන ලේකම් සරත් ලාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (7 දා) පැවැසීය.

2016 ජනවාරි 01 ට පෙර විශ‍්‍රාම ගිය වයස අවුරුදු 70 ට වැඩි විශ‍්‍රාමිකයන්ගෙන් රුපියල් 600 ක්ද, වයස අවුරුදු 70 ට අඩු අයගෙන් රුපියල් 400 ක්ද ලෙස මුදල් කපා ගැනීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ඔක්තෝබර් 29 දා චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් එය පාදක කරගෙන විශ‍්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් ඩයස් මහතා නොවැම්බර් 5 දා චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බවද ඔහු කීය.

මෙම චක‍්‍රලේඛය මගින් විශ‍්‍රාම වැටුපෙන් කපා ගන්නා මුදල වැඩිකර ඇතත් එතෙක් විශ‍්‍රාමිකයන්ට අග‍්‍රහාර රක්‍ෂණයෙන් හදිසි අනතුරකදී ගෙවන රුපියල් ලක්‍ෂ 6 ක මුදලද ස්වාභාවික මරණයකදී ගෙවූ රුපියල් ලක්‍ෂ 1 1/2 ක ගෙවීම්ද කපා හැර චක‍්‍රලේඛය නිකුත් කර ඇතැයිද ඔහු කීය.

විශ‍්‍රාමිකයන්ගෙන් මුදල් කපා ගැනීමට තීරණය කර ඇති මෙම චක‍්‍රලේඛය නිකුත් කිරීමට පෙර විශ‍්‍රාමිකයන්ගෙන් විමසීමක් හෝ නොකර විශ‍්‍රාමිකයන් අකමැතිනම් පමණක් දින 14 ක් තුළ දන්වන ලෙස සඳහන් කර ඇතැයිද එසේ අකමැත්ත ප‍්‍රකාශ කිරීමට නොහැකිවන විශ‍්‍රාමිකයන් මෙයට කැමති අය ලෙස සලකා මුදල් කප්පාදුව සිදුකිරීමට චක‍්‍රලේඛය මගින් ඉඩ විවෘත කර ඇතැයිද ඔහු කීය.

මෙයට විරෝධය දක්වමින් අද (8 දා) පෙ.ව. 10.00 ට තම සංගමයේ සාමාජිකයන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා හමුවී ලිපියක් භාරදෙන බවත්, එයටද ප‍්‍රතිචාර නොලැබෙන්නේ නම් ලබන බ‍්‍රහස්පතින්දා (11 දා) සියලූ විශ‍්‍රාමිකයන් කොළඹ කොටුවට ගෙන්වා විරෝධතා පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ගොස් විරෝධතාවේ නිරත වීමට හෝ සත්‍යග‍්‍රහණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෙම චක‍්‍රලේඛය නිකුත් කරනු ලැබුවේ විශ‍්‍රාමිකයන්ගේ ඉල්ලීම් මත බවත් ඔවුන් විරුද්ධ වන්නේ නම් එය නතර කිරීමට අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගැනීමට සූදානම් බවත්ය.

ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කීය.

අවුරුදු 70 ට වැඩි අයට අග‍්‍රහාර රක්‍ෂණය ක‍්‍රමය කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. ඔවුන්වත් දායක කර ගන්නා ලෙස 2015 යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය පරිපාලන ඇමැතිව සිටි රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විශ‍්‍රාමිකයන් කරපු ඉල්ලීමකට අනුව 2016 වසරේදී මෙය කි‍්‍රයාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණා. එය ප‍්‍රමාද වෙමින් තිබියදී නැවත වත්මන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාටද ඉදිරිපත් කිරීම නිසා එයට කැබිනට් අනුමැතිය ලබා ගත්තා.

වයස 70 ට වැඩි අය අග‍්‍රහාර රක්‍ෂණයට දායක වූ විට රජයේ රෝහල්ගත වීමකදී රුපියල් 1,20,000 ක් ආයුර්වේද රෝහලක නම් රුපියල් 75,000 ක්, හෘදායා බාධයකදී රුපියල් ලක්‍ෂ 5 ක් වැනි ප‍්‍රතිලාභ රැුසක් මෙයින් ලැබෙනවා.

මේ ක‍්‍රමය ඇති කළේ විශ‍්‍රාමිකයන්ගේ ඉල්ලීම මතයි. ඔවුන් මෙයට විරුද්ධ බව ප‍්‍රකාශ කර තිබෙනවා නම් විරෝධතා උද්ඝෝෂණ පවත්වන්න අවශ්‍ය නැහැ. විරෝධතාවය ගැන අපි නැවත කැබිනට් මණ්ඩලය දැනුවත් කර මෙය නතර කරගන්නත් අවස්ථාව තිබෙනවා යැයිද ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment