අඟුරු කකා වතුර බිබී පොකට් එකට තට්ටු කරන යකඩ යකා

196

‘අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා’ මේ පදපෙළ අප කුඩා කාලයේ සිට අසා ඇත. මින් කියවෙන්නේ මෙරට වාෂ්ප බලයෙන් දුම්රිය ධාවනය කළ ඒ අතීතයයි. සුදු මහත්වරුන් විසින් ආරම්භ කළ මෙරට දුම්රිය සේවය මගී ගමනාගමනයට පමණක් නොව මෙරට භාණ්ඩ ප්‍රවාහනයට ද ඉටුකොට ඇත්තේ සුවිශේෂී කාර්යභාරයකි. පවතින ඉන්ධන අර්බුදය හමුවේ යකඩ යකාට ලැබී ඇත්තේ ඉහළ වටිනාකමකි. කාර්යාල සේවකයන් මෙන්ම මගී ජනතාව දුම්රිය ශ්‍රීලංගම ඇතුළු පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට නැඹුරු වී තිබේ. දුම්රියෙන් ගමන් කරන මගීන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් දක්නට ඇති අතර මේ දිනවල කාර්යාල දුම්රියන් කාර්යාල සේවකයන්ගෙන් පිරි ඉතිරීගොස් ඇත. දුම්රිය සේවය සඳහා මගී ජනතාවගේ ඉල්ලුම වැඩිවීමත් සමග දිනපතා ධාවනය වන දුම්රිය සංඛ්‍යාව වැඩිකිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන ඇත.

ඉන්ධන මිල වැඩිවීමත් සමග ඉන්ධන සඳහා දිනපතා රුපියල් මිලියන 40ක මුදලක් වැය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික වියදම රුපියල් මිලියන 70ක් වන අතර ආදායම රුපියල් මිලියන 15 කි. දුම්රිය ගාස්තු වැඩිකරන ලෙස මේ වනවිට යෝජනා ඉදිරිපත් වී ඇත. බස් ගාස්තුව වැඩිකිරීමේ ගැළපුමට අනුව දුම්රිය ගාස්තුව ද ඉහළ දැමුවහොත් දුම්රියේ සේවය ලබන පාඩුව අවම කරගත හැකි බව දුම්රිය බලධාරීන්ගේ අදහසයි. දුම්රිය දෙපාර්තමේන්තුව 14000ක පමණ කාර්ය මණ්ඩලයකින් යුක්ත වන අතර සේවක පඩි නඩි ගෙවීමට මෙන්ම අතිකාල දීමනා සඳහා ද විශාල මුදලක් වැයවේ. දුම්රිය ගාස්තුව වැඩිකිරීමට යෝජනා කරන දුම්රිය බලධාරීන් පසුගිය කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු නොඑසේනම් අහිමිකරගත් කෝටි ගණනක ආදායම ගැන කථා කරන්නේ නැත. එකී ආදායම අයකරගැනීම සඳහා විදිමත් පාලන ක්‍රමයක් ද සකස්කොට නැත.

මෙරට මගී ජනතාවට ඉතාම අඩුම මුදලකට සිය ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා ඉතිරිව තිබූ එකම ප්‍රවාහන මාධ්‍ය වූයේ දුම්රිය සේවයයි. මේ වනවිට දුම්රිය ගාස්තුව ද ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත. මේ නිසා මගී ජනතාව ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇත. මේ වනවිට සෑම භාණ්ඩයකම මිල අහස උසට නැග තිබේ. රට්ටුන්ට ජීවන වියදම දරාගැනීමට නොහැකිව දැඩිලෙස පීඩාවට ලක්ව සිටිති. දුම්රිය ගාස්තුව ද වැඩි කිරීමෙන් මගී ජනතාවට උදාවූයේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ දෙයකි. මේ විදියට ගියහොත් දුම්රියේ ගමන් කිරීම සඳහා මගී ජනතාවට නිවසේ ඇති බඩු මුට්ටු ටික උගස්කොට මුදල් සොයා ගැනීමට සිදුවනු ඇත. ඒ විතරක් නොව දැනටමත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුකොට ඇත. මගීන් දුම්රියේ ගමන් කරනු ලබන්නේ මරණ වරෙන්තුව අතේ තබාගෙනය. ඉන්ධන අර්බුදය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවය කඩාවැටී ඇති මේ අවස්ථාවේ දුම්රිය ගාස්තුව ද ඉහළ නැංවීම නිසා මගී ජනතාව කබලෙන් ළිපට වැටී ඇත. රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අනුගමනය කරනු ලැබුවේ සහනදායී ගාස්තු ක්‍රමවේදයෙකි. කෙසේ වුවද ඉන්ධන මිලෙහි වූ ශීඝ්‍ර වැඩිවීම මත දුම්රිය දෙපාර්තමේන්තුව සිදුවන පාඩුව වළක්වා ගැනීම සඳහා මෙම තීරණය ගත් බව ප්‍රවාහන ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවෙහි දැක්වේ. පාඩුව පියවා ගැනීම සඳහා බරපටවා ඇත්තේ මගී ජනතාව මතය. ඉදිරියේදී මෙරට අහිසංක මගී ජනතාවට දුම්රියේ ද ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇති බව නම් ඉතා පැහැදිලිය.

දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවට අනුව දුම්රිය බලපත්‍ර හිඟ ආදායම රුපියල් අසූහතරකෝටි අසූතුන් ලක්ෂ තිස්හතර දහස් අටසිය අසූවකි. (848,334,880) බලපත්‍ර 01 ආදායම යටතේ අවුරුදු 23කටත් පෙර සිට පැවත එන රුපියල් හත්ලක්ෂ හැටනමදහස් එකසිය අනූහතරක මුදලක් ද මේ අතර වේ. එම මුදල අයකර ගැනීමට නොහැකි වී ඇත. අනික් කාරණය වන්නේ හිඟ ආදායම යටතේ අයවිය යුතු රුපියල් අසූහතරකෝටි හැත්තෑපන්ලක්ෂ හැටපන්දහස් හයසිය අසූහයක මුදලින් (847,565,686) සියයට 55ක්ම වර්ෂ 05ක් ඉක්මවූ හිඟ මුදල් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් ආයතන 31කින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු රුපියල් 118,934,728ක හිඟ ආදායමක් මේ වනතෙක් අයකර ගැනීමට නොහැකි වී ඇත. භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් ආයතන 16කින් ලැබිය යුතු රුපියල් 20,307,403ක මුදල වසර 20ක කාලයක සිට හිඟ මුදල් වශයෙන් පවතින අතර, වසර ගණනාවක සිට ලැබිය යුතු මෙකී හිඟ මුදල් නිරවුල් කරන මෙන් අදාළ ආයතන වෙත දුම්රිය දෙපාර්තමේන්තුව මගින් යවන ලද ලිපි එවැනි ආයතනයන් නොමැති බව දන්වා නැවත හරහා එවා ඇත. දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම පිළිබඳ මෙහිදී විශේෂයෙන් සඳහන් කළයුතුව ඇත. මක්නිසාදයත් දුම්රිය මඟින් භාණ්ඩ ප්‍රවාහන කටයුතු ආරම්භ කොට 2022 වර්ෂය වන විට වසර 155ක් ගත වී ඇත්තේය. 1867-1934 කාලපරිච්ඡේදයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත ආදායමෙන් 57%ක් භාණ්ඩ ප්‍රවාහනය මඟින් උපයාගෙන තිබිණි. අතීත තොරතුරුවලට අනුව කෘෂිකාර්මික භාණ්ඩ කොළඹට ප්‍රවාහනය කොට යුරෝපා හා ලෝක වෙළෙඳපොළට අලෙවි කිරීමේ අරමුණින් දුම්රිය භාණ්ඩ ප්‍රවාහන සේවාව ආරම්භ කොට ඇති බව සඳහන් වේ. 1968 වර්ෂය වන විට මෙරට භාණ්ඩ ප්‍රවාහන වෙළෙඳපොළ කොටසින් 38%ක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නතු කරගෙන තිබුණේය. වර්තමානය වන විට එය සියයට 0.3% දක්වා පහත වැටී ඇත. භාණ්ඩ ප්‍රවාහන ආදායම වැඩිකරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති අතර දුම්රිය වාණිජ්‍ය අධිකාරි කාර්යාලයේ පවතින පරිපාලන හා අලෙවිකරණ අකාර්යක්ෂමතාව හා නිලධාරීන් විසින් තාර්කික නොවන ලෙස තීරණ ගැනීම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන ආදායම රජයට අහිමි කර ඇති බව නිගමනය කරන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන බව සඳහන් කරමින් මගීජනතාව මත බර පටවා දුම්රිය ගාස්තු වැඩිකරනු වෙනුවට දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි වී ඇති මෙකී ආදායම වැඩිකර ගැනීමට කටයුතු කිරීම දුම්රිය බලධාරීන්ගේ වගකීමකි. 1980 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා සෑම වර්ෂයක් තුළම නොසැපයූ භාණ්ඩ සඳහා ගොවීම් කොට ඇත. කෙසේවුවද ගෙවිම් කරනු ලැබූ මුදල් වලින් සියයට 40ක් එනම් රුපියල් 31,900,907ක මුදල ගෙවීම්කොට ඇත්තේ (2016-2020) ඉකුත් වර්ෂ පහක කාලයක් තුළ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2020 වර්ෂයේ අවසානය වනවිට නිරවුල් නොවූ ණයවර ලිපිවල වටිනාකම රුපියල් 594,378,058කි. මෙකී ණයවර ලිපි නිරවුල් නොවීමට හේතු විගණනයට ඉදිරිපත් වී නොමැති අතර මිලියන 207කට වඩා ඇති මෙම ගෙවීම් සපයා නොමැති භාණ්ඩ සඳහා සැපයුම්කරුවන් වෙත ගෙවා ඇති මුදල්ද යන්න විගණනයටද ප්‍රශ්නයක් විය. මෙකී ප්‍රශ්නගත සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර මෙම ණයවර ලිපි නිරවුල් කිරීමට පියවර ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

ඒ විතරක් නොව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දුම්රිය අමතර කොටස් මිලදී ගැනීමේදී නිසි ක්‍රමවේදයකින් හා අධ්‍යයනයකින් තොරව අවශ්‍යතාව තීරණය කොට අමතර කොටස් මිලදීගෙන ඇත. 2020 වර්ෂයේ දි මෙසේ අනවශ්‍ය තොග රැස් කිරීම සඳහා රුපියල් 19,515,262 ක මුදලක් වැයකොට තිබුණි. දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලැබීමට මෙවැනි කරුණු කාරණා බලපා තිබුණි. මෙකී විගණන වාර්තාවට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ආදායම වැඩිකර ගැනීමට කටයුතු කර නැත. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නාස්තිකාර වියදම් සඳහා වන්දි ගෙවීමට සිදුවී ඇත්තේ මේ රටේ බදුගෙවන ජනතාවටය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment