අඟුලානේදී දුම්රිය මගීන්ට කඩුවෙන් කොටලා රන් – මුදල් කොල්ලකාලා

368

පලා ගිය සැකකරුවෙක් අත්අඩංගුවට:
තුවාල ලැබූ අඹුසැමි යුවළ රෝහලේ

කඩුවක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඊයේ (06 දා) උදෑසන අඟුලාන දුම්රිය ස්ථානයේ දී දුම්රියේ ගමන් ගත් අඹු සැමි යුවළක් බියවද්දා කාන්තාවගේ ගෙල බැඳි රන් මාලයත්, පිරිමි පුද්ගලයාගේ මුදල් පසුම්බියත් කොල්ලකා පලා ගොස් ඇත.

කොළඹ සිට මාතර දක්වා ගමන් කරන මෙම දුම්රිය උදෑසන 05.30 පමණ අඟුලාන දුම්රිය ස්ථානයට පැමිණි මොහොතේ මෙම කොල්ල කෑම සිදුවී තිබේ. එහිදී පිරිමි පුද්ගලයා සිය මුදල් පසුම්බිය දීමට විරුද්ධ වී ඇති අතර එවිට මෙම කොල්ලකරුවන් විසින් පිරිමි පුද්ගලයාගේ එක් අතකට කඩුවෙන් කොටා ඇත. කාන්තාවට ද පහර දී ඇත.

මෙම අවස්ථාවේ දී දුම්රියේ ගමන් ගත් පිරිමින් කිහිපදෙනකු මැරයන් දෙදෙනාට පහර දීමට ගත් උත්සාහයේ දී ඔවුන් දෙදෙනා මොරටුව ලුනාව දුම්රිය පොළ ආසන්න ප්‍රදේශයකදී ධාවනය වන දුම්රියෙන් පැන පලා ගොස් තිබේ.

මෙහිදී දුම්රිය මගීන් 119 හදිසි ඇමතුම් අංකයට අමතා ඇති අතර හදිසි ඇමතුම් මධ්‍යස්ථානය මොරටුව පොලිසියට මේ පිළිබඳව දැනුම් දී ඇත.

සිද්ධිය සැලවූ වහාම මොරටු පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට යන විට ධාවනය වූ දුම්රියෙන් පැන දිව යෑමට උත්සාහ කළ එක් පුද්ගලයකු තුවාල සහිතව දුම්රිය මාර්ගයේ වැටී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් පුද්ගලයා කාන්තාවගේ රන් මාලය සහ පිරිමි පුද්ගලයාගේ ලක්ෂ දෙකක් සහිත මුදල් පසුම්බිය රැගෙන පලා ගොස් ඇත.

මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ පල්ලෙමුණ දකුණ මන්නාරම ලිපිනයේ පදිංචි චාල්ස් ඇන්තනී රාජේස්වරී සහ එඩ්වඩ් සිල්වෙස්ටර් රෝච් චාල්ස් ඇන්තනී රෝච් යන අඹුසැමි යුවලකි. ඔවුන් දෙදෙනා කොළඹට පැමිණ ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ඇති යතුරුපැදියක් මිලදී ගැනීම සඳහාය.

කඩු පහර කෑමට ලක් වී තුවාල ලැබීම නිසා සහ පහරකෑමට ලක්වීම නිසා තුවාල ලබා ඇති මෙම අඹු සැමි යුවළ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට පත් කොල්ලකරු මීට පෙර අවස්ථා කීපයකදීම බන්ධනාගාර ගත වූ පුද්ගලයකු වන අතර දැඩිව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත් මොරටුව පොලිසිය පවසයි. පලා ගිය අනෙක් කොල්ලකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් වැඩිදුර විමර්ශන සඳහා යොදා ඇති බව මොරටුව පොලිසිය පැවසීය.

එස්. ඒ. ආර්. ප්‍රනාන්දු – මොරටුව

advertistmentadvertistment
advertistmentadvertistment